44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අද පොළොන්නරුවේදී ඇරැඹේ

  👤  2132 readers have read this article !
Published by : MB WEB 2018-10-11 07:17:13

විචිත්‍ර වීරසිංහ -පොළොන්නරුවේ සිට..

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව 44 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙල අවසන් අදියර පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් අද (11දා) සිට 14 වැනිදා දක්වා පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 1543ක් සහභාගි වන මෙම තරගාවලිය මෙවර තියුණු මුහුණුවරක් ගැනීමට නියමිතව ඇත්තේ ලංකාවේ නම් දැරූ ජවන හා පිටිය මලල ක්‍රීඩකයන් මෙවර සහභාගිවීමට නියමිතව ඇති බැවිනි.

ඒ අනුව පසුගිය ජුනි මාසයේදී ඩෙංගු රෝගය වැලඳී සිටි විනෝජ් සුරංජය ඉන් සුවය ලබා ඔහු සහභාගි වන පළමු පිළිගත් තරගාවලිය මෙය වීමත්, සුළු ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව සිටි හිමාෂ ඒෂාන්ද මෙවර ඉදිරිපත් වීම හේතුවෙන් මෙම තරගාවලිය දෙස කාගේත් අවධානය යොමු වී තිබේ. එසේම පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී දක්‍ෂතා අතර පැමිණි අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, අමාෂා ද සිල්වා, උෂාන් තිවංක වැනි යොවුන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ද මෙම තරගාවලියට එක්වීමට නියමිතව ඇති බවද පැවැසේ.

මේ අතර අද පැවැත්වෙන සමාරම්භක උත්සවය සම්බන්ධයෙන් 'මව්බිම'ට අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ පවසා සිටියේ මෙවර සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මිය සහභාගි වන බවයි. එමෙන්ම ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාලම ගෞරවයක් ලබා දුන් ක්‍රීඩිකාව ලෙසත් වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් ලෙසත් කටයුතු කරන සුසන්තිකා ජයසිංහ මහත්මියට ගෞරවයක් ලෙස මෙසේ ජාතික මට්ටමේ පැවැත්වෙන ඉහළම ක්‍රීඩා උළෙලට ඇයට ආරාධනා කිරීමට පියවර ගත් බවයි.

මෙවර මෙම ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව දැල්වීමේ කටයුත්ත සිදුකරනු ලබන්නේ 2013 වසරේදී ආසියානු ශූරතාවලියේදී මීටර්400×4 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට දායකත්වය සැපයූ කසුන් කල්හාර සෙනෙවිරත්න හා 2001 වසරේදී පස්වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලිය දිනාගත් කණ්ඩායමේ ඒ.ජී.එල්. ප්‍රියංගිකා යන ක්‍රීඩිකාව විසින් වීමද

විශේෂත්වයකි.
කෙසේ වුවත් පසුගිය වසරේදී මාතරදී පැවැති 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවද බස්නාහිර පළාතට හිමිවූ අතර, මෙතෙක් පැවැති අනෙක් ක්‍රීඩා ඉසව්වලදී බස්නාහිර පළාත ඉදිරියෙන් සිටීම නිසා මෙවරද ශූරතාව බස්නාහිර පළාතට හිමිවීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon