සුද්ධෝදන රජ චරිතය මට වෙනස් අත්දැකීමක්

  👤  1550 readers have read this article !
Published by : MB WEB 2018-11-16 08:24:28

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යය ඔබව වෙනස් මුහුණුවරකින් ප්‍රේක්ෂකයන් අතරට ගෙනත්?

මම මීට කලින් රජ කතාවල චරිත කරල තියෙනවා. නමුත් සුද්ධෝදන රජතුමාගේ චරිතය මට වෙනස්ම අත්දැකීමක්. සිද්ධාර්ථ කුමාරයාගේ පියාගේ චරිතය කරන්න ලැබුණු එක මගේ භාග්‍යක්. ඒ ලැබුණු අවස්ථාව මිල කරන්න බැහැ.

චරිතය අභියෝගයක් වුණාද?

ඔව්. මොකද සුද්ධෝදන රජතුමා කියන චරිතය සහ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ කියන චරිත දෙකම එක ප්‍රදේශයකට, එක කලාපයකට, එක මහද්වීපයකට සීමාවුණු දෙයක් නොවෙයි. මුළු මහත් විශ්වයටම පොදු කාරණාවක්. විශ්වයේම අවධානය දිනාගත්ත විශ්ව ධර්මතාවක්. ඉතින් එහෙම චරිතයකට පණ පොවන්න ලැබීම ඇත්තටම ලොකු අභියෝගයක්. සුද්ධෝදන රජු බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා මිසක ඔහු මුලින් බෞද්ධයෙක් නෙවෙයිනේ. නමුත් මම බෞද්ධයෙක්. අන්න එතැනදි ඒක මට ලොකු අභියෝගයක් වුණා.

චරිතය සාර්ථක කරගන්න කොයි තරම් මහන්සි වුණාද?

මුල ඉඳලම චරිතය ගැන ලොකු අවධානයකින් සහ ලොකු කැප කිරීමකින් චරිතයට සූදානම් වුණේ සහ චරිතය කරගෙන යන්නෙ. මේක මට වෙනස්ම අත්දැකීමක්. අපිට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා චිත්ත රූප ඇඳිලා තියෙනවා. නමුත් අපි සුද්ධෝදන රජතුමාගේ පැත්තෙන් හිතලා නැහැ. එතුමා මොනයම් ආකාරයකින් කටයුතු කරන්නැද්ද කියලා මම කවදාකවත් හිතලා නැහැ. නමුත් මේ චරිතය තුළදී එවැනි කරුණු කාරණාවලට යනකොට ඇත්තටම හිතෙනවා සුද්ධෝදන රජු වුණත් පීතෘවරයෙක් නේද කියලා. එතකොට සමහර වෙලාවට සුද්ධෝදන රජුගේ චරිතය ගැන හිතනකොට අනුකම්පාවක් හිතෙන අවස්ථාවකුත් එනවා.

ඔබ චරිතයට සාධාරණය ඉෂ්ට කළා කියලා හිතනවාද?

ඒක සාපේක්ෂයි. මගේ පැත්තෙන් මට ලැබෙන වෙලාව තුළ මට කරන්න පුළුවන් උපරිමය මම කරනවා. මේක දීර්ඝ ටෙලි නාට්‍යයක් විදියට විකාශය වෙන නිසා ගොඩක් වෙලාවට දෛනිකව කිරීමට අවශ්‍ය සීන් ප්‍රමාණයක් තියෙනවා. ඒ සීන් ප්‍රමාණය කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දර්ශනයක් වෙනුවෙන් සූදානම් වෙන්නත් දර්ශනය කරගෙන යන්නත් ලැබෙන වෙලාව අඩුයි. ලැබෙන වෙලාව තුළ මට කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා.

නිර්මාණය වෙනුවෙන් කරන කැප කිරීමට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ඇත්තටම ප්‍රතිචාර ගොඩක් හොඳයි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කියන ටෙලි කතාව මේ වෙනකොට කුඩා දරුවාගේ සිට තරුණ, වැඩිහිටි හැමෝම බලනවා. ඒ නිසා ටෙලි නාට්‍යයට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉදිරියට විකාශය වීමට තිබෙන කොටස් එක්ක තවත් ආකර්ෂණය වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ගයාන් නිර්මාණ තෝරා ගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන දේවල් මොනවද?

නිර්මාණ තෝරාගනිද්දී විශේෂයෙන්ම තිර පිටපත, අධ්‍යක්ෂවරයා සහ කරන නිෂ්පාදනය සම්බන්ධව සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ නිර්මාණයට සම්බන්ධවෙන අනෙකුත් රංගන ශිල්පීන් පිළිබඳවත් බලලා ඔය කාරණා ගළපාගන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම ඒ නිර්මාණයට සම්බන්ධ වෙනවා.

චිත්‍රපටවල වැඩිය දකින්න නැත්තෙ ඇයි?

විශේෂ හේතුවක් නැහැ. චිත්‍රපටවලට ලොකුවට ආරාධනා ලැබුණෙත් නැහැ. ආරාධනා ලැබුණ ඒවායේ යම් යම් ගැටලු මතු වුණා. සමහර ඒවායේ තිර පිටපතත් එක්ක ගැටලු ආවා. සමහර චිත්‍රපටවල මිල ගණන් ප්‍රශ්න ආවා.


අධ්‍යක්ෂණයට ආවට පස්සේ කාලයක් ගයාන්ට වැඩ අඩු වුණා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා වගේ?

ඔව්, මම අධ්‍යක්ෂණය කරන්න ගත්තට පස්සෙ චරිත නිරූපණය කරන්න ලැබුණු ප්‍රමාණය අඩු වුණා. නමුත් දැන්නම් මට වෙනත් අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරන්න ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ අතරින් මම ඉතා හොඳ නිර්මාණ තෝරා බේරා ගනිමින් වැඩ කරමින් ඉන්නවා. මගේ අධ්‍යක්ෂණ කටයුතුත් එක්ක ඒ වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා.

මේ දවස්වල කරන අනෙක් වැඩකටයුතු මොනවද?

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයත්, උරුමයක අරගලය ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. ඒකෙ මම වීර පුරන්අප්පුගේ චරිතය කරනවා. මේ මාසෙ "සක්කාරං" ටෙලි නාට්‍යයේ වැඩකටයුතු අරඹනවා. ඒක අධ්‍යක්ෂණය කරන්නෙ අරුණ ජයවර්ධන.

ඔබේ අධ්‍යක්ෂණයෙන් අලුත් නිර්මාණයක් ප්‍රේක්ෂකයෝ අතරට එන්නේ කවද්ද?

මගේ අධ්‍යක්ෂණයක් වෙන "එකම රෑනෙ කුරුල්ලෝ" ටෙලිනාට්‍යයත් ළඟදී එනවා. එහි සංගීත පටිගත කිරීම් සහ සංස්කරණ කටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඔය අතරේ අලුතින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ හැමදේම සමබරව කරගෙන යනවා.

චතුරිකාත් එක්ක නැවත එකට ටෙලි නාට්‍යයක දකින්න අවස්ථාවක් ලැබෙයිද?

දකින්න පුළුවන්. මම අධ්‍යක්ෂණය කරපු එක රෑනෙ කුරුල්ලෝ ටෙලි නාට්‍යයෙන් නැවත අපිව එකට දකින්න පුළුවන්.

ඉරේෂා කල්හාරි සේනාධීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon