කොළ රොඩු සිරවීමෙන් පාලම් තුනක් අවදානමක

  👤  2273 readers have read this article !
Published by : MB WEB 2018-11-09 07:43:32

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

අයහපත් කාලගුණ තත්ත්වය නිසා අරණායක, මාවනැල්ල ප්‍රදේශවල පාලම් තුනක කොළ රොඩු හිර වී ජලය ගලා ගෙන යෑම අවහිර වී තිබෙන අතර මෙම තත්ත්වය දිගින්් දිගටම පැවතුණහොත් පාලම්වලටද අවදානමක් ඇති විය හැකි බව ජනතාව පවසති.

මෙලෙස අවහිර වූ පාලම්වලින් දෙකක් පිහිටා ඇත්තේ අරණායක ප්‍රාදේශීය බල ප්‍රදේශයේ වන අතර අනික් පාලම මාවනැල්ල බල ප්‍රදේශයේ පිහිටා ඇත. අරණායක මාර්ගයේ බූවැලිකඩ මංසන්ධියේ සිට සැලව හා රහල ගම්මානවලට පිවිසීමට ඇති කොටසේ කුඩා ඔයට යොදා ඇති කළල්පිටිය පාලම මෙලෙස අවහිර වී පවතින අතර අරණායක හොරේවෙල නගරයේ සිට සැලව සහ අරම දක්වා ගමන් කරන මාර්ගයේ ඇති දෙල්කිඳවත්ත පාලමද කොළ රොඩු හිර වී ජලය බැස යෑම අවහිර වී පවතී.

මාවනැල්ල - තඹවිට ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති අම්බුළුවාවේ සිට ගලා බසින කුඩා ඔයට යොදා ඇති පාලමද කොළ රොඩු හිර වී ඇති අතර එම පාලමේ එක් කොටසකින් හෑරී ගොස් පාලමට හානි වන ලෙස ජලය බැස යෑම සිදුවෙයි.

මෙම කිසිදු පාලමකට ආරක්ෂිත ඇඳි වැටක්ද නොමැති අතර ජනතාව පවසන්නේ පාලම් කැඩී යෑමට පෙර මෙම පාලම් කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානය යොමු කර අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙසයි. පාලම්වලට හානි වුවහොත් ජනතාවගේ දෛනික කටයුතු රැසකට බාධා එල්ල විය හැකි බව ජනතාව පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon