ජාතික දැල්පන්දු ශූරතා තරගාවලිය නව මුහුණුවරකින් අද සිට දින 3ක් ගම්පහදී

  👤  1200 readers have read this article !
Published by : MB WEB 2018-11-28 15:02:40

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියේ පළමු අදියර අද (28දා) සිට දින තුනක් ගම්පහ රත්නාවලී බාලිකා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙයට පෙර පැවැති ජාතික ශූරතා දැල්පන්දු තරගාවලීන්ට වඩා වෙනස්ම ආකාරයට පවත්වනු ලබන මෙම තරගාවලිය අරමුණු 4ක් පෙරදැරිව පවත්වනු ලැබීමට නියමිතව ඇති බව දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය "මව්බිම"ට සඳහන් කළාය.

ඒ අනුව මෙයට පෙර පැවැති තරගාවලිවලදී මූලික වටයේ තරගයක් උපරිමය විනාඩි 20කට සීමා වුවද මෙවර මූලික වටයේ සිටම සෑම තරගයක්ම ක්‍රීඩිකාවන්ට දරාගැනීමේ ශක්තිය දියුණු කිරීමේ අරමුණින් පැයකට සීමා කර ඇති බවත්, මෙවර තරගාවලිය ගෘහස්ථ ක්‍රීඩාගාරවල පමණක් පවත්වනු ලබන බවත් ඇය පැවැසුවාය. "ජාත්‍යන්තරයේ තව තවත් අපි ඉදිරියට යන්න නම් ජාත්‍යන්තරයට අනුව හැඩ ගැසිය යුතුයි.

ජාත්‍යන්තර තරග පවත්වන්නේ ගෘහස්ථ ක්‍රීඩාගාරවල නිසා අපි තීරණය කළා එළැඹෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ඉලක්ක කරගෙන මෙවර තරගාවලිය ගෘහස්ථ ක්‍රීඩාගාරවල පමණක් පවත්වන්න. ඒ වගේම දැල්පන්දු ක්‍රීඩාව තව තවත් ප්‍රචලිත කිරීමේ අරමුණෙන් මෙවර තරගාවලිය අදියර තුනක් යටතේ ප්‍රදේශ තුනකදී පවත්වන්නත් අපි තීරණය කරලා තියෙනවා" යනුවෙන් පැවැසූ නානායක්කාර මහත්මිය මෙවර තරගාවලියේදී දක්‍ෂතා දක්වන ක්‍රීඩිකාවන් සංචිත ගත කිරීමට අදහස් කරගෙන ඇති බවද කීවාය.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ පළමු අදියර අද සිට 30 වැනිදා දක්වා ගම්පහදීත්, දෙවැනි අදියර දෙසැම්බර් 4 සිට 6 දක්වා බණ්ඩාරගමදීත්, තෙවැනි හෙවත් අවසන් අදියර දෙසැම්බර් 8 වැනිදා වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරිස් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතව තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon