හොඳ ආරම්භයක් නොමැති එකත් ප්‍රශ්නයක් _ දසුන් ශානක

  👤  1849 readers have read this article !
Published by : MB WEB 2018-10-17 07:54:23

සිරිනාම රාජපක්‍ෂ, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..

දඹුල්ලේදී පැවැති එක් දින තරග දෙකේදී මෙන්ම අද (17දා) මහනුවර පල්ලෙකැලේදී දිවා-රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා-එංගලන්ත තෙවැනි එක් දින තරගයටද වර්ෂාවෙන් බාධා පැමිණීමට ඉඩ තිබෙන අතර දෙරට අතර පැවැත්වෙන 72වැනි එක් දින තරගය වන මෙම තරගයේදී දෙවැනි එක් දින තරගයට සාපේක්‍ෂව කණ්ඩායම් දෙකෙහිම සුළු වශයෙන් වෙනස්කම් සිදුවනු ඇතැයි පැවැසේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා පාදයේ මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් අද දින ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට කණ්ඩායමට ඇතුළත් වන සධීර සමරවික්‍රම උපුල් තරංග සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇතැයි දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් නෙැලැබීම කණ්ඩායමේ පසුබෑමට බලපා ඇති ප්‍රධානම හේතුවක් බවද තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගි වෙමින් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඊයේ (16දා) පැවැසීය. එනම් හොඳ ආරම්භයක් ලැබුණ හොත් ශ්‍රී ලංකා කණ්ඩායමට මීට වඩා සාර්ථක වීමටද හැකියාව ලැබෙන බව කී ශානක " පිතිකරණ ස්ථානයේ ඉහළට ඇවිල්ල අංක-5 ස්ථානයේ ලකුණු රැස්කරන්න ලැබීම ජාත්‍යන්තර තරගවලදී අලුත් දෙයක් වුවත් එය මට පීඩනයක් ගෙන දෙන කාරණයක් නොවෙයි. අනෙක කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදෙන්න මම සූදානම්.

දේශීය තරගවලදී දක්‍ෂතා අතර සිටි නිසා වැඩි පන්දුවාර ගණනක් ක්‍රීඩා කරන්න අවස්ථාව දීල මගෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලොකු වෙනස්කම් කළ යුතුයි කියල හිතන්නෙ නැහැ. පළමු පන්දුවාර 10 තුළ ලකුණු 40ක් පමණ රැස්කරල අපිට වාසි සහගත තත්වයක් උදා කරගන්න පුළුවන්" යනුවෙන් පැවැසීය.

තවද තම කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු පන්දු රැකීමේදී උඩපන්දු අත්හැරීමට බලාපොරොත්තුවෙන් තරගයට පිවිසෙන්නේ නොමැති බවද සඳහන් කරමින් ඇසූ පැනයන්ට පිළිතුරු දුන් ශානක " නමුත් ඒ වැරැද්ද වැඩිපුර පේන්නෙ කවුරුත් පරාජිත මානසිකත්වයෙන් ඉන්න නිසා වෙන්න පුළුවන්. කොහොම වුණත් කණ්ඩායමට ස්ථාවර පිතිකරණ ලැයිස්තුවක් තිබෙන එක හොඳයි. මෙම තරගාවලියේ සිට එම තත්ත්වය ස්ථාවර වේවි. මෙම තරගයේදීත් පිතිකරණ පිළිවෙළ වෙනස් වෙන එකක් නැහැ" යැයිද පැවැසීය.

මේ අතර එංගලන්ත කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ලයම් ඩෝසන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට එංගලන්ත ටෙස්ට් සංචිතයටද ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ජෝ ඩෙන්ලි කැඳවා ඇත. ඒ අනුව ඩෝසන් සමඟ එංගලන්ත පිතිකරණ පුහුණුකරු ග්‍රැහැම් තේ‍රා්ප්ද ඊයේ (16දා) රාත්‍රි 9.45ට කටුනායක ගුවන් තොටුපොළින් එංගලන්තය බලා පිටත්ව ගිය අතර එංගලන්ත කණ්ඩායමට එක්වීම සඳහා ජෝ ඩෙන්ලි අද (17දා) පස්වරු 2.50ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ තරග 2කට සහභාගි වී දෙපිලම එක් තරගය බැගින් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව මෙතෙක් මෙහිදී එක් දින තරග 20කට සහභාගි වී ඉන් 10ක් ජයගෙන ඇත.

එසේම මෙම කණ්ඩායම් දෙක මින් පෙර හමුවූ එක් දින තරග 71 සලකා බැලූ විට දෙපිලම තරග 34ක් බැගින් ජය ගෙන තිබීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවැති වර්ෂාව හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ පුහුණු සැසියද අත්හැර දැමීමට සිදුවිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon