රුවන්ගේ ගැයුම් ෂෙරිල්ගේ නැටුම් මතකද හැන්දෑවේ ප්‍රසංගයෙන්

  👤  1855 readers have read this article !
Published by : MB WEB 2018-12-01 06:54:49

රුවන්, ෂෙරිල් එක්ක එකතුවෙලා මොකක්ද මේ කරන්න සූදානම් වෙන්නේ?

මමයි, ෂෙරිලුයි එකතුවෙලා ප්‍රසංගයක් කරනවා. මේක අපේ පළමු ප්‍රසංගය. රුවන් සහ ෂෙරිල් මතකද හැන්දෑවේ ඹ්ඪමඥ ඪද ජධදජඥපබ නමින් තමයි ප්‍රසංගය නම් කරලා තියෙන්නේ. දෙසැම්බර් 1 වැනිදා ප.ව. 6.30ට මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී තමයි ප්‍රසංගය පවත්වන්න සූදානම් වෙලා ඉන්නේ. ප්‍රසංගයේ යුග ගායනයට එකතු වෙන්නේ රයිනි චාරුකා. නාලක සජිත් ප්‍රමුඛ සංගීත කණ්ඩායම සංගීතය සපයනවා. සංඛ අබේසිංහ තමයි නර්තන නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.

මේක ගායන ප්‍රසංගයක්ම විතරක්ම නෙවෙයි නේද?

නැහැ. සාමාන්‍යයෙන් ප්‍රසංගයක ගීත නම් ගීත විතරයි. නැටුම් නම් නැටුම් විතරයිනේ තියෙන්නේ. නමුත් අපේ ප්‍රසංගයෙදී ගීත අහන්න වගේම නර්තනය රසවිඳින්නත් පුළුවන්. මම ගීත ගායනා කරද්දි ෂෙරිල් නර්තනයෙන් ප්‍රසංගය වර්ණවත් කරනවා.

සැමියයි බිරියයි එකතුවෙලා හැකියාව පෙන්නන්නද මේ ලෑස්ති වෙන්නේ?

මගේ දක්ෂතාව තියෙන්නේ ගායනයට. මට නටන්න බෑ. ෂෙරිල් කියන්නේ නර්තනයට දක්ෂ කෙනෙක්. අපි දෙන්නගෙම දක්ෂතාව, හැකියාව එකම ප්‍රසංගයකට ගේන්නයි අපිට ඕන වුණේ. අපි ඒක මතකද හැන්දෑවේ ප්‍රසංගයෙන් එකම තැනකට ගේනවා. ප්‍රේක්ෂකයන්ට එය හොඳ අත්දැකීමක් වෙයි.

රුවන්ගේ වීඩියෝ වලටත් ෂෙරිල් සම්බන්ධ වෙනවා. බිරිය ෂෙරිල්ව ප්‍රසංගයටත් හවුල් කරගත්තේ රුවන්ට ෂෙරිල් නැතිව වැඩකට අතගහන්න හිතෙන්නේ නැද්ද?

මට තනියම ප්‍රසංගයක් කරන්න බැරිකමක් නෑ. වෙනස්ම දෙයක් කරන්න ඕන නිසා තමයි අපි දෙන්නම එකතුවෙලා ප්‍රසංගයක් කරන්නේ. අපි දෙන්නටම ලොකු ප්‍රේක්ෂක, රසික පිරිසක් ඉන්නවා. ඉදිරියේදී තනියමත් යමක් කරන්න පුළුවන්.

රුවන් දැන් ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් වෙනවනේ. ප්‍රසංගයක් කරන්න මෙච්චර කල් ගත්තේ ඇයි?

මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු අටක් වෙනවා. ප්‍රසංගයක් කරන එක ලොකු කාලයක් තිබ්බ හීනයක්. මේ කාලේ තමයි ඒ ප්‍රසංගය එළියට ගේන්න පුළුවන් වුණේ. පරක්කු වුණත් හොඳම දේ හරි විදියට කරන්නයි මට ඕන වුණේ.

ප්‍රසංග නම් ඕන තරම්. මේ ප්‍රසංගයේ ගීතමය අත්දැකීම රුවන් වෙනස් කරන්න සූදානම් වෙන්නේ කොහොමද?

ප්‍රසංගයක් එකම වගේ කරනවට වඩා වෙනසක් එක්ක කරන එක වැදගත්. මගේ ගීතවලත් වෙනසක් ප්‍රසංගයේදී දැනෙයි. මොකද මගේ ගීතවල මුල් ස්වභාවයට හානියක් නොවන විදියට අලුත් ආකාරයෙන් ඉදිරිපත් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

රුවන්ගේ අලුත් ගීතත් එදාට අහන්න ලැබෙයිද?

ඔව්. මගේ අලුත්ම ගීතයත් එදාට රසිකයන් වෙනුවෙන් ගයනවා. එදාට තමයි ඒ ගීතය රිලීස් කරන්නේ.

දෙන්නටම තියෙන ඉල්ලුම එක්ක මේ ප්‍රසංගයට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

ඔව්. මේක ගායනය, නර්තනය දෙකම එකතු වුණු ප්‍රසංගයක් නිසා විවිධත්වයක් තියෙනවා. අපිට ආදරය කරන අය එදාට එයි. ටිකට් එකක් අරන් ප්‍රසංගය බලන්න එනවා කියන කාරණයටත් වඩා අපිට ආදරය කරන පිරිස බලන්න මම හරි ආසයි. අපිට දැනටමත් මේ වැඩේට කලා ක්ෂේත්‍රයේ බොහෝදෙනෙක් සුබපතනවා. එදාට කලාකරුවන් සියයකට අධික පිරිසක් එන නිසා ප්‍රසංගයට එන අයට ඔවුන් එක්ක කතාබහ කරන්නත් හැකියාව තියෙනවා.

මේ ප්‍රසංගය ඉදිරියටත් කරගෙන යන්නද අදහස?

අපි දැනට ප්‍රසංග පහක් සැලසුම් කරලා තියෙනවා ප්‍රධාන නගරවල. අපේ ප්‍රසංගය කැමැති අයට ඉල්ලන්න පුළුවන්. ඉල්ලුම අනුව ලංකාව වටේ වගේම පිටරටකට වුණත් ප්‍රසංගය ගෙනියන්න අපි සූදානම්.

රුවන් කියන්නේ කට්ට කාලා අමාරුවෙන් තැනක් හදාගත්ත කෙනෙක්නේ. දැන් රුවන්ට ගොඩනැඟිලා තියෙන තැන ගැන මොකද හිතෙන්නේ?

සාමාන්‍යයෙන් තමන්ගෙම ගීත නැතිව අනුන්ගේ ගීත ගායනා කරලා ප්‍රසංගයක් කරන්න බෑ. දැනට මම ටෙලි නාට්‍යවලට, චිත්‍රපටවලට වගේම මියුසික් වීඩියෝවලට ගීත විසිපහක් විතර කරලා තියෙනවා. ඒ ගීත හැමෝම අතරට ගිය ජනප්‍රිය ගීත. මගේ ගීතවලට ආදරය කරන පිරිසක් දැන් හැදිලා තියෙනවා. ඒක සතුටක්. ඒකත් එක්ක මම ප්‍රසංගයක් කරන්නත් පටන් ගත්තා. අපි අනෙක් ප්‍රසංගවල ගීත ගැයුවට අපි ගයන්නේ ගීත තුනක් හතරක්. නමුත් මගේ ප්‍රසංගයෙන් මගේම ගීතවලින් රසිකයන්ව පිනවන්න මට පුළුවන්.

රුවන්ගේ වැඩකටයුතුවලදී ෂෙරිල්ගෙන් ලැබෙන සහාය මතක් නොකළොත් අඩුවක් නේද?

ඇත්තටම ෂෙරිල් මාත් එක්ක ඉන්න එක මට ගොඩක් පහසුයි. කතාවක් තියෙනවනේ තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා. මගේ හැම වැඩකදිම එයා උපරිම සහයෝගය දෙනවා. එයාව මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්නම ඕනේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon