බොලිවුඩ් තරු කැන්දුව හිරු රන් සම්මාන රාත්‍රිය

  👤  1888 readers have read this article !
Published by : MB WEB 2018-11-07 06:21:58

පසුගිය 27 වැනිදා උදා වූයේ අපූර්ව රාත්‍රියකි. ඒ තුන්වැනි වරටත් පැවැත්වුණු හිරු ට්ධතඤඥද ටඪතථ ඒඹචපඤ සම්මාන උළෙල බොලිවුඩ් සිහින තරු සහ ශ්‍රී ලාංකේය සිහින තරු පිරිවරාගෙන එදින ආලෝකවත් වූ බැවිනි. එහි වටිනාම අගය තිබෙන්නේ ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ වැඩ කළ නිර්මාණකරුවන්, රංගන ශිල්පීන්, රංගන ශිල්පිනියන් ඇතුළු අනෙකුත් ශිල්පීන් රන් සම්මානයෙන් අභිෂේක ගැන්වීමය.

භාතිය සන්තුෂ් සමඟ උමාරියා සිංහවංශ හිරු ට්ධතඤඥද ටඪතථ ඒඹචපඤ උළෙල පටන් ගැන්මේ සුවිශේෂී බරක් එක් කළේ ලාංකේය ගායන ක්ෂේත්‍රයේ තරුණ ජවය සැමට විදහා පාමිනි.

රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ ධනංජය සිරිවර්ධන ඉදිරිපත් කරන්නන්ගේ භූමිකාවට මුල පිරූ තැන් සිට ඇරැඹුණේ රන් සම්මාන පිරිනැමීමේ අවස්ථාවයි. හිරු රන් සම්මාන රාත්‍රියේ හොඳම නළුවා ලෙස රන් සම්මාන හිමි කරගත්තේ දසුන් පතිරණය. දසුන් සම්මානය පිළිගැනීමට ගොඩවන්නේම ඔහුගේ ගුරු මහේන්ද්‍ර පෙරේරා වැලඳගෙන ආශීර්වාද ගැනීමෙන් පසුවය. බොලිවුඩ් නිළි ජුහී චවුලා සහ ලාංකේය නිළි රැජින මාලිනී ෆොන්සේකා අතින්, සයපෙති කුසුම චිත්‍රපටයේ තමන්ගේ රංගනයට සම්මානය භාරගත් දසුන් තමන්ට හිමි වූ හොඳම නළු සම්මානය ගුරු මහේන්ද්‍ර පෙරේරාට පරිත්‍යාග කළේ ඔහුගේ හොඳම නළුවා මහේන්ද්‍ර බව සැවොම ඉදිරියේ ප්‍රකාශ කරමිනි.

මේ සම්මාන රාත්‍රියේදී හොඳම නිළිය ලෙස රන් සම්මාන හිමි කරගත්තේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ස්වර්ණා මල්ලවාරච්චිය. අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ 'ඇගේ ඇස අග' චිත්‍රපටයේ ඇය නිරූපණය කළ රංග භූමිකාවට රන් සම්මාන ලද ඇය තමන් වෙනුවෙන්ම ලියා 'ඇගේ ඇස අග' තුළ චරිතයක් ලබා දුන්නාට ස්තුති කරන්නට අමතක කළේ නැත. ඇයගේ වයස් සීමාවට උචිත හොඳ චරිත නොලැබෙන පසුබිමක මෙවන් හොඳ චරිතයක් ලැබීම ඇගේ ප්‍රශංසාවට හේතු විය.

මෙහිදී ජනප්‍රිය නිළියට හිමි රන් සම්මානය පූජා උමාශංකර්ටත් ජනප්‍රිය නළුවාට හිමි රන් සම්මානය උද්දික ප්‍රේමරත්නටත් හිමි විය. හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි කරගත්තේ උමාලි තිලකරත්නය. ඒ ඒ ලෙවල් චිත්‍රපටයේ ඇය නිරූපණය කළ චරිතය වෙනුවෙනි. හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි කරගත්තේ කුමාර තිරිමාදුරය. ඒ ධර්ම යුද්ධය චිත්‍රපටයේ ඔහු කළ රංගනය වෙනුවෙනි. ඔහු වෙනුවෙන් එදින සම්මානය ලබා ගත්තේ ඔහුගේ දියණියයි. හොඳම හාසේ‍යාත්පාදක රංගන ශිල්පියාට හිමි සම්මානය හිමි වුණේ හිරු රන් සම්මාන උළෙලේ ඉදිරිපත් කිරීමේ භූමිකාවට පණ පොවමින් සිටි මහේන්ද්‍ර පෙරේරාටය. බොලිවුඩ් නළු ගෝවින්දා, මහේන්ද්‍ර පෙරේරාගේ කැමැතිම නළු ලැයිස්තුවේ සිටි පුද්ගලයකු වීම සහ ඔහු අතින් සම්මානයක් ලබාගැනීම මහේන්ද්‍රට වැඩි උත්තේජනයක් සහ සතුටක් ගෙනාවේය.

මෙවර නැඟී එන නළුවාට හිමි රන් සම්මානය හිමි වුණේ ආලෝකෝ උදපාදි චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වූ දිනෙත් ද සිල්වාටය. දිනෙත් හිරු රන් සම්මානය ලබා ගනිද්දී ඒ බැඳි අපූර්ව කතාන්දරයක් ඔහු වේදිකාව මත දිග හැරියේය. හිරු පළමු සහ දෙවැනි රන් සම්මාන උළෙල සඳහා දිනෙත්ට එන්නට ආසාව තිබ්බද ඔහුට ඒ ආසාව යටපත් කරගැනීමට සිදුවන්නේ ඒ සඳහා ඇරැයුම්පතක් නොමැති වීම නිසාය. නමුත් ඔහුට තුන්වැනි වරට පැවැත්වුණු හිරු රන් සම්මාන උළෙලට ඇරැයුමක් ලැබුණා පමණක් නොව එහිදී සම්මානනීය වීමටද ඉඩකඩ නිර්මාණය වුණි. සම්මාන උළෙලට විත් හිස් අතින් ගෙදර නොයන දිනෙත්ගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ එලෙසිනි.

මෙම සම්මාන උළෙලේදී නැඟී එන නිළියට හිමි සම්මානය හිමි වූයේ 'ඇගේ ඇස අග' චිත්‍රපටයෙහි රඟපෑ රිතිකා කොඩිතුවක්කුටය.

හොඳම අධ්‍යක්ෂණයට හිමි රන් සම්මානය ප්‍රසන්න ජයකොඩිට හිමිවිය. ඒ 28 චිත්‍රපටය වෙනුවෙනි. හොඳම චිත්‍රපටය සඳහා සම්මානය හිමිවුණේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙනි.
මතු බලාපොරොත්තු තබාගත හැකි අධ්‍යක්ෂවරයාට හිමි රන් සම්මානය හිමි වුණේ මෝටර් බයිසිකල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ශමීර නාඔටුන්නටය.

හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව වූයේ උරේෂා රවිහාරිය. හොඳම පසුබිම් ගායකයා වූයේ ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් මහතාය. හොඳම ගී පද රචනයට හිමි රන් සම්මානය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට හිමි විය. ඒ පත්තිනි චිත්‍රපටයේ' සංසාර ගිරිදුර්ග' ගීතය වෙනුවෙනි. හොඳම ගී තනු නිර්මාණය වෙනුවෙන් අජිත් කුමාරසිරි රන් සම්මාන හිමි කරගත්තේය. හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය වෙනුවෙන් රන් සම්මාන හිමි කරගත්තේ ආචාර්ය රෝහණ වීරසිංහය. ජනප්‍රියම චිත්‍රපට ගීතයට රන් සම්මාන හිමි වූයේ සමන්ත පෙරේරාටය. ඒ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ එඩිබින්දා ගීතය වෙනුවෙනි. ඔහුගේ සංගීත ගමනේ ජනප්‍රිය සම්මානයක් හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය වීමද සුවිශේෂීය.

මෙහිදී හොඳම වේශ නිරූපණයට ජයන්ත රණවකටත්, හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් මෙත්නුවන් විජේසිංහටත්, හොඳම නර්තන වින්‍යාසය වෙනුවෙන් ගයාන් ශ්‍රීමාල්ටත්, හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සුනිල් විජේසිංහටත්, විශේෂිත දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් චත්‍ර වීරමන්ටත්, හොඳම සටන් අධ්‍යක්ෂණය වෙනුවෙන් සුමුදු සහ සඳුන්ටත් හොඳම සංස්කරණය වෙනුවෙන් තිසර සුරේන්ද්‍රටත්, හොඳම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් චන්න දේශප්‍රියටත් රන් සම්මාන හිමි වූහ. හොඳම තිර රචනයට හිමි සම්මානය හිමි වූයේ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙන් අශෝක හඳගමටය.

හොඳම ප්‍රතිවීර චරිතය වෙනුවෙන් සිරිල් වික්‍රමගේ රන් සම්මාන ලබා ගත්තේය. ඩ්ඪපභ ඊපඥදඤඵඥබබඥප සම්මානය හිමි වූයේ හේමාල් රණසිංහටය.

මෙවර හිරු රන් සම්මාන උළෙලේදී, ජීවිතයට එක් වරක් පිරිනමන හිරු ජීවන ප්‍රණාම සම්මානය හිමි වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාටය. හිරු උත්තමාචාර සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි වූ අතර එය පිළිගැන්වුණේ සුනේත්‍රා පීරිස් මහත්මියටය. ධර්මසේන පතිරාජ මහතාටද හිරු උත්තමාචාර සම්මානයක් හිමි වූ අතර එතුමා වෙනුවෙන් එය ලබා ගත්තේ මාලනී පතිරාජ මහත්මියයි.


ජනප්‍රියම ළමා නිළිය ලෙස ධර්ම යුද්ධය චිත්‍රපටයේ රඟපෑ විනුමි වන්සදි රන් සම්මාන හිමි කර ගත්තාය.

මෙහිදී 'උසාවිය නිහඬයි' චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්ත විතානගේටත්, ප්‍රේමය නම් චිත්‍රපටය වෙනුවෙන් කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශටත්, නිනෝ ලයිව් චිත්‍රපටය වෙනුවෙන් තිසර ඉඹුලානටත් විශේෂ ජූරි සම්මාන හිමි විය. ධර්ම යුද්ධය චිත්‍රපටයේ රඟපෑ කුසුම් රේණු සහ ඒ ලෙවල් චිත්‍රපටයේ රඟපෑ ලහිරුකා ඒකනායකට විශේෂ සහතික පත්‍ර හිමි විය.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත සැබෑවක් වූ හිරු රන් සම්මාන උළෙලේදී 2016-2017 වසරවල තිරගත වූ චිත්‍රපට සහ එහි නිර්මාණකරුවන්, නළු නිළියන්, හා අනෙකුත් ශිල්පීන්ට රන් සම්මාන ඇගයුම් බොහෝමයක් මෙලෙස හිමි විය.

මේ සම්මාන රාත්‍රිය පුරාවටම චන්න විජේවර්ධන නර්තන කණ්ඩායම සහ එක්ව රංගන ශිල්පීන් ශිල්පිනියන් වේදිකාව මත පෑ නර්තන සෝභාව අනර්ඝය. පුංචි නර්තන ශිල්පිනියක වන ජින්නා සිය නර්තනය හැකියාවෙන් සියලු දෙනාගේ නෙත් සිත් පැහැරගත් බව නොරහසකි. මහේන්ද්‍ර පෙරේරාගේ ඇවිටිලි කිරීම මැද බොලිවුඩ් නිළි සෝනාක්ෂි සිංහාට ගීතයක කොටසක් ඉදිරිපත් නොකර වේදිකාවෙන් බැස යෑමට නොහැකි විය. බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිද නර්තනයකට එක් විය. සරීනා ඛාන්ගේ අපූර්ව නර්තන ලීලාවද ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට ලක් විය. තාරුණ්‍යයේ උන්මාදයක් වූ බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා සිය නර්තන ප්‍රභාවෙන් ප්‍රේක්ෂකයන් මන්මත් කළේය.

හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, ශලිනි තාරකා, තාරුකා වන්නිආරච්චි, ෂෙහානි කහඳවල, මහේෂි මධුශංකා, මේනකා පීරිස්, ජීවන් කුමාරතුංග, චන්න පෙරේරා, රවින්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් හිරු රන් සම්මාන රාත්‍රියට සිය නර්තන ඉදිරිපත් කිරීම්වලින් ගෙන ආවේද අපූරු ආලෝකයකි. රන් සම්මාන සිනමාවේ අනාගත සිහින සැබෑ කරන තවත් එක් කඩඉමක සේයා මතු කරමින් නිමවූයේ 2020 වසරේ මෙතරම් අනර්ඝ ජාත්‍යන්තර මට්ටමක අත්දැකීම් කැන්දන සිනමාවට ආලෝකයක් ගෙනෙන සිනමා සම්මාන උළෙලක් නැවත ගෙන ඒමේ බලාපොරොත්තු තබමිනි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායාරූප - අනුරුද්ධ මැදවත්තෙගෙදර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon