ඓතිහාසික බිසෝවෙල රජමහ ලෙන් විහාරයේ චිත්‍ර විනාශ මුඛයේ

  👤  1410 readers have read this article !
Published by : MB WEB 2018-11-21 06:14:21

දමුණුපොළ-චමින්ද ජයලත්

කෑගල්ල, ගලිගමුව නගර මධ්‍යයේ පිහිටා ඇති ඓතිහාසික බිසෝවෙල රජමහ ලෙන් විහාරයේ ඇතුළත ඇති මහනුවර යුගයට අයත් චිත්‍රවලින් කොටසක් කාලයක සිට විනාශ වෙමින් පවතිනවා යැයි විහාරාධිපති හා ගලිගමුව දඩුවළගනේ ශ්‍රී ඡන්දෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය ලේඩියංගල සෝරත ස්වාමීන්වහන්සේ පැවැසූහ.

ඓතිහාසික ගලිගමුව බිසෝවෙල ලෙන් විහාරය කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් ගන්නා ඕනෑම කෙනකුට ගලිගමුව නගර මධ්‍යයෙහි වම්පසට පිහිටා ඇති අයුරු පෙනෙනු ඇත. නගර මධ්‍යයේ අලංකාර කඳු පෙදෙසක පිහිටා ඇති මෙම ලෙන් විහාරය කෑගල්ල ප්‍රදේශයේ ඇති ලෙන් විහාර අතරින් ඉතාමත් වටිනා හා දැකුම්කලු තවත් සුවිශේෂී ලෙන් විහාරයකි.

ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට මෙම ලෙන් විහාරය අයත් විය හැකි බවත් ගෝඨාභය රජු කල එතුමා විසින් මෙම අපූරු ලෙන් විහාරය ඉදිකරන්නට ඇතැයි පුරාවිද්‍යා උපදේශක, ග්‍රන්ථ කර්තෘ බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරි සහ ශාස්ත්‍ර විශාරද එම්.ඩී.එම්.එස්. යටවර මහතා විසින් රචනා කර ඇති ගලිගමුව බිසෝවෙල රජමහ ලෙන් විහාරය අසිරිය නමැති ග්‍රන්ථයේ සඳහනක් කර ඇත.

තවද මෙම ලෙන් විහාරයේ කටාරම කොටසක්ද ඇත්තේ එම යටතේ විය හැකි බව ග්‍රන්ථයේ සඳහන් කර ඇත. පසුව කලක් මෙම ලෙන් විහාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබූ අතර ලෙනේ කටු කොහොල් අලවා යළි අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා යළි ගොඩනඟා ඇති බවටද සඳහන්ය. ඒ අනුව මෙම ලෙන් විහාරයේ ඇති සියලුම චිත්‍ර මහනුවර යුගයට අයත් විය හැකි බවද යටවර මහතා සඳහන් කර ඇත. ලෙන ඇතුළත ප්‍රධාන බුදු පිළිමයක් හා තවත් පිළිම 2කි. පසු බිත්තියෙහි සැරියුත්, මුගලන් දෙනම බුදුරදුන්ට සෙවණ දුන් මුචලින්ද නාග රාජයාද නිර්මාණය කර ඇත. මෙම ලෙන් විහාරයේ ඇතුළත දිග අඩි 18යි අඟල් 3කි. පළල 15 අඟල් 10කි. උස අඩි 15කි.

ලෙනේ චිත්‍රවල නෙලුම් මල් පිළිබිඹු කරවයි. පටාචාර කතා පුවත ඇතුළු ජාතක කතා රැසක් නිර්මාණය කර ඇති අයුරු දක්නට ලැබෙයි. බොහොමයක් චිත්‍ර විනාශ වෙමින් තිබේ. ඇතැම් චිත්‍ර පසු කලෙක කිසියම් ප්‍රමිතියකට නිර්මාණය කර නැති බවද පෙනී යයි.

වට්ටාරම අරහත්ත මලියදේව රජමහ විහාරයට අයත් භික්ෂු භාවනා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස අතීතයේ පවත්වාගෙන ගොස් තිබිණි. අවසාන මහරහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේ උඩුකඩ විහාරයේ සංඝරක්ඛිත හිමි, තිස්සභූති හිමි, වනගුප්ත මලියදේව මුල් යුගයේ වැඩ වාසය කර ඇත. මෙම භාවනා පුහුණු මධ්‍යස්ථානය පසුකලෙක භික්ෂුන් වහන්සේලා ලෙන්දරමුල්ල, පුහුරිය, මාරුක් චතුරේ, ගෝඨාභය විහාරය හා බිසෝවෙල ලෙන් විහාරවල භාවනා කර ඇත. එතරම් ඓතිහාසික පසුබිමක් ඇති මෙම ලෙන් විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් බවත් වර්තමාන විහාරාධිපති හිමියෝ පැවැසූහ.

එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විහාරයේ අභාවය පිළිබඳ දැනුම් දුන් බවත් ඊට නිසි පිළිතුරක් මෙතෙක් නොලැබුණු බවත් උන්වහන්සේ පැවැසූහ. වසර ගණනාවක් පැරැණි එදා සිට අද දක්වා විහාරය භාරව සිටි ස්වාමින්වහන්සේ මෙම අගනා කලාගාරය රැකගෙන ආ සේම ඉදිරි අනාගත පරම්පරාවට උරුම කරදීම හා ආරක්ෂා කරදීම තම අරමුණ බව පැවැසූ විහාරාධිපති හිමි මැකී ගොස් ඇති ලෙන් චිත්‍ර සාමාන්‍ය පරිදි නෙළා දීමට කටයුතු කරදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් උන්වහන්සේ කරුණාවෙන් ඉල්ලා සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon