බලධාරීන්ට නොපෙනෙන උෟරාපොත්ත කොළමුණුඔය පාලම

  👤  1384 readers have read this article !
Published by : MB WEB 2018-11-21 06:52:11

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උෟරාපොත්ත-කොළමුණුඔය පාලම කැඩීගොස් වසර ගණනක් ගත වුවත් එම පාලම තනා දීමට වගකියුතු කිසිවකු මේ වන තෙක් ඉදිරිපත්ව නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.


පාලමේ ඇන්දක් කැඩීයෑම නිසා එක් පැත්තක් ගම්වාසීන් උණ ලීවලින් ගැටගසා ඇති මෙම පාලම හරහා ගමන් කිරීමට පැමිණෙන බොහෝ වාහන අනතුරුවලටද ලක්වන අතර ප්‍රදේශ ගණනාවකට ගමන් කිරීමට ඇති කෙටිම මාර්ගය මෙය වන බවද ප්‍රදේශවාසීහු පවසති. වීරපොකුණ, බෝවත්ත, තිසෝම, ගඩොල්වක, ගල්වැව, මොළඑළිය වැනි ගම්මානවලට යෑමට ඒමටත් නිකවැරටිය, ආණමඩුව දක්වා ගමන් කළ හැකි කෙටි මාර්ගයක් ලෙසත් මෙම මාර්ගය භාවිත වන බවත් මෙම පාලම තවත් අබලන් වීමට පෙර සාදා දෙන ලෙසත් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

උෟරාපොත්ත-කොළමුණුඔය පාලම ගැන ප්‍රදේශවාසියකු වන ඩබ්ලිව්.ඒ. වින්සන් මහතා මෙසේ කීය.

මේ පාලම කැඩීයෑම අපේ ගම්වලට විශාල පාඩුවක්. දේශපාලකයෝ කිහිපදෙනෙක් දැනුවත් කළා. නමුත් ඒ අය අපි ගැන තැකීමක් කරන්නේ නෑ. ඡන්දෙ කාලේට එනවා බොරු පොරොන්දු දීලා යනවා. අපි ගම්වාසීන් ටික එකතුවෙලා ඇන්ද කැඩිලා තියෙන හින්දා උණ ලී දාලා බැන්දා. තවත් අනතුරු වෙන්න කලින් අපිට මේ පාලම හදලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ.

එස්.ඒ. කාන්චනමාලා රත්නායක මහත්මියද එදිනෙදා කටයුතු උදෙසා එහා මෙහා ගමන් කරන්නේ මේ පාලම මතිනි. මේ ඇය දැක්වූ අදහසයි.

අපි දන්න දා ඉඳලා තියෙන පර පාලමක් මේ. මේ පාලම දැන් හුඟක් අබලන්. ගම්මාන කිහිපයකට යන්න තියෙන පාර මේ. දේශපාලකයෝ කිහිප දෙනකුගෙන්ම පාලම හදලා දෙන්න කියලා ඉල්ලීම් කළා. නමුත් තවම පාලම සම්බන්ධව පියවරක් අරන් නෑ.

අජිත් ලාල් මහතා කොළමුණු ඔය පාලමට අත්ව ඇති ඉරණම පිළිබඳ මෙසේ පැවැසීය.

ගංවතුර කාලෙට මේ පාලමෙන් එහා මෙහා යන්න බෑ. මේ පාලමේ මේ වෙද්දි බර වාහනවලට යන්නත් බෑ. කීප විටක් පාලම හදලා දෙන්න ඉල්ලීම් කළා. ඒක හරියට බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක්. පාසල් ළමයි මේ පාලම හරහා යනවා. අනතුරක් වුණොත් කවුද ඒවාට වගකියන්නේ?

ඩබ්ලිව්.ඒ. සිරිවර්ධන මහතා
ලංගම බස් රථයක් මේ පාරේ ගියා. දැන් ඒක යන්නෙත් නෑ පාලම කැඩිලා හින්දා. හුඟක් අය පයින් ගමන් යන්නේ යන්න එන්න විදියක් නැති හින්දා. අපිට මේ පාලම හදලා දෙන්න කවුරුත් ඉදිරිපත් වෙලා නෑ. අහිංසක අපි තමයි බැට කන්නේ.

වින්සන් කුලතුංග මහතා,

අපිට යන්න එන්න වෙන පාරවල් නෑ. අපිට මොන දේටත් මේ පාර විතරයි තියෙන්නේ. බලධාරියෝ මේ පාර අපිට හදලා දෙන්නෙ නෑ. වැලි ලොරිකාරයෝ ගිහින් පාලම තවත් කඩලා දාලා. පාසල් ළමයි අපි කරේ ගෙනියන්නේ ගංවතුර කාලෙට. පාලමේ ඇන්ද කැඩිලා ගමේ මිනිස්සු උණ ලී බැඳලා හැදුවේ. පාලමත් යටින් කැඩිලා ගිහින් ගමේ මිනිස්සු වැලි කොට්ට දාලා හදාගත්තේ. දේශපාලකයෝ කවුරුත් එන්නේ නෑ මේවා බලන්න.

ඩබ්ලිව්.ජේ.ඒ. සෝමදාස මහතා,
වැලි, මැටි ඇදිල්ල හින්දා තමයි මේ පාලම මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අහිංසක අපි තමයි දැන් මේ පාලම අබලන් නිසා දුක්විඳින්නේ. 1961 වගේ මේ පාලම හදලා තියෙන්නේ. එදා මෙදාතුර මේ පාලමේ කිසිම අලුත්වැඩියාවක් වෙලා නෑ. අපි ජනාධිපතිතුමාටත් කියන්නේ මේ ගැන හොයා බලලා අපිට කරදරයකින් තොරව ගමන් කිරීමට මේ පාලම හදල දෙන්න කියලායි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon