ටීනා මඩ නාගත්ත හේතුව

  👤  2747 readers have read this article !
Published by : MB WEB 2018-11-12 07:11:52

නිරූපණ ක්‍ෂේත්‍රයේ, සිනමාවේ දැකපු ටීනා දැන් පුංචි තිරයේ රංගන ශිල්පිනියකුත් වෙලා?

ඔව්. ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු 'සකුගේ කතාව' නිසා. මේ දවස්වල ඒ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයෝ අතරට ඇවිත් තියෙනවා.

ටීනා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කැමැති නෑ කියලා නේද කලින් කිව්වේ?

මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න ඒ තරම් කැමැති නැහැ. හැබැයි මගේ ප්‍රේක්ෂකයෝ මගෙන් නිතර අහනවා ඉදිරි වැඩ ගැන. එයාලා මාව නිතර දකින්න කැමැති වුණා. ෆිල්ම්ස්වලින් මාව නිතරම දකින්න ලැබෙන්නේ නෑනේ. මට කලිනුත් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒත් මම ගියේ නැහැ. ප්‍රියන්ත කොළඹගේ කියන්නේ මම දක්ෂයි කියලා හඳුනාගෙන මාව සිනමාවට ගෙනාපු කෙනා. මට ඔහුගේ පළමු ටෙලිනාට්‍යයටත් ආරාධනා ලැබුණා. මම ඉතිං ඔහුගේ ආරාධනාව සතුටින් භාරගත්තා.

ඔබව සිනමාවට ගෙනාපු නිසාද ප්‍රියන්තගේ ආරාධනාව එක පයින් භාරගත්තේ?

ප්‍රියන්ත අයියා කියන්නේ මම රඟපෑමෙන් නර්තනයෙන් කියන හැම පැත්තකින්ම දක්ෂයි කියලා හඳුනාගත්ත කෙනා. ඔහු ලංකාවේ ඉන්න හොඳ දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මට ලැබුණු අනෙක් තිරපිටපත් බැලුවට සම්බන්ධ වෙන්න හිතුණේ නැහැ. හැබැයි ප්‍රියන්ත අයියා මට ඔහුගේ ටෙලිනාට්‍යයට කතා කරද්දී මට දෙපාරක් හිතන්න ඕන වුණේ නැහැ. මම දන්නවා දේදුණු ආකාසේ චිත්‍රපටයටත් වඩා මේ ටෙලිනාට්‍යයෙන් මගේ දක්ෂතා ඔහු එළියට ගන්නවා කියලා.

ටීනාව නිතරම දකින්න ඕන කියපු ප්‍රේක්ෂකයෝ දැන් ටීනාගේ රංගනය දැකලා සතුටු වෙනවා ඇතිද?

ඇත්තටම සෑහෙන ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා. මම හිතුවේ නැහැ මේ නාට්‍යයට මේතරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. දැන් සකුගේ කතාව ලංකාවේ ටෙලිනාට්‍ය අතර නම්බර් 1 වෙලා තියෙනවා. ලංකාවේ ඉන්න අය විතරක් නෙවෙයි පිටරට ඉන්න අය පවා නාට්‍ය බලලා ප්‍රතිචාර ලබා දෙනවා. හරිම සතුටුයි මේ වගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. මම සම්බන්ධ වෙන නිර්මාණ හැම වෙලාවෙම කතාබහට ලක් වෙනවා.

ඒ කියන්නේ මාකට් කරන්න පුළුවන් නිසාද නිර්මාණකරුවෝ ටීනාව නිර්මාණවලට ගන්නේ?

ප්‍රියන්ත අයියා නම් එහෙම හිතලා මාව සම්බන්ධ කරගත්තා කියලා මම හිතන්නේ නැහැ. වෙන අධ්‍යක්ෂවරු නම් එහෙම හිතලා මාව සම්බන්ධ කරගන්න අවස්ථා ඇති. ටීනා ජනප්‍රියයි. අඳින පලඳින විදියත් එක්ක කතාබහට ලක්වෙනවා කියලා ඔවුන් හිතනවා. ගොසිප් ගහන්න බලාගෙනත් සමහරු මට නිර්මාණවලට කතා කරන අවස්ථා තියෙනවා. නමුත් ප්‍රියන්ත අයියා කියන්නේ චරිතයකට ගැළපෙන කෙනාව තෝරාගන්න අධ්‍යක්ෂවරයෙක්. මේ චරිතය ලියද්දී ඔහුට මාව මතක් වෙන්න ඇති.

ටීනාට ප්‍රේක්ෂක ආදරය වැඩියි කිව්වට ටීනා නිතර විවේචනවලටත් හසුවෙන කෙනෙක්?

ඉස්සර ඉඳන්ම මට ඔය දේ වුණා. ඒ මම පටන් ගත්ත තැන නිසා වෙන්න ඇති. නිරූපණ ක්‍ෂේත්‍රයේ අපි අඳින පලඳින දේවල් සමහරු ප්‍රතික්ෂේප කරනවා. හැබැයි කවුරු හරි මාව විවේචනය කරද්දී මට බනිද්දි මම හැමදාම උත්සාහ කළේ අඩියක් හරි ඉස්සරහට ගිහින් මගේ දක්ෂතාව පෙන්නන්න. මම ඔය එක එක අය දාන කමෙන්ට් බලන්නේ නැහැ. අපි නිරූපණය කරන චරිතයකට ‍ෙදාස් කියනවා නම් ඒ අපි චරිතය හොඳින් කරලා තියෙන නිසා. අනෙක විවේචන නම් මම අදාළ කරගන්නේ නැහැ. අපේ සාර්ථකත්වයට විවේචන එල්ල කරන අයත් ඉන්නවනේ. ගෑනු අය නම් අපිව විවේචනය කරන්නේ ඊර්ෂ්‍යාවට.

ක්‍ෂේත්‍රයේ අයත් ටීනාට ඊර්ෂ්‍යාද?

එකට කතා කරලා හිටියට එහෙම අය ඕන තරම් ඉන්නවා. මම ටෙලිනාට්‍යවලට එද්දී සමහරු බය වුණා. මම කාත් එක්කවත් තරහා නැහැ. හැබැයි සමහර නිළියන් මාත් එක්ක තරහයි. ඒක ඉතිං පැහැදිලි ඊර්ෂ්‍යාව. මම ඉතිං කියන දේ මූණටම කියනවනේ. ඒ නිසාත් සමහරු තරහද දන්නේ නැහැ.

සකුගේ කතාවේ ටීනා නපුරු චරිතයක නිරූපණයක්. සැබෑ ජීවිතේ ටීනා ඒ චරිතයේ කොතැනකට හරි සම්බන්ධ වෙනවද?

ෆැෂන් සහ නර්තනය පැත්තෙන් ගත්තොත් ඒ චරිතය මගේ ජීවිතයට සම්බන්ධයි. හැබැයි මම ඒ තරම් නපුරු නැහැ. හැබැයි මට කවුරු හරි බොරුවට දේවල් කියනවා නම් මට තරහා යනවා. අසාධාරණයක් වුණොත් තමයි මට කේන්ති යන්නේ.

මේ දවස්වල ටීනා මඩ නාගත්ත ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරි සරනවා. මේ සැරේ ටීනා මඩ නාගත්තේ ඇයි?

ඒ ඡායාරූප පළවෙද්දී ගොඩක් අය හිතුවේ ඒක ඇත්තටම වුණ දෙයක් කියලා. නමුත් ඒක රූගත කිරීම්වලට අවශ්‍ය විදියට සිද්ධ වුණ දෙයක්. මම මඩනාගත්තේ ඇයි කියලා 'සකුගේ කතාව' බලන අයට ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන් වෙයි. වෙන නිළියක් හිටියා නම් ඔය වගේ කරන්න කැමැති වෙන එකක් නෑ කියලා ගොඩක් අය කිව්වා. මම චරිතය වෙනුවෙන් තමයි ඒ කැප කිරීම කළේ.

ටීනා නිර්මාණයක් වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරනවාද?

මට පුළුවන් දෙයක් නම්, මට හානියක් වෙන්නේ නැති දෙයක් නම් මම ඒ දේ කරනවා. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය නම් මට ඒ දේ කරන්න වෙනවා. කතාවේ රසය තියාගන්න අවශ්‍ය දේ මම මට පුළුවන් උපරිමයෙන් කරනවා.


ටිනා පළමු සිනමා රංගනයෙන්ම සම්මාන උළෙලවල ජනප්‍රිය නිළි නාම ලේඛනයට එකතු වුණා. හැබැයි සම්මානය නම් ගිලිහුණා නේද?

ඔව්. ඒ ගැන දුකක් නැහැ. ලංකාවේ ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල්. නිතර දකින එකම පිරිසකට තමයි සම්මාන යන්නේ. මම සම්මාන ගැන ඒ තරම් හිතන්නේ නැහැ. මම සම්මාන උළෙලවලට යන්නේ ආරාධනා ලැබෙන නිසා මිසක් සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. සම්මාන ගන්න අයට වඩා අපිට ප්‍රේක්ෂකයෝ ආදරෙයි. මට ලොකුම සම්මානය ප්‍රේක්ෂක ආදරය. මට ප්‍රේක්ෂක ආදරයේ අඩුවක් නෑ. එන්න එන්නම ඒ ආදරය වැඩි වෙනවා.

දැන් ටීනා දිගටම ටෙලිනාට්‍යවල පේන්න ඉඳියිද?

මම දිගටම ටෙලිනාට්‍යවල රැඳෙන එකක් නැහැ. මේ වගේ හොඳ මගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් නිර්මාණයකට සම්බන්ධ වෙනවා. මම හැම තිස්සෙම පේන්න ඉන්න කැමැති නැහැ.
නිතර දකිද්දිත් එපා වෙනවනේ.

නිරුපිකාවන්ට, රංගන ශිල්පිනියන්ට අයුතු යෝජනා එනවලු. ටීනාට අයුතු යෝජනා ඇවිත් නැද්ද?

මම වැඩ කරන අයගෙන් මට කවදාවත් අයුතු යෝජනා ඇවිත් නැහැ. හැබැයි ෆේස්බුක් එකෙන් නම් ඔය එක එක මානසික ලෙඩ්ඩුන්ගෙන් අයුතු යෝජනා සෑහෙන්න ඇවිත් තියෙනවා.


ටීනා දැන් පෙම්වතියක්නේ?

ඔව්. මම පෙම්වතියක්.

පෙම්වතා ටීනාට සීමා දානවාද?

මම එයා හම්බෙන්න කලින්ම ඉඳලනේ ක්‍ෂේත්‍රයේ ඉන්නෙ. රඟපාන්න එපා කියලා එයාට කියන්න බෑ.

කවදා හරි බඳින දවසක එයා මට කිව්වොත් රඟපාන්න එපා කියලා එදාට තීරණයක් අරගන්න වෙනවා. මම මට කැමැති දේ කරනවා. මම තෝරලා බේරලා අවශ්‍ය දේ කරන්නේ. පෙම්වතා තාම නම් සීමා දාලා නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon