වායු දූෂණය නිසා ලොව පුරා 93% ළමයින්ගේ සෞඛ්‍යය හා වර්ධනය අවදානමක

  👤  543 readers have read this article !
Published by : MB WEB 2018-10-31 15:46:22

ලෝකයේ වයස අවුරුදු 15ට අඩු ළමයින්ගෙන් සියයට 93ක් (දහ අට කෝටියක්) දිනපතාම දූෂිත වායුව ආශ්වාස කරන බවත් ඒ හේතු කොටගෙන ඔවුන්ගේ සෞඛ්‍ය හා වර්ධනය ඉතා දරුණු අවදානමකට ලක්ව තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි.

වායු දූෂණය සමස්ත ලෝක ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි හානිකර සේ බලපාන ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛනද දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය එම වාර්තාව නිකුත් කර ඇත.

2016දී පමණක් මෙම දරුවන්ගෙන් ලක්ෂ හයක් පමණ අපවිත්‍ර වායුව ආශ්වාස කිරීම නිසා හට ගත් ස්වසන ආසාදනයෙන් මියගොස් ඇතැයිද වාර්තාවෙහි සඳහන් වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, වායු දූෂණය හා සෞඛ්‍ය සම්බන්ධයෙන්, පළමු වැනි වරට ඊයේ (අඟහරුවාදා) පැවැත්වූ සම්මන්ත්‍රණය නිමිත්තෙන් මෙම වාර්තාව නිකුත් කරන ලදී.

ගර්භණී මවුවරුන් දූෂිත වායුවට නිරාවරණය වූ විට ඔවුන්ගේ දරුවන් අඩු වයසෙන් උපදින බව මෙන්ම එම දරුවන්ගේ සිරුරු කුඩා වන බව හා ඔවුන්ට උපතේදී තිබිය යුතු බර අඩු වන බවත් මෙම වාර්තාවෙහි සඳහන් වෙයි.

වායු දූෂණය ළමයින්ගේ ස්නායු වර්ධනය හා හැඟීම් දැනීම් ශක්තිය කෙරෙහිද බෙහෙවින් අහිතකර සේ බලපාන හෙයින් ඇදුම හා පිළිකා රෝගවලට ළමයින් ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වන බවත් ඉතා ඉහළ මට්ටමේ වායු දූෂණයට ලක්වන ළමයින්ඔවුන්ගේ වැඩිහිටි කාලයේදී නිදන්ගත රෝගවලට හෘද නාල හා සම්බන්ධ රෝගවලටද ගොදුරු විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ළමයින් වැඩිහිටියන්ට වඩා වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන හෙයින් ඔවුන් වායු දූෂනවලට වැඩි වශයෙන් ලක් වීම ලෝකයේ ළමයින් කෙරෙහි බලපා ඇති මේ අවදානමට හේතු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩේ‍රා් අධානම් ගේබි්‍රයේසස් ප්‍රකාශ කරයි.

මෙය කිසිසේත්ම පැවැතිය යුතු තත්ත්වයක් නොවන බවත් පිරිසුදු වාතය අශ්වාස කිරීමෙන් සිය සම්පූර්ණ සෞඛ්‍ය හා ශක්තිය ආරක්ෂා කර ගැනීමට දරුවන්ට ඉඩ සැලසිය යුතු බවත් වෛද්‍ය ට්‍රෙඩෝ අවධාරණය කරයි.

අලුත උපන් බිලිඳුන් හා කුඩා දරුවන් වැඩි කාලයක් නිවෙස් තුළම ගත කරන හෙයින් එවැනි නිවෙස්වල ඉවුම් පිහුම් සඳහා දර හෝ භූමිතෙල් වැනි ඉන්ධන හෝ භාවිත කරන්නේ නම් එම දරුවන් අධික වායු දූෂණයට නිතර ලක්වන බවද වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

අප දරුවන්ගේ ශාරීරික සෞඛ්‍ය හා මොළ අප හිතනවාට වඩා බෙහෙවින් වැඩි ප්‍රමාණයකින් වායු දූෂණයට ලක් වෙතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය හා පරිසර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය මාරියා නිරා මෙකී වාර්තාව හා සමගාමීව නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

මේ තත්ත්වය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන සෞඛ්‍ය රක්ෂක ප්‍රතිපත්තියක් පදනම් කොට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඉවුම් පිහුම් හා ප්‍රවාහනයත් අදාළ තාක්ෂණ විධි යනාදියත් වායු දූෂණයට හේතු නොවන පරිදි සැකසුම එහි අරමුණ බවත් වෛද්‍ය නිරා වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon