හලන අයගෙන් හැලුණාම යන ගමනට පහසුයි Taylor Swift

  👤  1073 readers have read this article !
Published by : MB WEB 2018-10-16 17:10:05

හිතේ දුක තුනී කරන්න, පාළු මකන්න අපි කරන්නේ ගීතයකට ඇහුම්කන් දෙන එක. ඇහුම්කන් දෙනවා වෙනුවට ගීත ලියන්න, කියන්න, පෙලඹෙනවා නම් ඒක දුක තුළින් ජයග්‍රාහී සතුටක් ලබාගැනීමක්. හිතේ දුක දිවියේ සතුටට පෙරළාගත් ඇය ලෝකයම ආදරය කරන දක්ෂ සුරූපී ගායිකාව ටේලර් ස්විෆ්ට්.

1989 වසරේ දෙසැම්බර් 13 වැනිදා ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ රීඩින් නුවර දී උපත ලබන ටේලර් ඇලිසන් ස්විෆ්ට්ගේ පියා වෘත්තියෙන් ආර්ථික උපදේශකයෙක් වුණු අතර මව ගෘහණියක්.

ටේලර්ගේ මිත්තණිය වෘත්තීයමය ඔපෙරා ගායිකාවක් නිසා කලාව දායාදයක් විදියට ලෙයින්ම ලැබෙන්න මිත්තණිය ලොකු හේතුවක් වුණා. වයස අවුරුදු දහයේ පටන් නගරයේ සංගීත තරගවල, උත්සව අවස්ථාවල තමන්ගේ ගායන හැකියාව පෙන්වන්න ටේලර් හැම සති අන්තයකම වේදිකාවට ගොඩ වීම පුරුද්දක් කරගත්තා.

පාසල් කාලය පුංචි ටේලර්ට සොඳුරු මතකයන්වලට වඩා දුන්නේ අඳුරු අත්දැකීම්. අෑව තමන්ගේ මිතුරු කුලකවලට සම්බන්ධ කරගන්න අනෙක් ළමයි කැමති වුණේ නෑ. ඒකට හේතුව ඇගේ සංගීත රුචිකත්වය. මොකද ටේලර් ආදරය කළේ ඇමෙරිකානු ජන සංගීතයෙන් බිහි වුණු Country ශානරයට. රැප්, හිප් හොප් අහන අපේ කොල්ලන්ට කෙල්ලන්ට ජන සංගීතය දිරවන්නේ නෑ වගේම තමයි ඇමෙරිකාවෙත් පැරැණි රසිකත්වයට මොඩ් ළමයි අතරේ තැනක් නෑ.

ටේලර් හිතනවා පාපන්දු ක්‍රීඩා කළොත් ළමයි අතරේ නමක් හදාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අෑට ක්‍රීඩාවට හපන්කමක් නෑ කියන දේ පිට්ටනියට බැස්සම අවබෝධ වෙනවා.

පාසල තමයි ළමයෙක් දිනපතා වැඩිම වාර ගණනක් නිරාවරණය වෙන සමාජ සංස්ථාව. එතැනින් හැලෙනවා කියන්නේ ළමා මනසට ලොකු බලපෑමක් කරන පීඩනයක්. ළමයින්ගෙන් කොන් වීම නිසා කාටවත් කියන්න බැරිව හිතේ හිර කරගෙන ඉන්න දුක පිට කරන්න ටේලර්ට මිතුරෝ තුන්දෙනෙක් මුණගැහෙනවා. ඒ තමයි පෑන, කඩදාසිය සහ ගිටාරය.

ටේලර් මුලින්ම යාළු වෙන්නේ පෑන සහ කඩදාසිය සමඟයි. හිතේ දුක වචනවලට පෙරළලා ලස්සනට කවි ලියන්න ඇය පෙලඹෙනවා. අෑට ටිකෙන් ටික වැටහෙනවා තමන්ගේ කවිවල තියෙන ගීතමය ස්වභාවය. සංගීතයට නැඹුරු වෙන්න අවශ්‍ය තුන්වැනි මිතුරා අෑට ලැබෙන්නේ මෙතැනදී.

ටේලර්ට වයස අවුරුදු ‍ෙදාළහේදී හරි අපූරු සිද්ධියක් වෙනවා. ඇගේ නිවෙසේ පරිගණකය අලුත්වැඩියා කරන්න එන තාක්ෂණවේදියා දැනගන්නවා මේ කුඩා දැරියගේ සංගීත නැඹුරුව. ඔහු දක්ෂ ගිටාර් වාදකයෙක්. ඔහු තමයි ටේලර්ට ගිටාර් වාදනයේ 'අ' යන්න 'ආ' යන්න උගන්වන්නේ. ඇගේ තුන්වැනි මිතුරාත් එකතු වීමෙන් අදහසක් එනවා සංගීතය තුළින් යමක් කළ හැකියි කියලා. මිත්තණියගෙන් ලැබුණු දායාදය ඔස්සේ ඇය ගමනක් ආරම්භ කරන්න තීරණය කරනවා.

ළමයි හිනා වුණාට ටේලර් තමන්ගේ සංගීත රුචිකත්වය වෙනස් කරගත්තේ නෑ. ඇය Country ශෛලියට නැඹුරු ඇගේම ගීත කිහිපයක් නිර්මාණය කරගෙන ඒවා අලෙවි කරන්න සංගීත ආයතනයක් කැමති කරවා ගන්න නිතරම ගියා Country සංගීත පුරය හෙවත් ටෙනසි ප්‍රාන්තයේ නෑෂ්විල් නගරයට. ටේලර්ගේ මවුපියන් තීරණය කරනවා ඇගේ සංගීත කටයුතුවලට පහසුවක් විදියට නෑෂ්විල් නගරයට පදිංචිය මාරු කරන්න.

නෑෂ්විල් නගරයේ අවන්හල්වල ගීත කියමින් තැනක් හදාගන්න මහන්සි වෙන ටේලර්ගේ හැකියාව දකින Big Machine Records ආයතනය ටේලර් සමඟ ගිවිසුමකට එලැඹෙනවා. ඒ අනුව 2006 වසරේදී දාහත් වියැති ටේලර් ස්විෆ්ට් තමන්ගේ පළමු ගීතය "Tim McGraw" එළිදක්වනවා.

අනෙක් සංගීත ආයතන විශ්වාස කරන්නේ නෑ දහසය හැවිරිදි country ගායිකාවක් සාර්ථක වෙයි කියලා. නමුත් ඔවුන්ටත් නොගැටුණු රසික සමාජයකට ආමන්ත්‍රණය කරන්න ටේලර්ට හැකිවෙනවා. ඒ තමයි "country" සංගීත රසවිඳින නව යොවුන් පරපුර. තමන්ගේම වයස් කාණ්ඩයේ ගායිකාවකගේ ආගමනය රසිකයන්ගේ සිත්ගත් සිදුවීමක් වුණා.

පළමු ගීතයත් ඇතුළුවන
පළමු ඇල්බමය ඇගේ නමින්ම Taylor Swift ලෙස නිකුත් වෙන්නේ ටේලර්ගේ සාර්ථකත්වයේ චාරිකාව ආරම්භ කරමින්. ඇල්බමයේ සාර්ථකත්වයත් සමඟ ටේලර් 2008 දී දෙවැනි ඇල්බමය Fearless එළිදක්වනවා. මේ තරුණ ගායිකාවට ලෝකයේම අවධානය දිනාගන්න අවස්ථාව ලැබෙන්නේ Fearless හරහා. එහි අඩංගු Love Story සහ You Belong with me ගීත ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුණේ ලෝක වේදිකාවට පය තියන්න ටේලර්ට වරම් ලබාදෙමින්.

Speak Now, Red, 1989 සහ Reputation ඇල්බම දක්වා මිලියන 40කට අධික පිටපත් ප්‍රමාණයක් අලෙවි කරලා ටේලර් ඇවිත් තියෙන සාර්ථක ගමන ලෝකය ආදරයෙන් වැලඳගත්තේ ඇගේම අත්දැකීම්වල ගීතවලට හැරවිලා හදවතට ආමන්ත්‍රණය කළ නිසා.

අද ටේලර් ස්විෆ්ට්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 320ක්. ග්‍රැමී සම්මාන 10ක් සහ ගිනස් ලෝක වාර්තා පහකට හිමිකම් කියන මේ සුන්දර තරුණිය ලෝක ඉතිහාසයේ බිහිවුණු අති සාර්ථක ගායිකාවක්. අෑව හලපු පාසල් සමකාලීනයෝ අද සාමාන්‍ය ජීවිත ගත කරනවා. ඇය ලෝක ඉතිහාසයේ නොමැකෙන නාමයක් තැබූ චරිතයක් විදියට වැජඹෙනවා.

ෂෙනාල් ගුණසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon