දුලාන් හෙට්ටිආරච්චි පදනම සමඟ එක්ව හිසට සෙවණක් නැති ඉමදූවේ දරු පවුලකට නිවෙසක් තිළිණ කළ වගයි...

  👤  2142 readers have read this article !
Published by : MB WEB 2018-11-19 06:34:57

ඉමදුව - ටී. විතානවසම්

පත්තර කලාව වෙනස් කළ 'මව්බිම' මේ 7 වැනි උපන් දින සමරන මොහොත වන විටත් ලංකාවේ ඉහළ ජනප්‍රියතාවක් ඇති පුවත්පතක් ලෙස ලොකු, පොඩි, බාල, මහලු තරුණ සෑම අය අතරට ගියේ විදුලි වේගයෙනි.


පත්තර කලාව වෙනස් කර 'මව්බිම' සිය හත්වැනි උපන් දිනය සැමරීමද වෙනස්ම ආකාරයකින් සිදුකිරීමට මීට මාස කිහිපයකට පෙර සිටම සැලැසුම් කර තිබිණි. ඒ ඇති නැති භේදයකින් තොරව 'මව්බිම' පාඨකයන් වූ ලාංකිකයන්ගෙන් හිසට සෙවණක් නොමැති අයකුට සිහින නිවෙසක් තනාදීමටයි.

'මව්බිම' පාඨකයන්ගෙන් ලැබුණු දහ දහස් ගණනක් වූ අයැදුම්පත්‍ර අතරින් ඒ වාසනාව හිමිකර ගත්තේ ගාල්ල ඉමදුව වල්පල ප්‍රදේශයේ නන්දය. නිවෙසක අයිතිය යනු ඕනෑම පුද්ගලයටකුට තම සිහිනයක් සැබෑ වීමකි. එවන් සිහිනයක් සැබෑ වූ ගාල්ල ඉමදුව වල්පල වවුල්කැටකන්ද ප්‍රදේශයේ පදිංචි කේ. ජී. නන්ද මහතාද සැබෑ වාසනාවන්තයෙකි. ඔහුට මේ වාසනාව ලැබුණේ 'මව්බිම' පාඨකයකු වීම නිසාමය.

පත්තර කලාව වෙනස් කර පාඨකයන්ට තවත් ළංවෙමින්, ඉමදුව වල්පල වවුල්කැටකන්ද ප්‍රදේශයේදී වාසනාවන්ත නන්ද මහතාට සාදන ලද නිවෙස පරිත්‍යාග කළේ 'මව්බිම' සිය හත්වැනි උපන්දිනය සැමරූ ඊයේ දිනයේදීය.

වසර ගණනාවක් පුරා තමාගේම නිවෙසක් නොමැතිව සිටි කේ.ජී. නන්ද මහතාගේ පවුලේ දරුවන් 6 දෙනෙකි. ඉන් එක් දරුවකු ආබාධිත දරුවෙකි. තවමත් පාසල් යන වයසේ සිටින දරුවන් හතර දෙනකුගෙන් යුත් මේ පවුල මෙවන් නිවෙසක් ලැබිය යුතු පවුලක් බවට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාද සනාථ කොට තිබේ.

ඉතා කුඩා පැලක ජීවත් වන මේ පවුල සඳහා සිලෝන් නිව්ස් පේපර්ස් (පුද්) සමාගමේ 'මව්බම හා ඛ්ඥරතධද ඊධඤචර' පුවත්පත් හා දුලාන් හෙට්ටිආරච්චි පදනම එක්ව නාවික හමුදාවේ ද ශ්‍රම දායකත්වය යටතේ වෙනත් දානපතියන්ගෙන්ද ලැබුණු උපකාර මඟින් මේ නිවෙස ඉදි කෙරිණි.

මේ වෙනුවෙන් චාම් උත්සව සභාවක් දුලාන් හෙට්ටිආරච්චි පදනම හා ගම්වාසීන් විසින් සංවිධානය කර තිබූ අතර මේ අවස්ථාවට වැඩම කර වදාළ නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සිය අනුශාසනාව පවත්වමින් මෙසේ පැවැසීය.

අපි ඉපදෙන කොට ගෙනාපු පව් පින් කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ අනුව තමයි අද අපි මේ ජීවත් වෙන්නේ. ඒ පවෙන් ගොඩගන්න අපි මේ මොනවා කළත් බෑ. ඒ වගේම වාසනාවත් බලපානවා. මොනවා වුණත් 'මව්බිම' පුවත්පත කියන්නේ රට ජාතිය, ආගම ගැන මතකයේ තබා ගනිමින් මාධ්‍යකරණයේ යෙදෙන පුවත්පතක්. අද සමහර මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යවෙදීන් පවා මුදලට විකිණෙමින් තිබෙන අවස්ථාවක 'මව්බිම' ජනතා වගකීම හරි අපූරුවට කරමින් සිටිනවා. එහි එක් අවස්ථාවක් තමයි අද මේ අවස්ථාව.

තමන්ගේ හත්වැනි උපන් දිනයට හිසට සෙවණක් නැති පිරිසකට මේ වගේ දෙයක් කරලා දෙන්න පුළුවන් වුණා කියන්නේ ඒක ඉතාම වටිනා අවස්ථාවක්. අනෙක් අයට එය හිතන්නවත් බැරි කාලයක 'මව්බිම' තම ජාතික වගකීම ඉටු කරමින් සිටිනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරන්න කැමැතියි ලබන වසරේදී ඒ කියන්නේ 'මව්බිම' 8 වැනි සංවත්සරයේදී ගම් පළාත්වල තියෙන පන්සල්වල ඇති කඨින පින්කම් සඳහා පුවත්පතේ ඉඩක් ලබා දී ඡායාරූප පළ කර ඒ පන්සල් නඟා සිටුවන්න සහයෝගය ලබා දෙන්න කියලා.

අද රටේ තත්ත්වය ගැන කියන්න කනගාටුයි. හැබැයි ඔය 225 දෙනාට බනින්න කලින් හිතන්න ඔබ තමයි ඒ 225 දෙනා එතැනට යැව්වේ කියලා. ඒ නිසා ඉදිරියේදී ඒ තත්ත්වය ගැන සිතා කටයුතු කරන්න. අනෙක් ආගම්වල තියෙන මිනිස්සුන්ට තියෙන ජාතික කැක්කුම අපේ සිංහල ජාතිකයන්ට නෑ. ඒගැන හිතලා කටයුතු කළ යුතු කාලයක් අද ඇවිත් තියෙන්නේ.

මෙහිදී අදහස් දැක්වූ දුලාන් හෙට්ටිආරච්චි මහතා

'මව්බිම' පුවත්පත සිය හත්වැනි සංවත්සරය වෙනුවෙන් තමන්ගේ පාඨකයන් වෙනුවෙන් මේ කරන කටයුත්ත විශේෂයෙන් අගය කළ යුතුයි. ඒ වගේම මෙහිදී නාවික හමුදාව සිදු කළ මෙහෙය ඉතාම අනර්ඝයි. ඔවුන් තමන්ගේම කාර්යයක් වගේම මෙය සිදුකිරීම සම්බන්ධයෙන් ඇත්තටම ස්තුතිවන්ත විය යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ 'මව්බිම' පුවත්පතේ අලෙවි අධ්‍යක්ෂ මානෙල් ධර්මකීර්ති මහතා
නන්දනගේ සිහින නිවෙස අද ඇත්තටම යථාර්ථයක් වෙලා තියෙනවා. එදා මුල්ගල් තියන්න අපි මෙතැනට ආපු දවසේ තිබුණ සිනහවට වඩා සිනහවක් අපි අද දකිනවා. ඇත්තටම මේ සංකල්පය වෙනුවෙන් අපි අපේ පුවත්පතේ දැන්වීමක් දැම්මා. විශාල අයැදුම්පත් ප්‍රමාණයක් ඒ සඳහා ඇවිත් තිබුණා. අපි ඒ සඳහා නිර්ණායකයන් කිහිපයක් ඉදිරිපත් කළා. ඒ අපු අයැදුම්පත් ප්‍රමාණයෙන් අපිට හිතාගන්න පුළුවන් වුණා කොච්චර දරිද්‍රතාවක් තියේද කියලා.

'මව්බිම' පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි මහතා
'මව්බිම' කියන්නේ ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රය වෙනසක් කළ පුවත්පතක්. වෙනස් විදියට වෙනස් ආකාරයකින් ප්‍රවෘත්ති ගෙන එමින් අපි පුවත්පත් කලාව වෙනස් මඟකට නැවුම් මඟකට යොමු කරා. ඒ වගේම සංවත්සරයක්, උපන් දිනයක් සැමරීමත් කොක්ටේල් පාටියකට, වෙනත් දේකට යොමු නොකරමින් වෙනස් ආකාරයේ හොඳ දේවල් සඳහා සමාජය නැඹුරු කරවීමේ අවස්ථාව අපිට ලැබුණා. මාස තුනක් වගේ කාලයකදී මේ නිවෙස සාදා නිම කරන්න අපට අවස්ථාව ලැබුණා. මෙහිදී දුලාන් පදනම්, නාවික හමුදාව මෙන්ම මේ සඳහා කැපවුණ සුදේශි ජයවික්‍රම මහත්මිය ඇතුළු දායකත්වය අපි සිහිපත් කළ යුතු වෙනවා.

ගාල්ල නාවික හමුදා කඳවුරේ ආඥාපති රොෂාන් මුදලිගේ මහතා

'මව්බිම' පුවත්පතේ මේ සද් කටයුතු අපි අගය කරන ගමන් කියන්න ඕන නිවෙසක් නැති පුද්ගලයන් සිතා ගන්න තමන් බොන එක සිගරැට්ටුව ගාණේ නවත්වලා ඒ තමන්ගේ නිවෙසකට අවශ්‍ය කටයුත්ත කර ගන්න. අද බොහෝ මවුපියන් සිටිනවා දරුවා බඩගින්නට ඉල්ලන බනිස් එක අරන් නොදී රුපියල් 1500ක් වියදම් කරලා සිගරැට් පැකට් එක ගන්න. මේ තත්ත්වයෙන් මිදුණේ නැත්නම් ලොකු පරිහානියකට අපේ රට පත්වෙනවා.
පාර්ලිමේන්තුමේන්තු මන්ත්‍රි
රමේෂ් පතිරණ මහතා

මම අද මෙතැනට එන කොටත් කිය කිය ආවේ අදත් මේ කථිකයන්ගෙන් මට හොඳට හම්බවෙනවා කියලා. කිව්වා වගේම දේශපාලනඥයන්ට ලුණු ඇඹුල් ඇතිව මෙතැන හිටපු කථිකයන් කිව්වා. මොනවා වුණත් දුලාන් වගේම 'මව්බිම' පුවත්පතත් මේ කර සද්කටයුත්ත අගය කළ යුතුමයි. මේ සඳහා මෙහෙම වචනයකින් හරි දායකවීමට ලැබීම ගැන ස්තුති වන්ත වෙනවා.

නිවෙසේ හිමිකරු වූ ඉමදුව වල්පල වවුල්කැටකන්ද ප්‍රදේශයේ පදිංචි කේ.ජී. නන්ද මහතා සිය සතුට මෙසේ වචනවල පෙරළුවේ සතුටු කළුඳු වැගිරෙමින් තිබියදීය.

"මම හැමදාම 'මව්බිම' බලන කෙනෙක්. මට සල්ලි නැත්නම් පත්තර ලෑල්ලෙන් හරි බලනවා. එහෙම වෙලාවක මේක දැකලා දුලාන් මහත්තයගේත් උදවු ඇතිව තමයි මේකට ඉල්ලුම් කළේ. මට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. අවුරුදු 6, 9, 11, 18, 22 හා 24 වයස්වල අය. එක්කෙනෙක් නම් බැඳලා අවුරුදු 22 දුව ආබාධිතයි. මම කුලී වැඩ කරලා තමයි මගේ පවුල ජීවත් කෙරෙව්වේ. අපි ඉන්නේ මේ යන්තම් අටව ගත්ත පැලේ. මේ වගේ නිවෙසක් කියන්නේ ඉතින් හීනයක් තමයි. අනේ අපිට අද මේ පාට ගාපු ගෙයක් ලැබුණා. ජනෙල් තියෙන වහින වෙලාවට බේසම් හොයන්න ඕන නැති ගෙයක් අද හම්බ වුණා.

ගොඩක් අය කොළඹ රටෙන් වගේම පිට රටිනුත් ඇවිල්ලා ඉන්නවා. මට තේරෙන්නේ නෑ. කොහොම මේ අය එක්ක කතා කරන්නද කියලා. අපි හිතන් හිටියට වඩා මිනිස්සු ගොඩක් වෙනස් කියලා අද තේරෙනවා. මේ උදවු කළ අයට බුදුබව අත්වෙන්න ඕන." සතුටු කඳුළු වගුරමින් නන්ද කියන විට නන්දගේ පොඩි දුව සහ පොඩි පුතා නව නිවෙසේ විදුලි සීනුව නාද කරන්නේ තරගයට මෙනි. නන්ද ගේ බිරිය ඔවුන් දෙදෙනාට තරවටු කරන්නේ එසේ නොකරන ලෙස වුවද මේ පිරිස මධ්‍යයේම එම දුවත් පුතත් විදුලි සීනුව නැවත නැවත නාද කරයි. " අනේ සර් ඉතින් අපට මෙහෙම බෙල් තියන ගෙදරක් හීනයක් තමයි. ඒකයි ඔය පොඩි වුන් දෙන්නට තියෙන සන්තෝෂය. සැබැවින්ම ඇත්තය. නන්දගේ ඒ කතාවට 'මව්බිම' කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සිසිර පරණතන්ත්‍රි මහතාගේ හා අලෙවි අධ්‍යක්‍ෂ මානෙල් ධර්මකීර්තිගේත් ඇස්වලට කඳුළක් එක් වූයේ නිරායාසයෙනි.

සැබැවින්ම නන්ද මහතාගේ දරුවන්ට අද වෙනදා නැති උදේ‍යාගයකින් උඩ පනින්නේ මේ පැමිණි පිරිස පිළිගැනීමට මෙනි. නන්ද මහතාගේ බිරිය මාලතී මහත්මියටද අද බොහෝ වෙහෙසය. ඒ කාලයකට පසු තමන්ට ලැබුණ නව නිවෙසට ප්‍රදේශයේ ඉහළම රාජ්‍ය නිලධාරීන් මෙන්ම කොළඹ මහත්වරු බොහෝ පිරිසක් පැමිණ සිටි නිසාය.

මේ අවස්ථාව සඳහා 'මව්බිම' පුවත්පතේ ප්‍රධාන කර්තෘ බෙනට් රූපසිංහ, අලෙවි අධ්‍යක්‍ෂ මානෙල් ධර්මකීර්ති, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සිසිර පරණතන්ත්‍රි, දුලාන් හෙට්ටිආරච්චි, නාවික හමුදාව වෙනුවෙන් ගාල්ල නාවික හමුදා කඳවුරේ ආඥාපති රොෂාන් මුදලිගේ, මහා බි්‍රතාන්‍යයේ ගණකාධිකාරිවරියක ලෙස සේවය කරන සුදේශි ජයවික්‍රම, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් චන්දිම මුහන්දරම් යන මහත්වරුන් සඳහා එක්ව සිටියහ.

ඡායාරූප- ඒශාන් දසනායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon