හැලකඳ ජයසුමනාරාමයේ අඩුපාඩු රැසක්

  👤  1951 readers have read this article !
Published by : MB WEB 2018-11-19 07:01:14

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක

රත්නපුර සිට මල්වල දුරෙක්කන්ද, ගලබඩ මාර්ගය හරහා කිලෝමීටර් 27ක් ගමන් කළ පසු හමුවන ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව පිහිටි හැලකඳ නම් සුන්දර එමෙන්ම දුෂ්කර ගම්මානයේ පවුල් 70කට ආසන්න 200ක පමණ ජනතාවක් ජීවත් වෙති.

මෙහි ජනතාව ගෙවන්නේ දුෂ්කර

ජීවිතයකි. මෙහි සියලු දෙනාම පාහේ ජීවත් වන්නේ තම ඉඩමේ වගාකර ඇති තේ අක්කර කාලක භාගයක පමණ වගාවේ තේ දලුවලින් ලැබෙන සුළු ආදායමෙනි. මෙම ගමට ඒමට තිබෙන අවසන් කිලෝමීටර් 12ක පමණ දුර මාර්ගය ඉතා දුෂ්කර එකකි. ඉතා පටු එක් වාහනයකට පමණක් ගමන් කළ හැකි මෙම මාර්ගයේ තැනින් තැන කොන්ක්‍රීට් කර ඇතත් බොහෝ තැන්වල එම කොන්ක්‍රීට් ගැලවී ගොස් වළවල් සෑදී ඇත. එක් පැත්තකින් විශාල කඳුය. අනෙක් පැත්තෙන් බෑවුම් සහිත මාර්ගයකි.

මෙහි සියලු දෙනාම වාගේ මෙන්ම මෙම ගම්මානයේ සිට ආසන්නයේ පිහිටි පාසලට යන ළමයින්ද දෛනිකව ගමන් කරන්නේ පා ගමනින්ය. මෙහි බස් නැත. නිවාස කිහිපයකට පමණක් යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් ඇතත් බොහෝ පවුල්වලට කිසිදු වාහනයක් නොමැත. හදිසියෙ කාට හෝ යම් අසනීපයක් වුවහොත් ඔවුන් ඒ අවස්ථාවේ පත්වන්නේ බරපතළ ප්‍රශ්නවලටය. වෛද්‍යවරයෙක් සොයාගෙන විශාල දුරක් ගමන් කළ යුතුව ඇත්තේ බොහෝ විට ත්‍රිරෝද රථයක හෝ පයින්ය. ත්‍රිරෝද රථයක් කුලී පදනමට ලබා ගත්තත් ඒ සඳහා විශාල මුදලක් වැයවන නිසා එයද ඔවුන්ට ගැටලුවක් වන්නේ පවතින ආර්ථික අපහසුතාවන් නිසාය. මෙම ගමට ඇතුළු වන ස්ථානයෙන් ගලා බසිනා කළුගඟේ අතු ගංගාව වැසි දිනට පිටාර ගලන නිසා ගමට ඇතුළු විය නොහැකි වන්නේ එම ස්ථානය ඇති මාර්ගය යටවන නිසාය.

ෆවුසි ඇමැතිවරයා මහාමාර්ග ඇමැතිවරයා සිටි කාලයේ මෙම ස්ථානයේ පාලමක් සකස් කිරීමට කණු දමා ඇතත් එම කණු පමණක් සාදා වැඩ අතරමඟ දමාගොස් ඇත. ඒ නිසා වර්ෂා දිනවලට ළමයින් පාසල් යෑමටද වෙනත් අවශ්‍යතාවන් සඳහා යන අයට ඒ සඳහා යෑමටද නොහැකි වන්නේ මාර්ගය ජලයෙන් යටවන නිසාය. මෙම තත්ත්වය නිසා අපහසුතාවට පත්වන ජනතාව ගැන සානුකම්පිතව බැලූ මෙම ගම්මානය දියුණු කිරීමට මහත් වෙහෙසක් ගන්නා පූජ්‍ය උඩගම ඥානානන්ද හිමියන් කිහිපදෙනකුගේ සහයෝගද මත එම මාර්ගයට ඉහළින් තාවකාලික පටු පාලමක් ඉදිකර ජනතාවට පිළිසරණක් වී ඇතත් එම පාලමද මේ වනවිට අබලන් තත්ත්වයට පත්වෙමින් තිබේ.

මෙම ගම්මානයටත් ජනතාවටත් මහත් පිළිසරණක් වෙමින් කටයුතු කරන ඥානානන්ද හිමියන් මෙම ගම්මානයට ආසන්න ප්‍රදේශයකවත් හිමිනමක් නොවන අතර එම හිමියන් කොළඹ ප්‍රදේශයේ සිට මෙම ගම්මානයට වැඩම කර ඉතා කුඩා පැල්පතකින් හැලකඳ ජයසුමනාරාමය නමින් නව විහාරස්ථානයක් ආරම්භ කර ඇත. මේ වනවිට එම විහාරස්ථානය යම්තාක් දුරට ගොඩනඟා ගැනීමට හැකිව ඇත්තේ එම ස්වාමීන් වහන්සේගේ මහත් ධෛර්යය නිසාමය. කොළඹ ප්‍රදේශයේ හිතවත් දායක දායිකාවන්ගෙන් ලැබෙන යම් යම් මුදල් පරිත්‍යාගයන් හරහා මේ වනවිට මෙම විහාරස්ථානයේ චෛත්‍යයක්, කුඩා ආවාස ගෙයක් සාදා ඇති අතර දහම් පාසල සඳහා කුඩා ගොඩනැඟිල්ලක් සාදා දහම් පාසලක්ද ආරම්භ කර ඇත. මෙම ස්වාමින් වහන්සේ පවසා සිටියේ මෙම දහම් පාසල මෙම ගම්මානයේත් අසල්වාසී ගම්මානවලත් ආරම්භ කළ පළමු දහම් පාසල බවයි. ආරම්භ කළ දින කිහිපයේ ළමයින් සෑහෙන

ප්‍රමාණයක් දහම් පාසල් පැමිණියද මේ වනවිට එම පිරිස 18ක් පමණ දක්වා අඩු වී ඇත. මෙම දහම් පාසලේ ගුරුවරිය ලෙස ක්‍රියාකරන්නේ එම ගම්මානයේ පදිංචි රමණී දංගල්ල මහත්මියයි. ඇය ඉතා කැපවීමකින් මෙම දරුවන්ට දහම් දැනුම ලබාදීමට කටයුතු කරන ආකාරය ඉතා ප්‍රශංසනීය වේ. ඇය දහම් පාසල් ඒමට ඇඳුමක්වත් නැති ළමයින් දෙදෙනකුට ඒ සඳහා ඇඳුම් ද ලබාදී ඇති බව එම ළමයින්ගේ දැනගන්නට ලැබිණි. මෙම දරුවන්ට පොත්පත්, ඇඳුම් පැලඳුම්, බෑග්, වතුර බෝතල් හා පාවහන්වලද අවශ්‍යතාවක් පවතින අයුරු දැකගන්නට ලැබුණු අතර එම දරුවන්ද පවසා සිටියේ තමන් හට පාසල් යෑමටත් දහම් පාසල් යෑමටත් අඩුපාඩු රැසක් ඇති බවයි. ඒවා ලබාදීමට කවුරුන් හෝ පිහිටවන්නේ නම් එය ඉතා වටිනා පුණ්‍යකර්මයක් බව එම ගුරුමහත්මියද පැවැසුවාය.

මේ වනවිට තරමක දියුණුවක් ලබා ඇති මෙම විහාරස්ථානයේ තව කළ යුතු බොහෝ දේවල් ඇති බව දක්නට ලැබිණි. එම විහාරස්ථානය ආසන්නයේ පිහිටා ඇති පරෙයියන් ඇල්ල ආශි්‍රතව භාවනා කුටි කිහිපයක්ද ඉදිකරමින් ඇති අතර එහිදී තව කළ යුතු බොහෝ වැඩ කටයුතු ඇත. විහාරස්ථානයේ නව බුදු මැඳුරක්ද ඉදිකිරීමට, දාන ශාලාවක් ඉදිකිරීමටද අවශ්‍ය වී ඇති බව විහාරාධිපති හිමි පැවැසූහ. මෙම විහාරස්ථානය අවට එළවළු හා පලතුරු වගාවන් එම හිමිනම ආරම්භ කර ඇති අතර ඒවා විහාරස්ථානයේ අවශ්‍යතාවට මෙන්ම අවශ්‍ය අයට ලබාදීමටද බලාපොරොත්තු වන බවද පැවැසීය.

විහාරාධිපති හිමි මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා ද්‍රවිඩ තරුණයකු පැවිදි කරවාගෙන ඇති අතර එම හිමියන් වන්නේ උඩගම සුමනානන්ද හිමියන්ය. උඩගම සුමනානන්ද හිමියන් මේ වනවිට බදුල්ල ප්‍රදේශයේ පිරිවෙනක ශිෂ්‍යනායක තනතුරද දරමින් අධ්‍යාපනය ලබමින් පසුවන අතර නිවාඩු දිනවලදී විහාරස්ථානයට වැඩම කර ආගමික කටයුතු කරයි. මෙම දුෂ්කර ගම්මානය දියුණු කර එම ගම්වාසී ජනතාව නඟාසිටුවීමට ගන්නා උත්සාහයට එම නායක හිමියන්ට කවුරුන් හෝ උපකාර කිරීමට කටයුතු කරන්නේ නම් එය මහත් පුණ්‍ය කටයුත්තක් වනු ඇත. එම විහාරස්ථානය නැරඹීමට පැමිණීමට යම් අයකුට හෝ පිරිසකට අවශ්‍යතාවක් ඇත්නම් එම හිමියන්ගේ දුරකථන අංකය වන 077 1994658 ට කතාකර ගමන් මාර්ගය හා අනෙකුත් විස්තර දැනගැනීමට හැකිවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon