හොඳ දෙයකට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියන විශ්වාසය තිබ්බා

  👤  2183 readers have read this article !
Published by : MB WEB 2018-10-19 09:41:26

 • මේනකාත් එක්ක නටපු නැටුම්වලට

වෙච්ච මහන්සියට හොඳ ප්‍රතිඵලයක් ලැබුණා නේද රනිල්?

ඔව්. මෙගා ස්ටාර් සීසන් 2 තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙන්න මටයි මේනකාටයි පුළුවන් වුණා. මේනකා නම් මීට කලින් රියැලිටි තරග කිහිපයකම ඉඳලා තියෙනවා. හිරු මෙගා ස්ටාර් සීසන් 2 කියන්නේ මමයි මේනකායි සම්බන්ධ වුණු පළමු රියැලිටි වැඩසටහන. ඉතින් අපිට මේ තරගයෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබුණා.

• ජයග්‍රාහි කිරුළ ගැන
ලොකු බලාපොරොත්තුවක්
තියාගෙනද වැඩ කළේ?

ජයග්‍රහණය කරනවා කියන එක නෙවෙයි, අපි කරන දේ තුළ හොඳ දෙයක් කරන්න තමයි අපිට වුවමනා වුණේ. හොඳ දෙයක් කළාම හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියන විශ්වාසය මටයි, මේනකාටයි දෙන්නටම තිබ්බා.

• රියැලිටි තරගයකට යන්න මුල්ම
එකඟත්වය ආවේ කාගෙන්ද රනිල්?

මම රියැලිටි වැඩසටහන් කරන්නේ නෑ කියන මතයේ හිටියේ. මේනකාත් රියැලිටි කරන්න ඕන තැනම නෙවෙයි හිටියේ. නමුත් එයා ඩාන්සින්වලට ජීවිතයම කැප කළ කෙනෙක්. මේකෙත් නර්තනය තිබ්බ නිසා දෙන්නාම එකතු වෙලා මේ වැඩේ කරමු කියන අදහස වැඩිපුරම තිබ්බේ මේනකාට.

• මේනකා රනිල්වම මේ තරගයේදි
තමන්ගේ සහායකයා ලෙස
තෝරා ගත්තේ ඇයි?

චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට නම් ඒ පිටපතකට අපි දෙන්නාව අවශ්‍ය නම්නේ තෝරාගන්නේ. රනිල් මගේ ජීවිතයට ගැළපුණා වගේම අපි එකම ෆීල්ඩ් එකේ වැඩ කරන නිසා අපිට විශ්වාසයක් තියාගෙන අපේ දේවල් හදාගෙන මේ කාර්ය කරන්න පුළුවන් කියලා හිතුණා.

• තවත් යුගල හතරක් එක්කනේ
ඔය දෙන්නාම තරග කළේ.
කවුද ඒ අතරින් ඔය දෙන්නට
වැඩිපුරම අභියෝගයක් වුණේ?

අනෙත් තරගකරුවන් හැමෝටම තිබ්බේ විවිධ දක්ෂතා. අපි හැමෝගෙම හැකියාවන් එකකට එකක් වෙනස්. අනෙක් අයත් දක්ෂයි. එයාලටත් හොඳ දේවල් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා කියලා හිතලා තමයි අපිත් අපේ නර්තන, ගායන අංග ඉදිරිපත් කළේ.

ඒ අයට දෙවැනි නොවෙන්න අපිට අපේ ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන් වුණෙත් අනෙක් අය දක්ෂයි කියන දේ තේරුම් ගෙන වැඩ කරපු නිසා. කරන දේ සරලයි. පහසුයි කියලා අපි හිතුවේ නැහැ. අනෙක් අය දක්ෂයි කියන තැන ඉඳලා තමයි අපි වැඩ කළේ.

• රංගනය, අධ්‍යක්ෂණය කියන
භූමිකා තුළත් ඉඳගෙන මේ වගේ
වැඩක් කරන්න පහසු වුණාද රනිල්?


කාර්යබහුල ජීවිතයක් ඇතුළේ ඉඳගෙන තමයි අපි මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. නමුත් මට ඒක ලොකු බරක් විදියට නොදැනුණේ රංගන ශිල්පිනියන් අතරින් මගේ බිරියත් නර්තන දක්ෂතා තිබෙන අය අතර ඉදිරියෙන් හිටපු නිසා. ඇය ලොකු බරක් අරගෙන වැඩ කළේ. මට තිබ්බේ එයාට හොඳ සහයෝගයක් දෙන එක.

• ඒ සහයෝගය රනිල්ගෙන්
හොඳටම ලැබුණද මේනකා?

රියර්සල්වලදී නම් එයා නටන්න බෑ වගේ තමයි වැඩ කළේ. සමහර වෙලාවට ඵබඥන මතක නෑ වගේ මට අඟවනවා. හැබැයි ස්ටේජ් එකට ගියාම එයා පුළුවන් තරම් හොඳට ඒ නර්තනය කරනවා. එයා දන්නවා මගේ ඩාන්ස් එක සම්පූර්ණ වෙන්නේ එයාගෙන් හොඳ සහායක් ලැබුණොත් විතරයි කියලා. මම දැනගෙන හිටියා එයා මාව කිසිම තැනකදී වට්ටන එකක් නෑ කියලා.

• රනිල් අවසන් තරග වටයේදී ඉදිරිපත් කරපු
නර්තනයටත් බොහෝ් අයගේ ප්‍රතිචාර
ලැබුණලු නේද මේනකා?

ඔව්. එයා තනියම තත්පර හතළිස් පහක නර්තයක් ඉදිරිපත් කළා. ඉතින් මටත් වඩා එයාට තමයි දුරකථන ඇමතුම් ආවේ.
මම බලන බලන වෙලාවේ එයාට දුරකථන ඇමතුම්. බොහෝ අය එයා අගය කළා.

• රනිල් එතරම් හොඳට නටද්දී
ඔයාටත් ආඩම්බරයක් දැනෙන්න ඇති?

ඇත්තටම මට හරිම සතුටු හිතුණා. අධ්‍යක්ෂණයට, රංගනයට වගේම නර්තනයටත් එයාට හොඳ හැකියාවක් තියෙනවා කියලා එයා ඔප්පු කළා. එයා ඉදිරිපත් කරපු නර්තනය මම ආයේ ආයෙත් බැලුවා. කිසිම අඩුපාඩුවක් කියන්න නැහැ. එයා හොඳට ඒ දක්ෂතාව පෙන්නුම් කළා.

• සාමාන්‍යයෙන් ඕනම තරගයකදී
ජයග්‍රහණය ලබන කෙනාට පැසැසුම් වගේම
විවේචනත් එල්ල වෙනවා. ඔය දෙන්නටත්
එවැනි විවේචන එල්ල වුණාද?

මේ තරගයෙදී විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙදී වුණත් අපි දෙන්නාට විවේචන ඇවිත් නැහැ. අපිට කවුරු හරි කෙනෙක් වැරැද්දක්, අඩුපාඩුවක් පෙන්නලා දුන්නොත් හදාගන්න තැනක් තියෙනවා නම් අපි ඒ දේ හදාගන්නවා.

අපිට ස්වාභාව ධර්මයෙන්ම ආශීර්වාද ලැබෙනවා. අපි වටා හිටපු හැමෝගෙන්ම අපිට ආශීර්වාදය තමයි ලැබුණේ. හැමෝම අපිට කිව්වේ අපි දිනනවා කියන දේ. අවසන් වටයේ හිටපු යාළුවෝ පවා අපිට හොඳ සහයෝගයක් දුන්නා. අපිව ඇගයුවා මිසක් අපිව කවුරුත් විවේචනය කළේ නැහැ.

• ඉදිරියටත් දෙන්නම එකම
නිර්මාණවල දකින්න ලැබෙයිද රනිල්?

මම අධ්‍යක්ෂණය කරන නිර්මාණයක නම් මම රඟපාන්නේ නැහැ. නමුත් හොඳ අධ්‍යක්ෂවරයෙක්ගේ හොඳ නිර්මාණයකට අපි දෙන්නට ආරාධනා ලැබුණොත් අපි එයට සම්බන්ධ වෙයි.

• ආයෙත් දෙන්නම රියැලිටි තරගවලට
සම්බන්ධ වෙයිද?

බොහෝ වෙලාවට මේක අපි දෙන්නම සම්බන්ධ වෙන අවසන් රියැලිටි තරගය වෙයි. මට තව බලාපොරොත්තු තියෙනවා. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව. මේනකාට තියෙනවා කලාව පැත්තෙන් තව දැනෙන චරිත කිරීමේ ආසාව. ඒ වෙනුවෙන් අපි මහන්සි වෙනවා.

• දෙන්නගේ ජීවිතේ
තව බලාපොරොත්තු ඇති?

අපේම ගෙයක් හදාගන්න අපි සෑහෙන මහන්සි වෙනවා. ගෙයක් හදාගෙන, දරුවෙක් හදාගෙන අපේ ගමන සතුටින් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායාරූප - ස්ටිව් ඇන්ජලෝ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon