හල්පාතොට බෙරිල්ලවත්ත මාර්ගය ඉදිකර මාස හයෙන් ගිලා බැහැලා

  👤  1549 readers have read this article !
Published by : MB WEB 2018-10-22 07:48:02

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

රුපියල් මිලියන 26.6ක් වැය කරමින් කාපට් අතුරා ඉදිකරන ලද කිලෝමීටර් 2කින් යුතු හල්පාතොට බෙරිල්ලවත්ත - වවුලගල මාර්ගය ඉදිකර මාස 6ක් ඉක්ම යනවිටම ගිලා බැසීම නිසා එහි ගමන් කිරීම අනතුරුදායක වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. හික්කඩුව - බද්දේගම අධිවේගී පිවිසුම් මාර්ගයට සම්බන්ධව පවතින මෙම මාර්ගය ආරම්භ වන ස්ථානයේ සිට මීටර් 400ක පමණ ප්‍රමාණයක මෙම ගිලා බැසීම සිදුව ඇති බවත් මේ වනවිට ජලය බැස යෑමට ඉදිකර ඇති බෝක්කුවක්ද ගිලා බැසීමට ලක්ව ඇති බවත් ඔවුහු පවසති.

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි මංජුල ගොන්සාල් කෝරාල මහතා,

මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ ප්‍රමිතියකට නෙවෙයි. අපි ඒ අවස්ථාවේදීත් ඒ ගැන ප්‍රශ්න කළා. බෝක්කුවට කොන්ක්‍රීට් දැම්මේ මඩ ගොහොරුවට. ගිලාබහින එක පුදුමයක් නෙවෙයි. දැන් මේ මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායකයි. මාර්ගය ගැන නොදන්නා යතුරුපැදිකරුවෝ වැටිලා තුවාල කරගන්නවා. මාර්ගය හදපු කොන්ත්‍රාත් සමාගම මේකට වගකිව යුතුයි. මාර්ගය අනතුරුදායකයි කියලා දැන්වීමක්වත් දාන්න ඕනෑ. වගකිවයුත්තෝ මැදිහත් වෙලා කඩිනමින් පියවරක් ගත යුතුයි.

කමණි නිශාන්ති මහත්මිය
පාර හදනකොට අපි ගොඩක් සතුටුවුණා අපේ පාරත් කාපට් කරනවා කියලා. ඒත් මාස 6ක් ගියේ නැහැ පාර මැදින් පැළිලා ගිලා බැහැලා. බද්දේගම සිට ගාල්ලට යන අයත් මේ පාරෙන් යනවා. නොදන්න අය රෑට යන්න ගිහින් වැටිලා තුවාල කරගෙන අතපය කඩාගෙන තියෙනවා.

අප මේ පිළිබඳ වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රි ජනක් ප්‍රියන්ත ඉලේසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ,
මේ මාර්ගයේ කොටසක් ගිලා බැසීම පිළිබඳ අප වෙත වාර්තා වුණා. මේ මාර්ගය ඉදිකළේ අයිරෝඩ් කියන ව්‍යාපෘතිය හරහා. මාර්ගය ඉදිකිරීම් සිදුකළ සමාගම වසර දෙකක වගකීමක් දරනවා. ඒ සමාගමට මේ පිළිබඳ දැනුම් දුන්නා. මේ සම්බන්ධව මම ව්‍යාපෘති ඉන්ජිනේරුවරයාගෙන් විමසීමක් කළා. ළඟදීම පිළිසකර කටයුතු ආරම්භ කරන බව ඔහු පැවැසුවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon