ගිවන්ත විරාජ්ව නළුවෙක් කරලා

  👤  2247 readers have read this article !
Published by : MB WEB 2018-11-19 06:48:01

ගායකයෙක් වෙලා හිටපු විරාජ්ට නළුවෙක් වෙන්න අවස්ථාවක් ලැබිලා. මොකක්ද මේ වෙනස?

ගිවන්ත අර්ථසාත් අධ්‍යක්‍ෂණය කරන 'කාසි' ටෙලි නාට්‍යයට තමයි මම නළුවෙක් විදියට මේ දවස්වල එකතු වෙලා ඉන්නේ. එහි කතා සංකල්පය සහ පිටපත මල්ලිකා ජයතිලකගේ. මෙය නිෂ්පාදනය කරන්නේ චන්දන වල්පොල. ගායකයෙක් විදියට මාව ගොඩක් අය හඳුනාගෙන හිටියා. ඉතින් මට පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා හිතුණා. මම දැන් ගායනයෙන් ටිකක් සාර්ථක නිසා තමයි වෙනස් පැත්තකට යොමු වෙන්න හිතුවේ. රංගනය පැත්ත ටිකක් ඉගෙන ගන්නත් හිතාගෙන තමයි රංගනයට සම්බන්ධ වුණේ.

ඒ කියන්නේ විරාජ් රංගනයට එන්නත් හීන දැකපු කෙනෙක්?

ඇත්තටම මට පොඩි කාලේ ඉඳන්ම ඕනේ වුණේ ගායකයෙක් වෙන්න. රංගනයට එන්න නම් නිකමටවත් හිතිලා තිබුණේ නැහැ. නමුත් සංගීත ලෝකය යන විදිය බැලුවම නර්තනයෙන්, රංගනයෙන් පුළුවන් තව මට සන්නද්ධ වෙන්න. ඒකයි මම රංගනයටත් සම්බන්ධ වෙන්න හිතුවේ.

'කාසි' කියන්නේ විරාජ්ගේ දක්‍ෂතා පෙන්වන්න පුළුවන් තැනක් වෙයිද?

'කාසි' කියන්නේ මගේ ජීවිතයට හොඳ හැරවුම් ලක්‍ෂ්‍යයක්. ගිවන්ත මට මේ නිර්මාණය ගැන කිව්ව ගමන් මම කිසිම දෙයක් හෙව්වේ බැලුවේ නැතිව ඒක භාර ගත්තා. මට මං ගැන විශ්වාසයක් තියෙනවා. දෙවියෝ මට නිකන් දේවල් දීලා නැහැ. මම දෙයක් භාර ගත්තා වගේම මම ඒ දේ උපරිම කරනවා. ඉදිරියේදී මගේ හොඳ වෙනසක් දැකගන්න පුළුවන් වෙයි.

කවදාවත් රඟපාලා නැති විරාජ් මේ අභියෝගය භාර ගන්න දෙපාරක් හිතුවේ නැද්ද?

රූගත කිරීම් පටන් ගත්ත මුල් දවස් දෙක තුන මට ඇත්තටම අභියෝගයක් වුණා. මොකද මම මීට කලින් රඟපාලා නැහැ. ක්ලීටස් මෙන්ඩිස් මහත්තයා, සරත් අයියා, මිහිර අයියා වගේ දැවැන්තයෝ එක්ක රඟපාන්න ලැබීමම මට ලොකු අභියෝගයක්. මම මේ නිර්මාණය වෙනුවෙන් උපරිම කැප වෙනවා. මම සල්ලි හෝ ප්‍රසිද්ධිය බලාගෙන නෙවෙයි රඟපාන්නේ. මගේ අතින් වියදම් කරලා හරි මේ දේ උපරිම කරනවා කියන තැන මම ඉන්නවා.


ඒ කියන්නේ විරාජ් අතින් ගෙවාගෙනද රඟපාන්නේ?

නැහැ, නැහැ. මට නාට්‍යයේදී හොඳට ගෙවනවා. මේ වගේ නිර්මාණයකින් රංගනය ඉගෙන ගත්තා කියන්නේ උපාධියක් කළා වගේ දෙයක්. මම සල්ලි පස්සේ යන්නේ නෑ. ජීවිතයට අත්දැකීම් එකතු කරගන්න තමයි මම රඟපාන්නේ.

රංගනය විරාජ්ට ගැළපෙනවා කියලා හිතනවාද?

මට තේරුණා හැඟීම් ප්‍රකාශනය අතින් මගේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා. කටහ¾ඩින් වැඩක් ගත්ත එකේ මුහුණෙනුත් වැඩක් ගන්න ඕන කියලා හිතුවා.

පළමු රංගනයෙන් සාර්ථක වෙන්න විරාජ්ට පුළුවන් වෙයිද?

මම පොඩි කාලේ ඉඳන් අභියෝග භාර ගන්න කැමැතියි. මම ඉස්සර ගොඩක් ෆේල් වුණු තැන් තිබ්බා.මම වැටිලා ෆේල් වෙලා තැළිලා පොඩිවෙලා මේ තැනට ආවේ. කෙනෙක් හැදෙන්නේ එහෙම. ටෙලි නාට්‍යයේ මුල් ටිකේ නම් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙයි. අනෙක් තැන්වල මගේ අඩුපාඩුකම් තියෙන එකක් නෑ. මේ කතාව ඉවර වෙද්දී මම හොඳ නළුවෙක් කියන දේ හදාගෙන තියෙයි.

රංගනයට ලැබෙන අවස්ථා එක්ක විරාජ් ගායනය අතහැරලා නළුකම තෝරා ගනීද?

මම කවදාවත් ගායනය අතහරින්නේ නැහැ. මම කැමැති ගායකයෙක් විදියට ඉන්න. මම සම්බන්ධ වන කාසි ටෙලි නාට්‍යයේ වුණත් මැද හරියෙදී මම ගායකයෙක් වෙනවා. ඒක මගේ සාමාන්‍ය ජීවිතයට සමානයි. නිර්මාණවලට රංගනයෙන් සම්බන්ධ වෙද්දී සංගීතාත්මක දෙයකුත් තියෙන දේවල්වලට සම්බන්ධ වෙන්න මම කැමැතියි.

නළු භූමිකාවට ආවට පස්සේ රසිකයන්ට විරාජ් කියන ගායකයා අමතක වෙයිද?

මම නළුවෙක් විදියට දකින්න ගත්තාම ප්‍රේක්‍ෂකයන්ට මාව නළුවෙක් කියලා මතක හිටීද දන්නේ නෑ. ඊට පස්සේ මම නළුවෙක් කියලා ගායන කටයුතුවලට කතා නොකර ඉඳීද දන්නෙත් නැහැ.

ටෙලි නාට්‍ය රංගනයට තව ආරාධනා ලැබුණොත්?

'කාසි' තමයි මගේ පළමු සහ අන්තිම ටෙලි නාට්‍යය. ඊට පස්සේ මම සම්බන්ධ වෙන්නේ චිත්‍රපටවලට. ඉදිරියේදී සම්බන්ධ වෙන්න ඉන්න චිත්‍රපටයටත් ටෙලි නාට්‍යයෙන් ඉගෙන ගන්න දේවල් වැදගත් වෙයි.

මීට පස්සේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවන්නේ ඇයි?

දැන් ලංකාවේ චිත්‍රපට වෙනම තත්ත්වයක තියෙනවා. මම කැමැතියි චිත්‍රපටවලින් ප්‍රේක්‍ෂකයන්ට කතා කරන්න. ටෙලි නාට්‍යවලින් යම් අදහසක් දෙන්න ලොකු කාලයක් යනවා. නමුත් සිනමාවෙන් එහෙම නැහැ.

ගායන භූමිකාව ඇතුළෙත් විරාජ් කාර්යබහුලද?

ඔව්, මේ දවස්වල ගොඩක් දෙනෙක් සාරිතා ගීතයට ආදරය කරනවා. ප්‍රසංග වේදිකාවෙත් නිතරම ඒ ගීතය ඉල්ලනවා. කොහොම හරි ප්‍රසංග වේදිකාවේ වැඩවලට සම්බන්ධ වෙනවා.

ගායන කටයුතු එක්ක රංගනයට කාලය කළමනාකරණය කර ගන්න පහසුද?

ඒක හරිම අමාරු වැඩක්. උදේ ඉඳන් රෑ වෙනකල් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට යනවා. ඊට පස්සේ රෑට ෂෝවලට යනවා. පැයක්වත් හරියට නිදා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් කාර්යබහුලයි. මම මේ ටිකේ වැඩි කාලයක් ටෙලි නාට්‍ය වෙනුවෙන් වෙන් කරන්න හිතුවා.

ඔය තරම් කාර්යබහුල වෙද්දී පෞද්ගලික ජීවිතය විරාජ්ට අහිමි වෙනවා නේද?

ඔව්. ඇත්තටම මට පෞද්ගලික ජීවිතය අහිමි වෙලා තියෙන්නේ. ඒ ගැන හිතන්නේ නැහැ. තව අපිට පොඩි කාලයයි මේකේ වැඩ දාන්න පුළුවන්. මට හැම විනාඩියකින්ම වැඩක් ගන්න, දන්න වැඩ කෑලි ටික පෙන්වන්න තියෙන්නේ මේ කාලේ විතරයි.

තවත් අලුත් ගීතයක් ප්‍රේක්‍ෂකයෝ අතරට ගේන්න කල් යයිද?

නැහැ. තව සති දෙකක් වගේ ඇතුළත අලුත් ගීතයක් අහන්න පුළුවන් වෙයි. සාරිතා ගීතයේ හින්දි ගීතය ඉන්දියාවෙන් අප්ඩේට් කරනවා. මට හින්දි ගීතත් කියන්න පුළුවන් නිසා ඉන්දියාවේ රසික පිරිසක් හදාගන්න උත්සාහ කරනවා. ගායනයේදී ඉන්දියාව පැත්තටත් ඔළුව දාන්න තමයි උත්සාහ කරන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon