හඳගනාව අක්කර සීයේ ගමට යන පාරේ හැටි

  👤  1921 readers have read this article !
Published by : MB WEB 2018-11-19 08:02:33

හසලක-සුනිල් ඉහළගෙදර

මිනිපේ මහ ගොවි ජනපදයේ හඳගනාව අක්කර සියයේ ගම්මානය ඇතුළු ගම්මාන කරා යෑමට ඇති මාර්ග පද්ධතිය දැඩි ලෙස අබලන් වී තිබීම නිසා එම මාර්ගය භාවිත කරනු ලබන ගම්මානවල ජනතාව සහ පාසල් දරුවෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

මිනිපේ මහ ගොවි ජනපදයේ ජනපදලාභීන්ගේ ගොඩ ඉඩම් යෝධ ඇළට ඉහළින් පිහිටා ඇති අතර කුඹුරු ඉඩම් මහ ඇළට පහළින් පිහිටා තිබේ. මීට අමතරව ප්‍රධාන මාර්ගයන් සහ ජනතා අවශ්‍යතා ඉටු කෙරෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ව්‍යාපාරික ආයතන බොහොමයක්ද මහ ඇළට පහළින් ප්‍රදේශයන්හි පිහිටා තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ එම්.එම්. පියසේන මහතා
කුඹුරේ නිෂ්පාදනය කෙරෙන අස්වනු නිවෙස කරා රැගෙන යෑම, කෘෂි නිෂ්පාදන වෙළෙඳපොළට රැගෙන යෑම, විවිධ අවශ්‍යතා සඳහා දරුවන් පාසලට සහ රෝගීන් රෝහල් කරා යෑම වැනි දෛනික අවශ්‍යතා සඳහා ගැමියන් භාවිතයට ගනු ලබන්නේ මෙම ගම්මාන මධ්‍යයේ ඉදිකර ඇති මාර්ග පද්ධතීන් සහ මහ ඇළ හරහා මීට දශක හය හතකට පමණ ඉහතදී ඉදිකර ඇති කුඩා අනාරක්ෂිත පාලමයි.

ගම්මාන මැදින් ඉදිකර ඇති මාර්ගය වගේම පාලම්ද මේ වන විට දැඩි සේ අබලන්ව ඇත්තේ අදාළ අංශවල නිසි අවධානයක් නොමැතිකම නිසායි. අනාරක්ෂිත පාලම් මතින් ගමන් ගන්නා දරුවන් වයෝවෘද්ධයන් සහ රෝගීන් විවිධ අපහසුතාවන්ට නිතරම මුහුණපානවා. මේ අයගේ ජීවිතවල පවා ඇත්තේ අවදානමක්.

ගම මැද මාර්ග පද්ධතීන් සංවර්ධනය නොකිරීම නිසා එම මාර්ග තැන තැන වළවල් හෑරී තිබෙනවා.

වර්ෂා දිනවලට වර්ෂා ජලය පිරීමෙන් එම වළවල් පුංචි ජලාශ බවට පත්වෙන එක වළක්වන්න බැහැ. අනාරක්ෂිත පාලම්වල තත්ත්වයත් එසේම වෙනවා. මෙම පුංචි ජලාශ මතින් පාසල් දරුවන් සහ ගම්වාසීන් ගමන් කරන්නේ පාවහන් ගලවා ඒවා අතින් රැගෙනයි. මෙය ගැමියන් හා පාසල් දරුවන් දැඩි අපහසුතාවකට පත් කරවන්නක්.

මෙම තත්ත්වය විශේෂයෙන් අක්කර සියය ඇතුළු ගම්මානවල ජනතාව නිතරම පීඩාවට පත් කරවන්නක් බව හඳගනාව අක්කර සියය ගමේ පදිංචි ආර්.එම්. සමරනායක මහතා පැවැසීය. ඔහු තවදුරටත් පැවැසුවේ අක්කර සියය ගමට 24 ඇළ ප්‍රදේශයේ පැත්තෙන් වට රවුමේ ගමන් කරනවාට වඩා ඉතා පහසුවෙන් ළඟාවිය හැකි මාර්ගයකුත් තියෙනවා. එය තිබෙන්නේ හඳගනාව නගරයේ සිට මකුළුමුල යාය ගම්මානයට යන මාර්ගය සමඟ සම්බන්ධ කරලායි. මේ පාරෙත් කුඩා පාලම් දෙකක් තිබෙනවා. මේ පාලම් දෙක ඉතා පටුයි. මෙයින් එකක් ආරක්ෂක ඇඳි නැති අනාරක්ෂිත පාලමක්.

මේ පාලම් මතින් ප්‍රදේශයේ දූ දරුවන් පාසලට, පන්සලට, දහම් පාසලට සහ උපකාරක පන්තිවලට උදේ සවස ගමන් කරනවා. අනෙක තමයි පා ගමනින් යන එන ගමේ හැමෝම වාගේ බස් රථයක් හෝ වෙනත් ප්‍රවාහන සේවාවන් ලබාගැනීමට යන්නේත් මේ පාරෙනුයි. පාලම් දෙක වැඩිදියුණු කරලා අඩු තරමේ ත්‍රිරෝද රථයක්වත් යන්න පුළුවන් තත්ත්වයට ඉදිකර දෙන්න කියලා අපි වසර ගණනාවක සිටම ඉල්ලා සිටියා. නමුත් ඒ ඉල්ලීම කෙරෙහි කිසිවකු මෙතෙක් අවධානයක් යොමු කළේ නැහැ.

ගම නැඟුමට, මඟ නැඟුමට, ගම් පෙරළියට ඇස නොගැසුණු මිනිපේ ප්‍රාදේශීය සභාව යටතේ ඇති ගම මැද පාර සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති මහ ඇළ හරහා යොදා ඇති පාලම සහ හඳගනාව නගරයේ සිට ගමට යෑමට ඇති කෙටි දුර මාර්ගයේ ඇති කුඩා පාලම් දෙක කෙරෙහි ප්‍රාදේශීය සභාව දැන්වත් නිසි අවධානය යොමු කරන්නේ නම් වර්තමානයේ ගැමියන් පාසල් දරුවන් පත්ව ඇති අපහසුතාවයෙන් පීඩාවෙන් ඔවුන් මුදා ගැනීමට හැකිවනු ඇති බව අක්කර සියය ගමේ පදිංචි ඩී.එම්. ලොකුබණ්ඩා මහතා සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon