විලියම් සහ හැරී කුමරු බිරින්දෑවරු නිසා විරසක වෙලාද?

  👤  1631 readers have read this article !
Published by : MB WEB 2018-12-02 13:18:22

බි්‍රතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් අතර විවාහය සිදු වී මාස හයක් ගත වෙද්දී හැරී සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා වන විලියම් අතර විරසකයක් මතු වී ඇති බව වාර්තා වෙයි. මෙම විරසකයට හේතුව නිශ්චිත වශයෙන් සඳහන්ව නැතත් ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ හැරීගේ බිරිය වන මේගන් සහ විලියම්ගේ බිරිය වන කේට් මිඩ්ල්ටන් අතර ගැටුම් මෙම තත්ත්වයට හේතු වී තිබෙන බව දැනගන්නට ඇති බවයි.

කේට් සහ මේගන් බොහෝ දුරට වෙනස් ගතිගුණ සහිත කාන්තාවන් දෙදෙනකු වීම මෙහිදී බලපාන්නට ඇති බවට ද අදහස් පළවී තිබේ. කේට් බි්‍රතාන්‍යයේ උපන්, එහි සංස්කෘතිය අනුව හැඩගැසුණු කෙනකු වන අතර මේගන් ඇමෙරිකාවේ උපන් කෙනෙකි. එමෙන්ම කලක් නිළියක ලෙසද කටයුතු කළ ඇය වඩාත් විවෘත, නිදහස් ආකල්ප ඇති කෙනකු ලෙස ද සැලකේ. ඔවුන් අතර යම් ගැටලුවක් ඇතිව තිබේ නම් ඔවුන්ගේ මෙම චරිත ස්වභාවයන් අතර ඉහත කී වෙනස්කම් ද එහිදී යම් බලපෑමක් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

කෙසේ හෝ වේවා, දැන් හැරී සහ මේගන් ගෙවල් පවා මාරු කිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වන අතර එයට හේතුව ද ඉහත කී විරසකයන් විය හැකි බවට අදහස් පළ වී තිබේ. පසුගිය කාලය පුරාම ඔවුන් වාසය කළේ රාජකීය පවුල සතු කෙන්සින්ටන් නමැති මාලිගය පිහිටා ඇති ඉඩමේම පිහිටි තරමක් කුඩා නිවෙසකය. එය තිබෙන්නේ ලන්ඩනයේ ය. නිදන කාමර දෙකකින් පමණක් සමන්විත වූ මෙම නිවස හැඳින්වුණේ 'නොටින්හැම් කොටේජ්' යන නමිනි. විලියම් කුමරු ඔහුගේ බිරියත්, දරු තිදෙනාත් සමඟ වාසය කරන්නේ කෙන්සින්ටන් මාලිගයේ කොටසක පිහිටා ඇති කාමර 22 කින් යුතු විශාල නිවෙසකය.

මේ අතර හැරී කුමරු සහ මේගන් මාර්කල් ද තව නොබෝ දිනකින් කෙන්සින්ටන් මාලිගයේම තව කොටසක පිහිටි කාමර 21 කින් සමන්විත නිවෙසක පදිංචියට යෑමට නියමිතව සිටියහ. ඒ වෙනුවෙන් ඉහත කී නිවෙසේ අලුත්වැඩියා කටයුතු සහ අලුත් ඉදිකිරීම් රැසක් පසුගිය දිනවල සිදුවූ අතර ස්ටර්ලින් පවුම් මිලියන 1.4 ක පමණ මුදලක් ඒ සඳහා වැය කර තිබූ බව ද මාධ්‍ය අනාවරණය කර තිබිණි. (එය ලංකා මුදලින් රුපියල් කෝටි 30 කට ආසන්න ය.) මෙම නිවෙස විලියම් කුමරු වාසය කරන නිවෙසට යාබදව ඇති එකක් බව ද, නිවෙස් දෙක වෙන්වන්නේ බිත්තියකින් පමණක් බව ද පැවසිණි. කෙසේ හෝ වේවා, හැරී කුමරු මෙම නිවෙසේ පදිංචියට යෑමේ අදහස දැන් හදිසියේම අත්හැර දමා ඇති බව සඳහන් වෙයි. කෙන්සින්ටන්හි නිවසේ පදිංචියට යෑම වෙනුවට හැරී සහ මේගන් ලන්ඩනයේ සිට සැතපුම් 25 ක් පමණ අෑත පිහිටි වින්ඩ්සර් මාලිගාව ආසන්නයේ ඇති 'ෆ්‍රොග්මෝර් කොටේජ්' (ජ්පධඨථධපඥ ඛ්ධබබචඨඥ) නමැති නිවෙසේ පදිංචියට යෑමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. හැරී සහ මේගන් අතර විවාහය සිදු වූවේ ද වින්ඩ්සර් මාලිග පරිශ්‍රයේ බව රහසක් නොවේ.


කෙසේ නමුත් ඔවුන් දැන් පදිංචියට යෑමට සැරසෙන, කාමර 10කින් සමන්විත 'ෆ්‍රොග්මෝර් කොටේජ්' නිවෙස මේ වනවිට පාවිච්චි වන්නේ වින්ඩ්සර් මාලිගයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ නවාතැන් සඳහා ය. ඒ සඳහා එය කොටස් පහකට බෙදා වෙන්කර තිබෙන බවද සඳහන් වේ. එය රාජකීය යුවළකගේ පදිංචියට සුදුසු තත්ත්වයක නොමැති බව පැවසෙන අතර එය ඔවුන්ට සුදුසු මට්ටමට දියුණු කිරීම සඳහා තවත් විශාල මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවට අදහස් පළ වී ඇත. මෙම වියදම් දැරෙන්නේ බි්‍රතාන්‍ය වැසියන් ගෙවන බදු මුදල්වලින් නිසා මේ සම්බන්ධයෙන් යම් අප්‍රසාදයක් පළ වී ඇති ආකාරයක් ද දක්නට ලැබේ. කලින් ඔවුන් පදිංචි වීමට සිටි කෙන්සින්ටන් නිවෙස සඳහා ස්ටර්ලින් පවුම් මිලියන ගණනක් වැය කර තිබියදී නැවතත් මේ ආකාරයෙන් මුදල් වැය කිරීම නාස්තියක්ය යන අදහස මෙම අප්‍රසාදයට හේතු වී තිබේ.


කෙසේ නමුත් හැරී සහ මේගන් හදිසියේම මෙම නිවෙස තෝරාගෙන ඇත්තේ විලියම්/කේට් සමඟ ඇති ගැටලුවක් නිසා බව නිල වශයෙන් සඳහන් නොවන අතර එය පුදුම විය යුත්තක් නොවේ. මෙම යුවළ 'ෆ්‍රොග්මෝර් කොටේජ්' හි පදිංචි වීමට යන්නේ තව මාස කිහිපයකින් ඔවුන් අතරට ඒමට නියමිතව සිටින ඔවුන්ගේ කුලුඳුල් දරුවා වඩා නිදහසේ හදාවඩා ගැනීමට හැකි පරිසරයක් ඇති කර ගැනීමට බව නිල වශයෙන් පැවසෙන කතාවයි. මේගන් මාර්කල් ගැබ්බරව සිටින බව මෙයට ටික දිනකට පෙර නිවේදනය කෙරුණු අතර දරුවා බිහි වීමට නියමිතව ඇත්තේ ලබන අප්‍රේල් මාසයේය. දරුවා වෙනුවෙන් වෙනම කොටසක්, ශාරීරික ව්‍යායාම සඳහා කොටසක් සහ යෝගා ව්‍යායාම සඳහා තවත් කොටසක් ආදී වශයෙන් නිවෙසේ අලුත් වෙනස්කම් රැසක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon