ප්‍රේමසිරි කේමදාස දසවන අනුස්මරණය වෙනුවෙන් ප්‍රසංගයක්

  👤  2109 readers have read this article !
Published by : MB WEB 2018-10-22 08:28:36

ඔබේ පියා ප්‍රේමසිරි කේමදාස වෙනුවෙන් මොකද්ද මේ කරන්න සූදානම් වන ප්‍රසංගය?

අපේ තාත්තා නැති වෙලා මේ මාසේ 24දාට අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ ප්‍රසංගය සංවිධානය කළේ. එය නම් කර තිබෙන්නේ "ඔබම මාද විය" නමින්. ප්‍රසංගය මේ මාසයේ 23දා ප.ව. 7.30ට ඕර්ධ්ඛ්ඩ්හිදී පවත්වන්න තමයි සූදානම් වෙන්නේ.

"ඔබම මාද විය" ප්‍රසංගය රසිකයන්ට වෙනස් අත්දැකීමක් වෙයිද?


ඔව්, මේ ප්‍රසංගයේදී චිත්‍රපට තේමා ගීත වගේම අංගාරා ගඟ සහ මානස විලෙහි පොඩි කොටසක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම "කිලර්" කැසට් පටයේ "මැති ඇමැතිවරු" කියන ගීතයත් මේ ප්‍රසංගයේදී අහන්න ලැබෙනවා. තාත්තා නිර්මාණය කළ වටිනා ගීත රැසක් එහිදී රසවිඳින්න අවස්ථාව තිබෙනවා. ඒ නිර්මාණ මුල් රසයෙන්ම ඉදිරිපත් කරනවා.

මේ ප්‍රසංගයට ගායනයෙන් සම්බන්ධ වෙන ශිල්පීන් ගැනත් කියමු.

ලෙස්ලි ප්‍රනාන්දු, සන්ධ්‍යා බුලත්සිංහල, ඉන්දිකා උපමාලි, අමල් පෙරේරා, කසුන් කල්හාර, මිහිඳු ආරියරත්න වගේම කේමදාස පදනමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වෙනුවෙන් සම්බන්ධ වෙනවා.

මෙය ටිකට් ෂෝ එකක් විදියටද පවත්වන්නේ?

ඔව්, තාත්තාගේ ගීත රසවිඳින පිරිසට මේ ප්‍රසංගය නරඹන්න පුළුවන්. ඊඪජඬඥබඵ.තඬ සහ සරසවි, සදීපා පොත් හල්වලින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. කේමදාස පදනමේ ෆේස්බුක් පිටුව මඟිනුත් ප්‍රවේශ පත්‍ර වෙන් කරගන්න හැකියාව තිබෙනවා.

ප්‍රසංගයට අමතරව තවත් වැඩ කටයුත්තක් සූදානම් කරලා තියෙනවා කියලත් ආරංචියි.

ඔව්, "නොඇසුණු" නමින් ප්‍රදර්ශනයක් පවත්වන්න අනූපා අක්කා කටයුතු සූදානම් කරලා තියෙනවා.

ප්‍රසිද්ධිය තකා නැතුව සාමාන්‍ය මිනිස්සු සමාජයේ බොහෝ මෙහෙවරක් කරනවා. ප්‍රංශයේ, යුරෝපයේ මේ වගේ සාමාන්‍ය මිනිසුන්ගේ පෝස්ටර් නොයකුත් තැන්වල යොදලා ඒ සාමාන්‍ය මිනිසුන් පෙනී සිටි අදහස ප්‍රසිද්ධ කරන්න උත්සාහ කරනවා. අපි දන්න කියන අයටත් වඩා සාමාන්‍ය මිනිස්සු වැඩි මෙහෙවරක් කරලා තියෙනවා. අක්කා මේ වගේ දෙයක් ටොරෙන්ටෝවලත් කරලා තියෙනවා. කේමදාස පදනමේ ළමයින් ඒ අවශ්‍ය පින්තූර ගෙන 23දා සිට සති දෙකක් පුරාවට මේ ප්‍රදර්ශනය පවත්වන්න සූදානම්.

ඇයි එවැනි සංකල්පයක ප්‍රදර්ශනයක් පවත්වන්නේ?

මගේ තාත්තත් මේ ක්ෂේත්‍රයට ආවේ නොඇසූ තැනකින්. මොකද ප්‍රසිද්ධ තැනක ඉඳලා නෙවෙයි තාත්තා තමන්ගේ ගමන හදා ගත්තේ. තාත්තා තමන්ගේ හැකියාවෙන් එළියට ආපු කෙනෙක්. ඒ වගේ අපි නොදන්න බොහෝ අය ඉන්නවා. සාමාන්‍ය මිනිසුන්ගේ ඒ මෙහෙවර ඔවුන් පෙනී සිටි දේ සමාජගත කරන අදහස එයින් මතුවුණු දෙයක්.

කේමදාස මාස්ටර්ගේ ගීත සමහර අවස්ථාවල විකෘති කර ඉදිරිපත් කරන අවස්ථා තිබෙනවා නේද?

ඔව්, තාත්තාගේ සංගීත මෙහෙයවීම සමහර අවස්ථාවල විකෘති කරනවා. පර්යේෂණ කළාට කමක් නෑ. නමුත් ඒ සංගීත නිර්මාණය කළ සංගීතඥයා සහ ඒ සංගීත ඛණ්ඩ ගැන හැදෑරීමක් ඇතිව තමයි ඒ දේවල් කරන්න ඕන.

තාත්තා නිර්මාණය කළ ඒ ඒ ගීතවල කටහඬ පරාසයන් ඒ විදියට පාවිච්චි කළේ ඇයි කියලා හිතන්න ඕන. අධ්‍යයනයකින් පස්සේ යම් නිර්මාණයක් කළේ නැත්නම් එය මුල් ගීතය විකෘති කිරීමක් සිද්ධ වෙන්නේ.

කේමදාස පදනම ඒ ගීත විකෘති නොකර ආරක්ෂා කර ගැනීමට මොන වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ?

කේමදාස පදනමෙන් කරන්නේ ඔරිජිනල් විදියටම එය නිර්මාණය කරන එක. නමුත් අනෙක් අය අපිව කිසිම විදියකට දැනුවත් නොකර ඒ ගීත විකෘති කරනවා. අපිව දැනුවත් කළා නම් අපි එහි පසුබිම ගැන ඔවුන්ට කියලා දෙනවා.

දිගින් දිගටම ඔබේ පියාගේ ගීත විකෘති කරනවා නම් යම් පිළියමක් ඒ සඳහා ගන්න පුළුවන් නේද?

ඇත්තටම තාත්තාගේ ගීත ඒ විදියට විකෘති කරන එක අපරාධයක්. එවැනි දෙයට නීතිමය පියවර ගන්න අඩිතාලම සකස් කරගෙන යනවා. එහෙම විකෘති කරපු ගීත දිගටම අහන්න ගත්තොත් ඒවා අහන අය හිතනවා ඒක තමයි ඔරිජිනල් එක කියලා. ඔරිජිනල් එක ඇහුවාම තමයි ඒකේ රසය කොතැනද තියෙන්නේ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ.

නිර්මාණ කටයුතු පැත්තෙන් සිදුවන අලුත් දේවල් මොනවද කියලත් මතක් කරමු?

අනෝජා වීරසිංහ එක්ක අලුත් ප්‍රඩක්ෂන් එකක් කරන්න මේ දවස්වල ළමයි පුහුණු කරනවා. එය "ඔපෙරා" එකක්. අවුරුදු හයකට පස්සේ තමයි ඔපෙරාවක් කරන්න සැලසුම් කරගෙන ඉන්නේ. ඊට අමතරව චිත්‍රපට කිහිපයකම සංගීත අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙලා ඉන්නවා. කේමදාස පදනමට අලුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගනිමින් ඔවුන්ට මේ දැනුම ලබා දෙනවා. 23දා පැවැත්වෙන ප්‍රසංගයෙනුත් ඔවුන්ගේ හැකියාවන් දැක බලා ගන්න අවස්ථාව නිර්මාණය කරලා තිබෙනවා.

ඔබ තාත්තා පෙන්නපු අඩි පාරේ සාර්ථක ගමනක් යනවා නේද?

අක්කායි මමයි දෙන්නම උත්සාහ කරන්නේ අලුත් පරම්පරාවක් හදන්න. පිටරට හිටියා නම් අපිට පහසුයි. නමුත් අපි ලංකාවට ඇවිත් කරන්නේ තාත්තා බලාපොරොත්තු වුණු දේ ඉෂ්ට කරන එක. තාත්තා කිව්ව දේ තමයි හැමදාම ලංකාවේ ළමයි පිටරට යවන්න බෑ. මගේ දරුවෝ දෙන්නා පිටරට යවලා ඉගැන්නුවොත් එයාලා ඇවිත් ඊළඟ පරම්පරාව බේරා ගනියි කියලා.

ඔබත් තාත්තා වගේම ලැබෙන හැමදේම භාරගෙන කරන කෙනෙක් නෙවෙයි නේද?

ලැබෙන හැමදේම මම කරන්නේ නෑ. ලංකාවේ බොහෝ අය හිතන්නේ සින්දුවක් කළේ නැත්නම් සංගීතය කළේ නෑ වගේ දෙයක්. මම තෝරාගෙන තමයි යමකට සම්බන්ධ වෙන්නේ. අපිට සහ ජනතාවට යම් වැදගත් පණිවුඩයක් දෙන දෙයකට මම මගේ දායකත්වය ලබා දෙනවා.

මොනවද ඉදිරි වැඩ පිළිබඳ සැලසුම්?

මගේ තාත්තා චිත්‍රපට ගීත පමණක් කළ කෙනෙක් නෙවෙයි. ස්ටේජ් ඩ්‍රාමා වෙනුවෙන් තාත්තා ලබාදුන් දායකත්වය පිළිබඳ කථිකාවක් ඇති කරන්න මේ කාලය කියලා හිතනවා. තාත්තා එක්ක හිටපු රසික රසිකාවියන් පිරිසක් ඉන්නවා. ඒ කථිකාව ඔවුන්ට වැදගත් වෙයි. ඒ කථිකාවෙන් එක් කෙනෙක් හෝ යමක් එකතු කර ගනියි කියලා හිතනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon