හිතුවක්කාරයන්ට අදාළ ටාගට් එක විතරයි Kangana Ranaut

  👤  1488 readers have read this article !
Published by : MB WEB 2018-11-21 13:30:34

ජීවිතය දිනන්න අනෙක් අයගේ උදවු බලාපොරොත්තු වෙන්නේ ආත්ම විශ්වාසය නැති මිනිස්සු. මවුපියන්ගේ පිහිටෙන් කලාවට එන අයට වඩා Self-made තරුවලට වැඩි අගයක් ලැබෙන්නේ ඒ නිසායි. බොලිවුඩ් පොළොවේ මුල් බැසගත් අයගේ කෙනෙහිලිකම් මැද ස්වෝත්සාහයෙන් දෙපයින් හිටගත් ඇය නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනි කන්ගනා රනෝට්.

1987 වසරේ මාර්තු 23 වැනිදා උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ බම්බ්ලා නම් ගමේදී කන්ගනා රනෝට් උපත ලබනවා. ඇගේ පියා ව්‍යාපාරිකයෙක්. මව ගුරුවරියක්. වැඩිමහල් සහෝදරියකට සහ බාල සහෝදරයකුට මැදිවෙලා වැඩෙන කන්ගනා කුඩා කාලය ගත කරන්නේ ඉගෙනීමට ඉතා දක්‍ෂ දැරියක් විදියට.

ලංකාව සහ ඉන්දියාව කියන්නේ භූමි ප්‍රමාණය, භාෂාව වගේ කරුණු කිහිපයක් ඇරුණම අනෙක් හැම අතින්ම සමාන රටවල් දෙකක් නිසා කන්ගනාගේ මවුපියන්ටත් අවශ්‍ය වුණා තමන්ගේ දියණිය වෛද්‍යවරියක් වෙනවා දකින්න. කන්ගනාත් ඒ වෙනුවෙන් අධ්‍යාපන කටයුතුවල උනන්දුවෙන් නිරත වුණා. නමුත් එක විභාගයකදී රසායන විද්‍යාව විෂය අසමත් වුණු නිසා අෑට තේරෙනවා පොතපතේ වැඩවලින් කන්ගනාට අනාගතයක් නෑ කියලා. මවුපියන්ගේ ඉසිවර සිහිනය වෙනුවට ඇය තනි තීරණයක් ගන්නවා නිරූපණ ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙන්න.

ඉන්දියාව වගේ රටක නිරූපණ ශිල්පිනියක් වෙනවා කියන්නේ වෙනම ගේමක්. දිනපතා දහස් ගණනින් තරුණ තරුණියෝ නවදිල්ලි සහ මුම්බායි නගරවලට ඇදෙනවා. රංගන හීන, නිරූපණ හීන ගොන්නක් ගොඩගහගෙන. නමුත් සාර්ථක වෙන්නේ කිහිපදෙනයි. බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන කෝච්චියෙන් බහින ජීවිත හා සමාන ප්‍රමාණයක් කඳුළු පිරුණු දෑස් එක්ක ආපසු ගම රට බලා යන්න කෝච්චියට ගොඩවෙනවා. කරුණු කාරණා එහෙම වුණත් කන්ගනාට හොඳ ආත්ම විශ්වාසයක් තිබුණා.

මවුපියන්ගේ විරෝධය මැද්දේ ඇය තමන්ගේ බඩු බාහිරාදිය ගමන් මල්ලකට දාගෙන තනිවම දිල්ලිය බලා පිටත් වෙන්නේ කෙසේ හෝ ජීවිතය දිනන අධිෂ්ඨානයෙන්.

කන්ගනා නිරූපණ ක්‍ෂේත්‍රයේ ටික කලක් ගත කරද්දී තේරෙනවා මේ තමන්ගේ වේදිකාව නෙවෙයි කියන කාරණය. ඒ අනුව ඇය රංගනය හදාරන්න මුම්බායි නගරයට සංක්‍රමණය වෙනවා. දිනපතා පානුයි, අච්චාරුයි කාලා දුක සේ දියුණුව සොයන කන්ගනාට වාසනාව උදා වෙන්නේ අනුරාග් බාසු අධ්‍යක්‍ෂණය කරන නවතම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට පණ පොවන්න හිටිය නිළිය එයින් ඉවත්වීමත් සමඟයි. තවමත් පොඩි වයසක ඉන්න කන්ගනාට මේ චරිතය සාර්ථක කරගන්න බැරිවෙයි කියලයි හැම කෙනෙක්ම හිතුවේ. නමුත් ඇය 'සිම්රන්' කියන චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරන්නේ වසරේ හොඳම නවක නිළියට හිමි ෆිල්ම්ෆෙයා සම්මානයත් දිනාගෙනයි. කන්ගනාගේ රංගන දිවියට ජයග්‍රාහී ආරම්භයක් වුණු ඒ චිත්‍රපටය තමයි ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයක් දිනාගත් Gangster චිත්‍රපටය.

බාධක මැදින් ඉදිරියට යන කන්ගනා Life in a ... Metro, Queen, Tanu Weds Manu ~ƒ Tanu Weds Manu Returns වැනි චිත්‍රපට ඔස්සේ තමන්ගේ ශක්‍යතාව හොඳින් පිළිබිඹු කරන්න සමත් වුණේ හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයා සහ ජාතික සිනමා සම්මාන පවා දිනාගෙනයි. නව පරම්පරාවේ නිළි රැජන විදියටත් අෑව වරින් වර හැඳින්වෙන්නේ මහන්සියෙන් තම දක්‍ෂතා ඔපමට්ටම් කරගත් නිසායි.

හැකියාවන් පෙන්නන අයගේ අඩුපාඩු හොයලා ඒවා යොදාගෙන මඩ ගහන එක ලෝකයේ කොහෙත් සිද්ධ වෙනවා. රංගන ක්‍ෂේත්‍රයට අවතීර්ණ වුණු මුල් කාලයේ කන්ගනාට හොඳින් ඉංගී්‍රසි කතා කරන්න පුළුවන් වුණේ නෑ. මේ නිසා බොලිවුඩයේ බොහෝ දෙනෙක් අෑට විහිළු කළා. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර් ඒ අතරින් ප්‍රධානයි. පසුගිය වසරේ විකාශය වුණු Koffee with Karan පස්වැනි Season එකේ ආරාධිත අමුත්තියක් විදියට සහභාගි වුණු කන්ගනා වැඩසටහනේ ඉංගී්‍රසි භාවිත කරන ආකෘතියට සාර්ථකව මුහුණ දුන්නා.

'මතකද කරන් මීට අවුරුදු ගාණකට කලින් මට ඉංගී්‍රසි බෑ කියලා ඔයා හැමෝත් එක්කම හිනාවුණා?' දැන් මම ඔයාගෙ ඉංගී්‍රසි Talk Show එකට ඇවිත් ඉන්නවා. මම පිටස්තරයෙක් විදියට කිසිම නෑදෑකමක් නැතිව ක්‍ෂේත්‍රයට ආපු එක ගැන ඔයා හැමතැනම පහත් කරලායි කතාකළේ. මොකද ඔයා හැමදාම සලකන්නේ බොලිවුඩයේ ලොක්කන්ගේ දරුවන්ට විතරයි. මට බොලිවුඩයේ අනාගතයක් නෑ කියලා ඔයා දිවුරලා කිව්වා. මුල් කාලේ ඔයා මාව පහත් කරලා නිග්‍රහ කරපු නිසා තමයි මගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය පන්නරය ලැබුණේ' කියලා කරන්ගේ මූණටම කන්ගනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. කරන් ජොහාර් එතැනදී දරාගත නොහැකි තරමේ ලැජ්ජාවකටත් අපහසුතාවටත් පත් වුණා. අන්න එහෙමයි තමන්ට හිනාවෙන මිනිස්සුන්ට හැකියාවෙන් පිළිතුරු දෙන්නේ.

තමන්ට තමන් ගැන විශ්වාස නම් කට්ට කන්න ලෑස්ති නම් ඕනෑම අභියෝගයක් දිනන එක හරිම පහසුයි. කන්ගනා රනෝට් කියන්නේ නිර්භීත තීරණයක් අරගෙන සාර්ථක වුණු තනියම ගොඩනැඟුණු තරුවක්.

ෂෙනාල් ගුණසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon