එදා Reject වුණාට අද ලෝකෙම දන්න රජෙක්

  👤  1450 readers have read this article !
Published by : MB WEB 2018-10-30 17:51:08

අපි ජීවිතයට යමක් ලබා ගන්න උත්සාහ කරද්දී එල්ල වන අභියෝග නිසා, වෙනත් අය අපි ගැන දෙන තක්සේරු නිසා ඉලක්කයට යන ගමන අඩාල වෙන්න පුළුවන්. නමුත් තමන්ට තමන් විශ්වාස නම් ඕනෑම ජයග්‍රහණයක් තියෙන්නේ අතේ දුරින්. එළැඹෙන සිකුරාදා 56 වැනි උපන්දිනය සමරන ඔහු, රංගන ප්‍රතිභාව තුළින් ලෝකයම වසඟ කළ බොලිවුඩයේ අංක එකේ නළුවා ශාරුක් ඛාන්.

1965 වසරේ නොවැම්බර් දෙවැනිදා ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේදී ශාරුක් ඛාන් උපත ලබනවා. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙක් වගේම ක්‍රියාකාරී දේශපාලන චරිතයක් විදියට කටයුතු කළ අතර මව ගෘහනියක්.

ශාරුක් කුඩා කාලයේදී ගත කළේ පහළ මධ්‍යම පාන්තික ජීවිතයක්. දිල්ලියේ St. Columba's  පාසලේ දක්‍ෂ ලෙස අධ්‍යාපනය හදාරන, ක්‍රීඩාවේ නිරත වන ඔහු පාසල් ගමනට සමු දෙන්නේ වසරේ දීප්තිමත්ම ශිෂ්‍යයාට පිරිනමන ගෞරව අසිපත දිනාගෙන.

ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරන්න 1985දී ශාරුක් ඇතුළත් වෙනවා හන්ස්රාජ් විද්‍යාලයට. උපාධියෙන් පස්සේ ඔහු ජනසන්නිවේදන උපාධියක් හදාරන්න යොමු වුණත් පාසල් කාලයේ පටන් වේදිකාවට තිබුණු ඇල්මත් එක්ක වෘත්තීමය වශයෙන් රංගනයේ හැඩතල හොයන්න ඔහු තීරණය කරනවා.

ශාරුක් කලා ගමන ආරම්භ කරන්නේ ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපාමින්. ඔහුගේ මුල්ම රංගනය වෙන්නේ 'ෆාවුජි' ටෙලි නාට්‍යය. ලංකාවේත් කාලෙකට ඉහත මේ නාට්‍යය සිංහලෙන් හඬකවලා විකාශය වුණා. ඒ ඔස්සේ තවත් ටෙලි නාට්‍ය කිහිපයකම සුළු චරිතවලින් ඔහු රංගනයේ නිරත වෙන්නේ සිනමාවට තමන්ගේරූපය සුදුසු නෑ කියලා හීනමානයක් හිතේ තිබුණු නිසායි.

ශාරුක් තරුණ වියට එළැඹෙද්දී ඔහුගේ පියා පිළිකාවකින් මිය යනවා. ටික කාලෙකට පස්සේ දියවැඩියාව නිසා මවත් මිය යනවා. තමන්ගේ අක්කාගේ වගකීමත් කරට ගන්න මේ දිල්ලි තරුණයා තීරණය කරනවා. මවුපියන්ගේ වියෝ දුකින් මිදෙන්නත් එක්ක මුම්බායි නගරයට ගිහින් සිනමාව උරගා බලන්න.

දුම්රියේ ටිකට් එකක්වත් ගන්න සල්ලි නැතිව චෙකර්ලාට වෙට්ටු දාලා හොරෙන් මුම්බායි නගරයට ඇවිත්, සිනමා ශාලාවක සුළු සේවක රැකියාවක් කරලා, උද්‍යානයක බංකුවක් උඩ දිනපතා රෑට නිදාගෙන, නොකා නොබී සල්ලි ඉතුරු කරලා සිනමා පාසලට ගිහින්, ක්‍ෂේත්‍රයේ නමක් හදාගන්න වැඩ ටිකක් හොයා ගන්න ශාරුක් සමත් වෙනවා.
1992දී තිරගත වුණු Deewana චිත්‍රපටයෙන් තමයි ශාරුක් රිදී තිරයට ප්‍රක්ෂේපණය වෙන්නේ. පළමු රංගනයේම හොඳම නවක නළුවාට හිමි Filmfare සම්මානය ඔහු දිනා ගන්නවා. එවකට ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් බැහැයි කියන හැම චරිතයක්ම ශාරුක් භාර ගත්ත නිසා ඔහුට හැකි වුණා ටිකෙන් ටික බොලිවුඩයේ මුල් බැහැගන්න.

ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක් දවසක් ශාරුක්ට කියනවා 'ඔයාට ප්‍රේමවන්ත චරිත කරන්න බෑ, මොකද ඔයාගේ මූණේ විශේෂ ලස්සනක් නෑ, ඒ නිසා දුෂ්ට චරිත රඟපාන්න' කියලා.තමන්ට ලැබුණු සෘණාත්මක අදහස ආශීර්වාදයක් කරගෙන ඔහු Baazigar සහ Darr චිත්‍රපට ඔස්සේ තමන්ගේ රංගන හැකියාවේ විවිධ ඉසව් පෙන්වන්න සමත් වෙනවා.

ශාරුක්ට ජීවිතය දෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ යාෂ් චොප්රා. ඔහුගේ Dil To Pagal Hai චිත්‍රපටය ශාරුක්ගේ ජීවිතය වෙනස් කළා. යාෂ්ගේ පුත්‍රයා ආදිත්‍ය චොප්රා අධ්‍යක්ෂණය කරන Dilwale Dulhaia Le Jayenge චිත්‍රපටය තුළින් ප්‍රේමාන්විත රංගනයේ මුද්‍රාව තමන් බව කිසිම විශේෂ ලස්සනක් නැති ශාරුක් බොලිවුඩයට ඔප්පු කරනවා. ඉන් පස්සේ කරන් ජොහාර්, ශාරුක්ගේ අතිජාත මිත්‍රයා Kuch Kuch Hota Hai තුළින් බොලිවුඩ් සිනමා වංශකතාව වගේම ශාරුක්ගේ ජීවිත කතාවත් යොමු කරන්නේ වෙනස්ම මාවතකට. ශාරුක් රසික හදවත් අමතන රංගන වින්‍යාසයට මුළු ලෝකයම වශී වුණා. එතැනින් ඔබ්බට තියෙන්නේ සාර්ථකත්වයේ වීර චාරිකාවක්.

හොඳම නළුවාට හිමි Filmfare සම්මාන 8ක් ඇතුළු සම්මාන 288ක්, ගෞරව ආචාර්ය උපාධි දෙකක්, පද්ම ශ්‍රී සම්මානය, Red Chillies නිෂ්පාදන ආයතනය, Kolkata Knight Rider ක්‍රිකට් කණ්ඩායම ඇතුළු බොහෝ දෑ හිමි ශාරුක් ඛාන්ගේ වත්මන් වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 750කටත් අධිකයි.

ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. මොන තරම් කාර්යබහුල වුණත් පොත් කියවන්න සහ වීඩියෝ ක්‍රීඩා කරන්න කාලය කළමනාකරණය කර ගන්නා පුද්ගලයෙක්. ඔහු තවමත් නිදියන්නේ දවසට පැය 5යි. අපි නම් දේවල් ලැබෙද්දී ජීවිතේ සැහැල්ලු කර ගන්නවා. නමුත් ශාරුක් තව තවත් සාර්ථකත්වය වෙනුවෙන් මහන්සි වෙනවා.

හැම අවුරුද්දේම නොවැම්බර් දෙවැනිදා මුම්බායිහි පිහිටි ශාරුක්ගේ Mannat Annexe  මන්දිරය ඉදිරිපිට දහස් ගණන් රසිකයෝ එකතු වෙන්නේ ඔහුව සියැසින් දැක ගන්න සහ උපන්දිනයට සුබ පතන්න. ශාරුක් හවස් වරුවේදී මන්දිරයේ ප්‍රාකාරයට නැඟලා ඔවුන්ට ආචාර කරනවා. ඔහු තමයි බොලිවුඩයේ වත්මන් රජු.

ශාරුක් කියන්නේ තිරය මත වගේම තිරයෙන් එළියේ සැබෑ ලෝකයේත් වීරයෙක්. දිල්ලියේ පහළ මධ්‍යම පාන්තික පවුලක ඉපදිලා සියලු දුක් කම්කටොලු විඳ දරාගෙන අද වෙද්දී හොලිවුඩයේ දැවැන්තයන් පවා පරාද කරලා ලෝකයේ ධනවත්ම නළුවෙක් වෙන්න ඔහුට පුළුවන් වුණා නම් අපට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද?

ෂෙනාල් ගුණසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon