හොරු බලන්න ඇවිත් ජයසේකර අපෝන්සුගේ ජීවිතයට එකතු වුණු සුජාතා

  👤  2975 readers have read this article !
Published by : MB WEB 2018-12-05 08:33:34

ජයසේකර අපෝන්සු කියන්නේ වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගනයට ආදරය කළ පිරිස බොහොමයි. රංගනයට වගේම ඔහුටත් ආදරය කළ කෙනෙක් නිසා ජයසේකර අපෝන්සුගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වුණා. මේ කියන්න යන්නේ ඒ ගැන.

ජීවිතේ අලුත් වෙනසක් සිද්ධ වුණා නේද? කොහොමද ඒ ජීවිතේ?

මම විවාහ වුණා. මගේ බිරියගේ නම සුජාතා ප්‍රියදර්ශනී. හරිම සුන්දර ජීවිතයක් ගත කරන්නේ අපි දෙන්නා. ගොඩක් ආදරෙන් ජීවත් වෙනවා.

ඔබේ ජීවන සහකාරිය කොහෙන්ද හොයාගත්තේ?

සුජාතා හරි කැමැතියි නාට්‍ය බලන්න. දවසක් 'හොරු' නාට්‍ය වේදිකාගත වෙද්දී එයා තාත්තාත් එක්ක ඇවිත් තිබුණා ඒ නාට්‍ය බලන්න. සුජාතාගේ තාත්තාගේ ප්‍රියතම නළුවා වෙලා හිටියේ මම. එදා හඳුනාගෙන දිගටම අපි දුරකථනයෙන් කතාබහ කළා. දවසක් තාත්තායි දුවයි තෑගි බෝග අරගෙන මාව බලන්න මම නැවතිලා හිටපු බෝඩින් කාමරයට ආවා. එදා ඉඳන් අපි බොහෝ දේවල් කතා බහ කළා. සුජාතා මං ගැන විමසනවා. ඉතිං කාලයත් එක්ක අපි ආදරය කරන්න පටන් ගත්තා.

තෑගි බෝග අරගෙන ජයසේකර අපෝන්සු බලන්න ගිය ගමන මේ තරම් දුරදිග යයි කියලා හිතුවද?

එයා ඉන්නේ කොහෙද කියලා බලලා එන්න තමයි අපි ගියේ. සමහර අය ලියලා තිබ්බා එයා හිටියේ මකුළු දැල් බැඳුණු කාමරයක කියලා. නමුත් එයා එහෙම හිටියේ නැහැ. ඒ/ඛ් කාමරයක හරි පිළිවෙළට හිටියේ. හැබැයි එයා ඒ කාමරයේ තනිවෙලා හිටියේ. එයා මට කතා කරද්දීත් කිව්වේ එයා තනිවෙලා කියලා. 'කඩෙන් කන්නේ' තනිවෙලා ඉන්නේ, ඒ නිසා තනියට කෙනෙක් හිටියොත් හොඳයි කියලා එයා කිව්වා. එයා ආදරය හොයන කෙනෙක්. ඒ නිසා එයාව ආදරෙන් බලාගන්න ඕනේ කියලා මට හිතුණා. ඒකයි මම එයා එක්ක නතර වුණේ. මම එයාව රැකගන්න ඕන.

ඔය දෙපළගේ ආදර කතාවට දැන් ලොකු කාලයක් නේද?

ඔව්. අපේ ආදර කතාවට අවුරුදු පහක් වෙනවා.

සුජාතාව විවාහ කරගන්න හිතන්න මේ තරම් ප්‍රමාද වුණේ ඇයි?

අපිට විවාහ වෙන්න ඕන කියලා හිතුණේ නැහැ. කාලයක් එකට ඉන්නකොට අපිට හිතුණා දැන් නීතියෙන් කසාද බඳින එක හොඳයි කියලා. මොකද මම මැරුණොත් එයා තනිවෙනවනේ.

ජීවිතයේ සහායට කෙනෙක් එකතු වුණු නිසා ඔබේ ජීවිතයේ ගලායෑම වෙනස් වෙලා ඇති?

ඔව්. මම සුජාතාව විවාහ කර ගන්න කලින් රංගන ශිල්පිනියකගේ ගෙදර කාමරයක මම නැවතිලා හිටියේ. ඇත්තටම ඔවුන් මට ඔවුන්ගේ කෙනෙක්ට වගේ සැලකුවා. සුජාතාව ඇසුරු කරන්න ගත්තාට පස්සේ සුජාතා මගේ බෝඩින් කාමරයේ නැවතුණා. හැමෝම කිව්වේ එයා හරි හොඳ කෙනෙක් කියලා. දැන් අපි වෙනම ගෙදරක පදිංචියට ගියා. සුජාතා මට උයලා පිහලා දෙනවා. දර ළිපේ හරි රහට කෑම උයලා දෙනවා. මගේ වැඩවලටත් උදවු කරනවා. දැන් මගේ ජීවිතය පහසුයි.

ඔය දෙන්නා අතරේ ලොකු වයස් පරතරයක් තියෙනවා. ඒ වයස් පරතරය සුජාතාට ප්‍රශ්නයක් නෙවෙයිද?

නැහැ. මට වයස ප්‍රශ්නයක් වුණේ නැහැ. එයා ගොඩක් හොඳ කෙනෙක්. අපේ අදහස් ගැළපුණා. එයා ආදරයට ආදරය කරන කෙනෙක්. එයාගේ නාට්‍යවල ගැහැනු ළමයි ඉන්නවනේ. එයා ඒ ගැහැනු ළමයිව පවා පරිස්සම් කරනවා.

වයස් පරතරය වැඩි ඔබ දෙපළ විවාහ වුණාම බොහෝ අය හරි හරි දේවල් කියන්න ගත්තා. සමහරු විවේචනය කළා. සමහරු හොඳ කිව්වා. ඒ පළකිරීම් ඔබ දකින්න ඇති?

ඔව්, සමහර කොල්ලෝ දාලා තිබ්බා අපිටත් තාම කෙල්ලෙක් නෑ කියලා. සමහරු කියලා තිබ්බා 'නාකි විසේ ගෙටත් උසේ' කියලා. නාකියි කියන්නේ නොහැකියි කියන එක. මට නොහැකියාවක් නෑ. මම ඉපදුණේ 1951. සුජාතා ඉපදුණේ 1993. අපිට වයස් පරතරයක් දැනෙන්නේ නැහැ. මට තාම හොඳට ඉන්න පුළුවන්. බැරි බැරි ගාතේ ඉන්න වෙන දවසක් එයි. ඒත් තාම මම තරුණයෙක් වගේ.

සුජාතා ඒ කතාවට තවත් අදහසක් එකතු කළා.

'කතාවක් තියෙනවානේ රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බෑ කියලා. ඔය අනෙක් අය කියන දේවල් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඔය එක එක අය දේවල් කිව්වට අපිට අපිව එපා වෙන්නේ නෑ.

අවුරුදු පහක් දැන හඳුනාගෙනත් එපා වුණේ නැතිකොට දැන් අපිට එපා වෙයිද?

ගොඩක් අය හිතනවා සුජාතා, ජයසේකර අපෝන්සුට ළං වුණේ සල්ලිවලට කියලා?

නැහැ, කොහෙත්ම නැහැ, සමහරු හිතනවා ඇයි මම එයාට ළං වුණේ කියලා. සල්ලි ගන්න වෙන්න ඇති කියලත් හිතනවා. ඒත් මට එහෙම අදහසක් නෑ. මට ඕන මැරෙනතුරු මහත්තයාව බලාගන්න.
ජයසේකර අපෝන්සුටත් ඒ ගැන කියන්න දෙයක් තිබුණා.

මට වඩා මෙයාට සල්ලි තියෙනවා. මගේ තිබ්බ සල්ලි ඉවර වුණා. සමහරු මගේ ඉඩම් හූරා ගත්තා. මෙයා ඒ අය වගේ වාසියට ආපු කෙනෙක් නෙවෙයි. මෙයා හොඳ වැදගත් රැකියාවක් කළ කෙනෙක්. සුජාතා ඉතිරි කරන්නත් හරි දක්ෂයි. ඒ ඉතිරි කරපු මුදල්වලින් එයා මැදවච්චියේ තට්ටු දෙකේ ගෙයකුත් හදලා තියෙනවා. එයාගේ අම්මාටයි තාත්තාටයි කඩයක් පවා තියෙනවා. එයා මට ළං වුණේ ආදරයට මිසක් වාසියට නෙවෙයි.

ජයසේකර අපෝන්සුගේ අතීතය ගැන සියලු දේ ඔබ දැන සිටියාද?

ඔව්, එයා එක්ක බැඳුණු අය ගොඩක් වෙලාවට ඇවිත් තිබුණේ සල්ලි ගන්න, දේපළ ගන්න හිතාගෙන. ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට වුණාට පස්සේ ඒ අය මහත්තයාව අතහැරලා ගියා. එයාලා මහත්තයාට ආදරය කරලා නැහැ.


මම ඒ හැම දෙයක්ම දැනගෙන මෙයාගේ ජීවිතයට ළං වුණේ. මට වටින්නේ මෙයා විතරයි. ගොඩක් අය හිතනවා මාසයක් දෙකක් ඉඳලා මමත් මෙයාව දාලා යයි කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් ආශ්‍රය කරලා විස්තර දැනගෙන තමයි මම මෙයා ළඟට ආවේ.

ජයසේකර ආපෝන්සුගේ පවුලේ අය ඔබව පිළිගත්තේ කොහොමද?

අවන්ති අක්කා, රට ඉන්න අක්කලා දෙන්නා, ගාමිණී අයියා, එයාගේ බිරිය සුජාතා අක්කා මට හරි ආදරෙයි. මගේම සහෝදරයෝ වගේ එයාලා මට හරි ආදරෙයි.

කරවල වෙළෙ¼දාමට මොකද වුණේ?

කලා කටයුතු එක්ක කරවල බිස්නස් කරන එක ගැළපෙන්නේ නෑ කියලා හිතුවා. මමයි බිරියයි දෙන්නම එකතු වෙලා තමයි කරවල බිස්නස් එක කළේ. පස්සේ අපි දෙන්නාම කතාබහ කරලා ඒ වැඩේ අතහැරලා දැම්මා.


සුජාතාත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණු කෙනෙක් නේ. ඉදිරියටත් රංගන කටයුතුවලට සම්බන්ධ වෙයිද?

මම ටෙලි නාට්‍යවල පුංචි පුංචි කොටස්වල ඉඳලා තියෙනවා. රඟපාන්නත් මට ලොකු කැමැත්තක් නැහැ. ඒ වුණාට මහත්තයාගේ වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වෙයි.

අලුත් ජීවිතෙත් එක්ක පටන් ගත්ත අලුත් වැඩ මොනවාද?

ප්‍රීති රාජ්ගේ 'එදත් එකයි, අදත් එකයි' කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. මගේ අලුත්ම වේදිකා නාට්‍ය මගේ මාමාට ලියන්න භාර දුන්නා. මම මේ දවස්වල ටෙලි නාට්‍යයක තිර රචනය ලියමින් ඉන්නවා. එහි වැඩ කටයුතු ජනවාරි මාසයේ පටන් ගන්න ඉන්නේ.

ඒ ටෙලි නාට්‍යයේ බිරියටත් අවස්ථාවක් ලබා දෙයිද?

එයා එහෙම ලොකුවට රඟපාන්න ආසා නැහැ. නමුත් මම එයාට මගේ ටෙලි නාට්‍යයේ චරිතයක් දෙනවා.

මවක් වෙන බලාපොරොත්තුවත් දැන්ම හැබෑ කරගනියිද?

දැනට මට ඕනේ මහත්තයාගේ කලාකටයුතුවලට උදවු කරන්න. ඊට පස්සේ මවක් වෙන බලාපොරොත්තුව ගැන හිතනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon