මහකනදරාව වැව් රක්ෂිතයට මිහින්තලය ප්‍රාදේශීය සභාව කසළ දමනවා

  👤  1986 readers have read this article !
Published by : MB WEB 2018-11-19 07:38:25

මැදවච්චිය - සරත්චන්ද්‍ර වික්‍රමසිංහ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන ජලාශ කිහිපය අතරින් එකක් වන මහකනදරාව ජලාශය ක්‍රි.ව. 276-303 වකවානුවේ රජ පැමිණි මහසෙන් රජුගේ පාලන සමයේදී ඉදිකර ඇත.

මිනිසාට පළමුව වැදගත් වන්නේ ආහාර බව තේරුම් ගත් මහසෙන් රජු ආහාර නිෂ්පාදනයට වැව් බැන්දේය. කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් සපුරාලීමට මහසෙන් රජු දැරූ මහන්සිය අගය කළ වත්මන් ජනයා රජු දේවත්වයෙන් සලකනු ලබයි. හත්රජ්ජුරු බණ්ඩාර දෙවියන්, නැතහොත් මින්නේරි දෙවියන් ලෙස අදටත් රජරට ජනයා වන්දනා මාන කරන්නේ මහසෙන් රජුටය.

අක්කර අඩි 34250ක ජල ධාරිතාවකින් සමන්විත මහකනදරාව වැව යටතේ වගා කරන ඉඩම් ප්‍රමාණය අක්කර 2470කි. වම් ඇළ සහ දකුණු ඇළ ලෙස ගොවි පවුල් 3500කට අධික පිරිසක් ජීවිකාව සරිකර ගන්නේ මහකනදරාව වැවෙනි.

අතීත රජවරුන් රට වැසියාගේ යහපත වෙනුවෙන් ඉදිකරන ලද මහකනදරාව වැව වර්තමානයේ ඇතැම් දේශපාලකයන්ගේ හා ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හමුවේ දිනෙන් දින විනාශය කරා ළඟාවෙමින් පවතින බව මහකනදරාව ගොවියෝ කියති.

මහකනදරාව වැව් රක්ෂිතයට මිහින්තලය ප්‍රාදේශීය සභාව දිනපතා කසළ බැහැර කරන බවත් වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කරන බවත් ගොවියෝ චෝදනා කරති.

අනුරාධපුර - ත්‍රිකුණාමලය මාර්ගයේ මහකනදරාව වැව මැදින් දකුණට ඇති පොතාන මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණ දුර ගියපසු ගල්මඩුව ප්‍රදේශයේ වම් පසින් පිහිටි මහකනදරාව රක්ෂිතයේ කැළිකසළ බැහැර කර තිබෙන අයුරු දක්නට ලැබේ.

මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ උප සභාපති සුභසිංහ රත්නායක මහතා මෙසේ පැවැසීය.

මිහින්තලය ප්‍රාදේශීය සභාව කසළ දැමිල්ල අවුරුදු පහ හයක ඉඳලා කරනවා. අපි වුණත් ඒ කාලේ ඒ තරම් හිතුවේ නෑ. ඒත් දැන් එතන. පුදුම විදිහට ජරාජීර්ණ වෙලා. එන්න එන්නම කසළ ගොඩ වැඩිවෙලා. මිහින්තලය ප්‍රාදේශීය සභාව ඔය ඉඩම ගත්තේ කසළ ප්‍රතිචක්‍රීයකරණය කරන්න කියලා. ඒත් එහෙම දෙයක් වුණේ නෑ. ඒ සඳහා වෙන්වුණු මුදලට මොනවා වුණාද දන්නෑ.

දැන් මේ අයට වෙන තැනකට කුණු දාන්න මුදල් ඉල්ලන්න බෑ. ප්‍රාදේශීය සභාව අක්කර පහක් වෙන් කරගෙන තියෙනවා කසළ දමන්න. ඒ මහකනදරාව වැවේ රක්ෂිතය. රක්ෂිතයට කුණු දමන එක තහනම් කියලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වීම් පුවරු හැම තැනම සවිකරලා තියෙනවා. මීට දවස් ගණනකට කලින් කසළ කාපු අලි පැටියෙක් මැරුණා.

ගල්මඩුව, ඉහළගම, පුදුක්කුලම, සුරුක්කුලම, කසමඩුව, නීටියගම, නෑටියගම, කටුකෑලියාව කියන ගම්මානවල ජනතාව දිවා රෑ දෙකේම මේ පාර් යනවා එනවා. මේ කසළ කන්න ඇබ්බැහි වුණු වල් අලි රෑ දවල් දෙකේම මේ ප්‍රදේශයේ ගැවසෙනවා. කසළ දමන ප්‍රදේශයට යාබදව රජය ගම්මානයක් ඉදිකරනවා.

මේ ගම්මානයේ මිනිස්සු පදිංචි වුණාම රෑ තිස්සේ අලි එළව එළවා තමයි ඉන්න වෙන්නේ.

මේ තැන බලන්න අනුරාධපුර මහ දිසාපති ආවා. එතුමා කසළ දමන එක තහනම් කළා. ඒත් ප්‍රාදේශීය සභාව එතුමාට අවනත වෙලා නෑ. මෙතන ප්ලාස්ටික් බෝතල්, ඉටිකොළ, කිරි හට්ටි, යෝගට් කෝප්ප, මැරුණු සත්තු, මහජන පොලේ ඉවත දමන එළවළු, මාළු කටු වගේ නොයෙකුත් කැළිකසළ ගොඩ ගහලා. රටට බත සපයන මහකනදරාව වැව විනාශ කරන්න එපා කියලා අපි මිහින්තලය ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලනවා.
මහකනදරාව වම් ඉවුර රණමයුර ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික එස්.එම් ඩිගිරි බණ්ඩා උපතින්ම ගොවියෙකි.

"මේ ප්‍රදේශයේ කුඩා වැව් ටික හිඳුණාම කවුරුත් නාන්න යන්නේ මහකනදරාව වැවට. දැන් කොහෙ නාන්නද වැව් ඉස්මත්තේ කසළ ගොඩ ගහනවා. ඒවා සේදිලා වැවට යනවා. දැන් මහකනදරාව වැවෙන් බොන්න වතුර දෙන්න හදනවා. මිනිස්සුන්ට පොවන්න හදන්නෙ කසළ මිශ්‍ර වතුර. පිරිසුදු ජලය අපවිත්‍ර කරලා ආයේ විශාල මුදලක් වැය කරලා පිරිසුදු කරන්න ඕනෑ.

මේ හදන්නේ මහකනදරාව ගොවිජනපදයේ ජනතාව විනාශ කරන්න. ඒ නිසා වැව් ඉස්මත්තේ කසළ දාන එක නතර කරන්න කියලා අපි කියනවා.

මේ දමන කසළ සේදිලා එන්නේ ගල්මඩුව වැවට එතනින් කනදරා ඔයට ඊට පස්සේ මහකනදරාව වැවට. මේවට කවුරුත් කතා කරන්නෑ. දැන් වැසි කාලය. මෙතන මදුරුවෝ, මැස්සෝ බෝවෙනවා. අන්තිමට අවට ජනතාවට ඩෙංගු රෝගයත් හැදෙයි. ප්‍රදේශයේ ජනතාව ආහාරයට ගන්නේ මහකනදරාව වැවේ මාළු. තව ටික දවසක් යද්දී මාළුවෙක් වත් කන්න ලැබෙන එකක් නෑ" යූ.බී. සිරිවර්ධන ගොවි මහතා පැවැසීය.

මහකනදරාව සහකාර වාරිමාර්ග ඉන්ජිනේරු බුද්ධික තරංග මහතාගෙන් විමසීම් කළ විට ඒ මහතා මෙසේ පැවැසීය.

"මහකනදරාව වැවට ජලය එන ජල මූලාශ්‍රවල තමයි කසළ බැහැර කරලා තියෙන්නේ. ඒ කසළ සේදිලා එන්නේ මහකනදරාව වැවට. අපි මුල ඉඳලම විරුද්ධ වුණත්, නමුත් කසළ දමන්න වෙනත් ඉඩමක් වෙන් කරලා තියනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා."

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්ලිව්.පී. විජේසුන්දර මහතාගෙන් වමසීම් කළ විට ඒ මහතා මෙසේ පැවැසීය.

"අපි මෙතෙන කසළ පිලිසරු ව්‍යාපෘතියක් පටන් ගන්න තමයි සැලසුම් කරලා තිබුණේ. නමුත් ඊට ආසන්නයේ නිවාස ව්‍යාපෘතියක් හදන නිසා ඒ වැඩේ කරන්න බැරිව ගියා. මේ නිසා අපිට අශෝකපුර ප්‍රදේශයෙන් ඉඩමක් දෙනවා කීවා. දැනටමත් ඒ ඉඩමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බදු ගෙවන්න අවශ්‍ය රුපියල් 25000ක මුදල ප්‍රාදේශීය සභාව වෙන්කරලා තිබෙනවා.

මේ ස්ථානයේ නිකම්ම කසළ ගොඩගසන්නේ නැතිව පිළිසරු කසළ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න තමයි අපේ සූදානම. අපි පුළුවන් තරම් ඉක්මනට මහකනදරාව වැව් රක්ෂිතයේ කසළ දමන එක නතර කරනවා."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon