භාෂි වෙනස් වුණේ ඇයි?

  👤  2744 readers have read this article !
Published by : MB WEB 2018-10-30 09:21:34

භාෂි රසිකයන් අතරට අලුත් නිර්මාණයක් ගෙනත්?

ඔව්. මම 'පණ වගේ ඔබ මගේ' කියන ගීතය කළා. ඒක නවරැල්ලේ ගීතයක්. මම ගොඩක් ගායනා කරලා තිබ්බේ විරෝධාකල්ප ගීත. ඒ අතරේ තමයි මම ආදර ගීතයක් ගායනා කළේ. මේක හැඟීම්බර ආදර ගීතයක්. මේ ගීතය පදරචනය, සංගීතය කළෙත් මමමයි.

විරෝධාකල්ප ගීත කලාවෙන් භාෂිට පිට පනින්න ඕන වුණේ ඇයි?

සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් ගායකයෙක් හෝ ගායිකාවක් ළඟ හැමෝටම ආමන්ත්‍රණය කරන ගීත තියෙන්න ඕන. විරෝධාකල්ප ගීත සමහර රසික රසිකාවියන්ට තේරුණාට මියුසිකල් ෂෝ රසවිඳින්න එන පිරිස සරල ගීත රසවිඳින පිරිසක්. එයාලා එන්නේ සින්දුවක් අහලා චුට්ටක් නටලා විනෝද වෙලා යන්නනේ. එළිමහන් වේදිකාවට නවරැල්ලේ ගීත ගැළපෙනවා. ගොඩක් අය මගෙන් ඉල්ලුවා නවරැල්ලේ ගීතයක් කරන්න කියලා.
ඒකයි මම මේ වගේ ගීතයකුත් කළේ.

ඒ කියන්නේ පැවැත්ම තියාගන්නයි භාෂිට ඕන වුණේ?

නැහැ. හැම වර්ගයකම ප්‍රේක්ෂකයන්ට අනන්‍ය රසයක් තියෙනවා. අපි අවශ්‍ය රසය දෙන්න ඕන. ඔවුන්ට අවශ්‍ය රසය දුන්නේ නැත්නම් ඒකත් අපි කරන අසාධාරණයක්. ඒ ඒ අවස්ථාවට ඒ ඒ රසිකයන්ට ගැළපෙන ගීත තිබෙන එක වටිනවා.

ගීතයට වීඩියෝවක් කරන්න අදහසක් නැද්ද?

තව මාසයක් වගේ ඇතුළත වීඩියෝව ප්‍රේක්ෂකයන් අතරට ගේනවා.

භාෂි සුපර් ස්ටාර් වේදිකාවෙන් එළියට ආපු කෙනෙක්. ඒ කාලේ භාෂිට තිබ්බ ඉල්ලුම තාමත් තියෙනවද?

ඔව්. තාමත් ඒ ඉල්ලුම තියෙනවා. ඒකයි මට මේ වගේ ගීතයක් කරන්න වුණෙත්. මට තාමත් හොඳ ඉල්ලුමක් තියෙනවා.

භාෂිව වෙනස් හැඩයකට මාරු කරපු ගීතය රසිකයෝ වැලඳ ගෙනද?

මේ වෙනකොට ගීතය රසිකයෝ වැලඳගෙන තියෙනවා. දැන් මියුසිකල් ෂෝවලට කතා කරද්දී අහන්නේ අලුත් සින්දුව කියනවා නේද කියලා. දැන් මගේ අලුත් ගීතය තමයි මුලින්ම ඉල්ලන්නේ. නර්තන කණ්ඩායම් වුණත් ඒ ගීතයට හරි කැමැතියි.

විද්්‍යුත් මාධ්‍යවලින් භාෂිගේ ගීත ප්‍රචාරය කරගන්න හොඳ සහයෝගයක් ලැබෙනවාද?

සමහර මාධ්‍යවලින් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. සහයෝගයක් නොලැබෙන මාධ්‍යත් තියෙනවා.

වෙන වෙන ක්‍රමවලින් ගීත ජනප්‍රිය කරන්න භාෂිට යෝජනා ඇවිත් නැද්ද?

මට ඒ වගේ යෝජනා ඇවිත් නැහැ. මම සාමාන්‍යයෙන් ඒ වගේ යෝජනාවලට කැමැතිත් නැහැ. මාධ්‍ය අපිට අතිශයින්ම වැදගත්. චරිත නිර්මාණය කරද්දී මාධ්‍ය හොඳ අවස්ථාවක්.

කොහොම වුණත් අපිට ප්‍රසංග වේදිකාවේදී සජීවීව රසිකයන් අතරට යන්න ලැබිලා තියෙන අවස්ථාවත් වටිනවා.

දැන් ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන්න තරම් ගීත ගොන්නකින් භාෂි පොහොසත්ද?

තාම මගේම කියලා ගීත තියෙන්නේ පහයි. මම මගේ ලකුණක් තියන්න පුළුවන් ගීත හැදුවා. 'රෝෂිණී' ගීතය හැදුවෙත් ලකුණක් තියන්න. මම දැන් අනෙක් ශිලිපිනියන්ගේ ගීත ප්‍රසංග වේදිකාවේ ගායනා කරන්නෙම නැති තරම්. බැරිම වුණොත් තමයි ඒ ගීත ගායනා කරන්නේ. හැබැයි මගෙන් ප්‍රසංග වේදිකාවේදී නන්ස්ටොප් එකක් අහන්න ගොඩක් අය කැමැතියි. එතකොට නම් වෙන ශිල්පීන්ගේ ගීත ගායනා කරනවා.

භාෂි ගුරුවරියක්. ඒ වගේම ගායිකාවක්. ඔය භූමිකා දෙක පටලගන්නේ නැතිව කරන්නේ කොහොමද?

මම ඒ දේවල් පටලවා ගන්නේ නැති වුණාට අනෙක් අය නම් ඒ දේවල් පටලවාගෙන තියෙනවා කියලා පේනවා. මම යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව උගන්වන ගුරුවරියක්. මම උදේට ඉස්කෝලේ ගිහින් රෑට ස්ටේජ් නඟිනවා. මම මගේ ළමයින්ට කියලා දීලා තියෙන්නේ එකම චරිතයකට විවිධ භූමිකා තියෙන්න පුළුවන් කියලා. මගේ ගුරු භූමිකාව වගේම ගායන භූමිකාවත් හයිලයිට් වෙනවා. ගුරුවරියක් කිව්වම ගොඩක් අය ඒ කෙනාව සාම්ප්‍රදායික විදියට බලාපොරොත්තු වෙන්නේ. මම පාසලේදී ගුරු භූමිකාව 100%ක් රඟදක්වනවා. පාසලෙන් පිටත මට එහෙම ඉන්න බෑ. මට වේදිකාව උඩ ගුරුවරියක් වෙන්න බෑ.

භාෂිගේ විදියත් එක්ක දෝෂාරෝපණ ඇවිත් නැද්ද?

දෝෂාරෝපණ ඇවිත් තියෙනවා. නමුත් කෙනෙක්ට ඒ දේවල් තේරුම් කළාම ඒවා ඒ අය පිළිගන්නවා. මම චන්ද්‍රජෝති විද්‍යාලයට ඇවිත් දැන් අවුරුද්දක් වගේ වෙන්නේ. විදුහල්පතිතුමත් තව කිහිප දෙදෙනකුත් හැරෙන්න බොහෝ අය මාව දැක්කේ ගායිකාවක් විදියට. පාසලේ අයට, දරුවන්ට, මවුපියන්ට මගේ භූමිකාව තේරුම් කරන්න කල් ගියා. විදුහල්පතිතුමා මට පුදුම සහයෝගයක් දුන්නේ. සමහරු මගෙන් ඇහුවා ඔයා ටීචර් කෙනෙක් නිසා සාරියක් නේද අඳින්න ඕන කියලා. ඇයි ජැකට්, ට්‍රවුසර්, බූට් අඳින්නේ කියලා සමහරු අහන්න ගත්තා. ඒත් මට වේදිකාව උඩ ගුරුවරියක් වෙන්න බෑ කියලා මම තේරුම් කළා.

භාෂිට රංගනයට අවස්ථා ලැබුණේ නැද්ද?

අවස්ථා ලැබුණා. එහෙම ආපු සමහර යෝජනා පිළිගන්න බැරි වුණේ මගේ හිතට එකඟව ඒ චරිතවලට සාධාරණයක් කරන්න බැරි නිසා. මට තේරෙන වයසේ ඉඳන් සීමා දාගෙන වැඩ කළේ. ඒවා උල්ලංඝනය කරන්නේ නෑ. මම මට සාධාරණයක් කරන්න පුළුවන් නිර්මාණයක් භාරගත්තා. ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්.

මොනවද අනෙක් වැඩ කටයුතු?

මම භාෂි මධුභාෂිණී නාට්‍ය සහ සංගීත පාසල පවත්වාගෙන යනවා. පාසලේ ඉගැන්වීම් කටයුතු සහ සංගීත වැඩකටයුතු කරගෙන මේ ගමන යනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අමිත තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon