චේතනා කසුන්ගේ අකැමැතිම ගතිගුණය රටටම කියයි

  👤  2629 readers have read this article !
Published by : MB WEB 2018-11-15 08:21:19

කසුන් පැස්කුවල් කියන්නේ සංගීත ක්ෂේත්‍රයේදී තමන්ගේ පාඩුවේ ගමනක් යන දක්ෂයෙක්. ඔහු ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්ගේ පුතු බව කවුරුත් දන්න කාරණයක්. වැඩි සද්ද බද්ද නැති ඔහු සැබෑ ජීවිතයේදී කොහොම කෙනෙක් වෙන්න ඇතිද? ඒ ගැන අපි අහලා බැලුවේ කසුන්ගේ බිරිය චේතනා රණසිංහගෙන්.

පෙම්වතා කාලේ කසුන්

ඒ කාලේ හරිම හොඳ ඒ වගේම අහිංසක චරිතයක්. හරිම ආදරණීයයි.

සැමියා විදියට

ඒ තිබුණු ආදරේ වෙනසක් වුණේ නෑ. තාමත් එහෙමම තියෙනවා. මාව හොඳට ආරක්ෂා කර ගන්නවා. බලාගන්නවා.

කසුන්ගෙයි තාත්තාගෙයි බැඳීම

කසුන් හැමදෙයක්ම තාත්තාගෙන් අහනවා. මියුසික් වැඩවලදී වුණත් හැමදේම අහලා බලනවා. වෙන මොකක්හරි පෞද්ගලික ජීවිතයේ දෙයක් වුණත් එහෙමයි. හැමදෙයක්ම තාත්තාට කියනවා.

කසුන්ගේ ජීවිතේ මුල් තැන

කසුන්ගේ ජීවිතේ මුල් තැන දීලා තියෙන්නේ පවුලට. අනෙක් දේවලුත් ඒ අතරේ සමබරව කරගෙන යනවා. හැබැයි අංක එක තමයි පවුල.

කසුන් වැඩිපුරම ආදරේ කරන්නේ

වැඩිපුරම ආදරේ කරන්නේ මට කියලා හිතෙනවා ඉතින්.

කසුන් හැම තිස්සෙම ජීවිතේ ගැන සීරියස් හිතන කෙනෙක්ද?

ඒ ඒ අවස්ථාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එක එක වෙලාවට වෙනස් වෙනස් විදියට තමයි එයා හිතන්නේ පතන්නේ.

රූපවාහිනියේ අපි දකින කසුන්වද ගෙදරදීත් දකින්න ලැබෙන්නේ,

ගෙදරදීත් එහෙම තමයි. කසුන් හරිම නිදහසේ ඒ වගේම පාඩුවේ ඉන්න කැමැති කෙනෙක්.

ලොකු ප්‍රශ්නයක් ආවම කසුන් ඒවට මුහුණ දෙන්නේ කොහොමද?

හැමදෙයක් ගැනම කසුන් මට කියනවා. ලොකු ප්‍රශ්නයක් ආවම ඒක ගැන හොඳට හිතලා බලලා තමයි තීරණයක් ගන්නේ. හැබැයි ඒ ප්‍රශ්නේ කොහොමහරි විසඳගන්නවා.

ගෙදර වැඩ හැමදේම ගැන හොයලා බලනවාද?

ගෙදර වැඩ ගැන හොයලා බලනවා. හැබැයි ඉතින් කම්මැළියි. මොකද කසුන් ගෙදර ඉන්න වෙලාව අඩුයිනේ. ගෙදර ඉන්න වෙලාවට දෙන්නම ගෙදර වැඩ කරනවා. අම්මා තමයි අපිට තාම කෑම උයලා දෙන්නෙත්.

කසුන් වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

ඔව්, අනිවාර්යයෙන්ම වගකීම් දරන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඉතින් අපි තාම පොඩි ළමයි වගේ, යාළුවෝ වගේ ඉන්නේ. ගොඩාක් බරපතළ විදියට දේවල් ගැන හිතන්නේ නෑ.

කසුන්ගේ වෙනත් දක්ෂතා

කසුන්ට හොඳට ගිටාර් ගහන්න පුළුවන්. එයා කරන රැකියාව ඇතුළෙත් ලොකු දක්ෂතා පෙන්නනවා.

තීරණ ගැනීමේදී කසුන්ගේ මූලිකත්වය

කසුන් මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගන්න කලින් හොඳට හිතලා බලනවා. හැබැයි මම ඒකේ අනෙක් පැත්ත. මම ගන්නේ ක්ෂණික තීරණ.

කසුන්ගේ කැමැති ගතිගුණ

කසුන් හරිම අහිංසක ඒ වගේම ආදරණීය චරිතයක්. ඒ ගතිගුණවලට තමයි මම කැමැති.

අකැමැති ගතිගුණ

වැඩිපුර නිදාගන්න එකට තමයි මම කැමැතිම නැත්තේ. කසුන්ව උදේ නැඟිට්ටවලා මම වැඩට යනකොට හැමදාම පරක්කු වෙනවා. එයා දන්නවා මම ඒ පුරුද්දට කැමැති නෑ කියලා.

කසුන්ට කේන්ති ගියාම

අපි දෙන්නටම කේන්ති ගියාම සද්ද නැතිව ඉන්නවා. කෑ ගහන්න යන්නේ නෑ. මොකද කෑ ගැහුවාම ප්‍රශ්න වැඩි වෙනවනේ. ටික වෙලාවක් ගියාම ඒ දේවල් අමතක වෙලා ආයෙත් හොඳට කතා කරන්න ගන්නවා.

කසුන්ට දුකක් හිතුණාම

දුකක් හිතුණොත් ඒ දේවල් ගැන මට කියනවා. හැබැයි ඒ වෙලාවට වැඩි කතාබහක් නෑ. කට වහගෙන ඉන්නවා.

සතුටක් දැනුණාම

සතුටු හිතෙන දේවලුත් මට කියනවා. ඒ වෙලාවට හිනාවෙලා හරිම ජොලියෙන් ඉන්නේ.

කසුන් යන්න කැමැති තැන්

ගෙදර ඉන්න තමයි ගොඩක්ම කැමැති. කොහෙ හරි ඇවිදින්න කැමැතියි. හැබැයි ගෙදර ඉන්න තියෙන වෙලාව අඩු නිසා ගෙදර වැඩිපුර ඉන්න කැමතියි.

කසුන් චේතනාට තහනම් කරලා තියෙන දේවල්

කසුන් එහෙම මට කිසිම දෙයක් කරන්න එපා කියලාත් නෑ. මුකුත් තහනම් කරලාත් නෑ.

අපි නොදන්න කසුන්ගේ රහස්

කසුන් හරිම ආදරණීය චරිතයක්. ගොඩාක් සංවේදීයි. හැබැයි ඒක පෙන්නන්නේ නෑ.

උදාරා ඉන්දීවරි ජිනදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon