චත්‍ර ජීවිතයට ආලෝකයක් කැන්දන් ඇවිත්

  👤  3037 readers have read this article !
Published by : MB WEB 2018-11-09 07:28:34

චත්‍රගේ ජිවිතයට අලුත් ආලෝකයක් උදා වුණා කියලා ආරංචියි?

ඔව්, මම පහුගිය ඔක්තෝබර් 25 වැනිදා විවාහ වුණා. මගේ සහකාරිය වුණේ චතුරිකා නිර්මාණි. වාද්දුව බ්ලූ වෝටර් හොටෙල් එකේ තමයි විවාහ මංගල්‍යය පැවැත් වුණේ. ඒ සඳහා ඥාතීන්, හිත මිතුරන් ඇතුළු සහෘදයන් කිහිප දෙනකු සහභාගි වුණා.

චත්‍රගේ ජීවන සහකාරිය කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි නේද?

ඔව්, ඇය කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. එහි ඉගෙන ගන්නා කාලයේදී තමයි ඇය දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ පස් වැනි අදියරට එක් වුණේ. ඇය එහිදී අවසන් කිහිප දෙනා අතරින් දහතුන් වැනි ස්ථානය තෙක් තරගයේ රැඳෙනවා. ඊට පස්සේ තමයි ඇය ගායන ක්ෂේත්‍රයේ ස්ථාවරයක් හදා ගනිමින් ඉදිරියට ආවේ. මේ වෙනකොට ඇය ගුවන් විදුලියේ ඒ ශේ‍ර්ණියේ ගායිකාවක් විදියට කටයුතු කරනවා. ඒ සියල්ලටම අමතරව ඇය ගුරුවරියක් විදියටත් සේවය කරනවා.

දෙන්නාගේ ආදර කතාවේ ඇරඹුම සිදුවුණේ කොහොමද?

ඇයව මම දැන හඳුනාගෙන දැන් වසර තුනක් විතර. මගේ මිත්‍රයෙක් වුණු මිලින්ද තෙන්නකෝන් චතුරිකාට ගීතයක් නිර්මාණය කරනවා. ඒ අවස්ථාවේදී තමයි මට ඇයව හමුවන්නේ. ඇයගේ දක්ෂතාවන්ට තමයි මම මුලින්ම ආකර්ෂණය වන්නේ. මමත් සංගීතයට ඉතා ළැදි කෙනෙක්. ඒ වගේම කාලයත් එක්ක ඇයගේ ගතිගුණ මම හඳුනා ගන්නවා. අපි දෙන්නා කවදාවත් ආදරය වචනයෙන් ප්‍රකාශ කරන්න ගියේ නැහැ. ඒක ආයාසයෙන් තොරව ඉබේම ඇති වුණු බැඳීමක්.

කලා ක්ෂේත්‍රය ගැන දැන් තියෙන මතවාද එක්ක අධ්‍යක්ෂවරයකුට දුව දෙන්න චතුරිකාගේ මවුපියෝ කැමැති වුණාද?

එහෙම මත තියෙන්න පුළුවන්. නමුත් අපි පුද්ගලයන් එක්ක ගනුදෙනු කරන ආකාරය අනුව එය වෙනස් වෙනවා. ඒ ගෑනු ළමයා මොන දේ ආවත් එක තීරණයක, නිසි අදහසක ඉන්නවා නම් සහ දරුවාගේ තීරණය ගැන මවුපියන්ට විශ්වාස නම් මං හිතන්නේ ඒක ඒ තරම් ගැටලුවක් නොවෙයි. අපේ ගෙදරින් වුණත් විවෘත මානසිකත්වයකින් යුතුව කටයුතු කළා. එයාලා කොයිම මොහොතකවත් විරුද්ධ මතයක් දැරුවේ නැහැ.

ඇය නාගරික සමාජයක ජීවත් වුණු අපි වගේ නෙවෙයි. ඇය හැදුණු පරිසරය අනුව පවුල ඥාතීන් සමඟ ඉතා සුහදව කටයුතු කරන කෙනෙක්. ඇයගේ ඒ ගතිගුණ අපේ මවුපියන් වුණත් ආදරෙන් වැලඳගත්තා.


දෙන්නා එක කැදැල්ලකට ආව නිසා

අලුත් බලාපොරොත්තුත් ඇති?

මං කැමැති ඇයත් සමඟ සංචාරය කරන්න. මිනිසුන් සහ විවිධ සංස්කෘතීන් සමඟ ගැටිලා ඒවා ග්‍රහණය කරගන්න අධ්‍යක්ෂවරයෙක් විදියට මම කැමැතියි. ඒ අත්දැකීම් ඇය සමඟ විඳින්න මං කැමැතියි. මගේ වෘත්තීය සිනමාවම නෙවෙයි. මගේ වෙනත් ව්‍යාපෘති සහ කටයුතු තියෙනවා. ඒ සියලු කටයුතු සිදු කරන ගමන් ජීවිතේ සමබරව ගෙනියන්න තමයි බලාපොරොත්තුව.

පසුගියදා පැවැත්වුණු හිරු රන් සම්මාන රාත්‍රියේදී ආලෝකෝ උදපාදී සිනමා නිර්මාණය සම්මාන රැසක් දිනාගැනීමට සමත් වෙනවා සහ එහි ඔබටත් සම්මානයක් වෙන් වෙනවා. නමුත් ඔබ ඒ සිනමා සම්මාන රාත්‍රියට එක් වුණේ නැහැ. ඒ ඇයි?

ඇත්තටම මට එයට සහභාගි වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. මගේ විවාහයේ වැඩ කටයුතු නිසා. හොඳම සටන් අධ්‍යක්ෂණය, හොඳම අංග රචනය, හොඳම කලා අධ්‍යක්ෂණය, ජනප්‍රියම චිත්‍රපට ගීතය, මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා, හොඳම පරිගණක දෘශ්‍ය ප්‍රයෝග යනාදී වශයෙන් අංශ ගණනාවක් සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම තවත් නිර්දේශවීම් තිබුණා. ඒ පිළිබඳ සතුටක් තියෙනවා.

ආලෝකෝ උදපාදී නිර්මාණය සිනමාවේ ශක්තිමත් පියවරක් තැබුවා. එම නිර්මාණය එළියට ගෙනාපු කාලයේ පටන් ඒ වෙනුවෙන් ලැබුණු ඇගැයීම් සහ ප්‍රතිචාර පිළිබඳ එහි අධ්‍යක්ෂවරයා වූ ඔබ තෘප්තිමත්ද?

සමස්තයක් විදියට ගත්තාම මම ආලෝකෝ උදපාදී නිර්මාණය සමඟ සිනමා සම්මාන උළෙලවල් කිහිපයකටම ගිහින් තියෙනවා. සමහර වෙලාවට අප බලාපොරොත්තු වෙන සම්මාන නෙවෙයි අපිට ලැබෙන්නේ. සමහර සම්මාන සමඟින් අපි දිරිමත් වුණා වගේම සමහර සම්මාන උළෙලවලදී අපි බලාපොරොත්තු තියා ගත්තු සම්මාන නොලැබී හිතන්නෙවත් නැති සම්මාන ලැබුණු අවස්ථාවන් තිබුණා. ඒවාත් එක්ක පසුව සම්මාන පිළිබඳ ලොකු අපේක්ෂාවන් තිබුණේ නැහැ. කොහොම වුණත් ලැබුණු සම්මාන ගැන සතුටුයි. ඒ වගේම නොලැබුණු ඒවා ගැන දුකකුත් නැහැ.

චත්‍ර සිනමාව තුළ තබන ඊළඟ පියවර මොකක්ද?

මෙහෙමයි, නිතරම සිනමාව ඇතුළේ අපි කවුද කියන එක හඳුනාගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට අපි කැමැති දේ කරන්න අපිට ඉඩක් ලැබෙන්නේ නැහැ. මගේ ඊළඟ සිනමා නිර්මාණය ආයු. ආයු ඇතුළේ මං කැමැතිම දේ කරන්න මට අවස්ථාවක් ලැබුණා. "ආයු" පසු නිෂ්පාදන කටයුතු අප මේ දිනවල සිදු කරනවා. ලබන අවුරුද්ද වනවිට ආයු සිනමා නිර්මාණය එළිදක්වන්න හැකි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂ කාරණාවක් තමයි මගේ බිරියත් ආයු සිනමා නිර්මාණයෙහි ගීතයක් ගායනා කරනවා. ඒ සියල්ලටම අමතරව තවත් අලුත් නිර්මාණ කිහිපයක පෙර නිෂ්පාදන කටයුතු සිදු කරන්නත් අදහසක් තියෙනවා.

අරුණි කළුපහන

ඡායාරූප _ මිහිර බණ්ඩාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon