ලෝකය වෙනස් වුණත් වෙනස් නොවුණු කුප්පිලාම්පුවෙන් එළිය හොයන ගලමුදුන ගම්මානයේ කතාව

  👤  1817 readers have read this article !
Published by : MB WEB 2018-12-05 09:20:50

මීගහකිවුල - රුවන් කුමාර

එය අපූරු ගම්මානයකි. රට කොතෙක් දියුණු වූවත් මේ ගමේ මිනිසුන් තවමත් එදිනෙදා ජීවිතේ සියලු කටයුතු ඉටුකරගන්නේ සාම්ප්‍රදායික ජීවන රටාවන් ඔස්සේය.

වන අලි ගහන වන මැදින් දිවෙන අනාරක්ෂිත අඩි පාර ඔස්සේ පා ගමනින් සිය ගමන් අවශ්‍යතා සපුරා ගන්නා මෙම ගම්මු තවමත් රාත්‍රි කාලයේදී අඳුර දුරු කර ගන්නේ කුප්පි ලාම්පුවේ පිහිටෙනි.

මීගවයන් ලවා තම ගමේ ඇති කුඹුරු ඉඩම් ටික සී සා ගන්නා ඔවුහු කුඹුරේ සියලු කටයුතු සිදුකරන්නේද ඉපැරණි සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේය.

කුරහන් ගල, වංගෙඩිය, අටුව, දුම්මැස්ස, ඉලපත, පිදුරු හෝ මානා සෙවිලි කළ පැල්පත්, දර ළිප මේ ගමේ සෑම නිවෙසකම දැක ගන්නට ලැබෙන පොදු උපකරණ කීපයකි. වාහනවලින්, යන්ත්‍ර සූත්‍රවලින් මෙන්ම සංගීත උපකරණවලින් අතොරක් නැතිව නැඟෙන කඨෝර නාද රටා වෙනුවට සවස් ජාමයේ ගමේ බොහෝ නිවෙස්වලින් නැඟෙන්නේ ගැමියන්ගේ සීපද හඬය.

තවමත් ඉපැරණි ගැමි සුවඳ රැඳී ඇති පැරණි ගම්බද සිරියාව අදටත් කියාපාන මේ අපූරු හුදකලා ගම් පියස පිහිටා ඇත්තේ නකල්ස් මහ වන මැදට වන්නටය. ඒ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගලමුදුන ගම්මානයයි.

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හුදකලා ගම්මානයක් වන ගලමුදුන ගම්මානයේ මේ වන විට පවුල් 40ක් පමණ පදිංචිව සිටිති.

ප්‍රධාන මාර්ගයේ සිට සැතපුම් හත අටක් මහ වන මැදට වන්නට පිහිටි මෙම ගම්මානයට යෑමට ඇත්තේ රූස්ස කැලෑවක් මැදින් වැටුණු අඩි පාරකි. මේ වන විට ගමට මාර්ගයක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබුණද අදටත් මේ ගමේ බහුතරය සිය ගමන් බිමන් ඉටුකර ගන්නේ වන අලින්, වලසුන් ඇතුළු වන සතුන්ගෙන් ගහන වූ රූස්ස වන පෙත මැදින් වැටුණු අඩි පාර ඔස්සේය.

ගස් - ගල් මැදින් වැටුණු අඩි පාරේ ඇතැම් තැනෙක කුඩා හා විශාල ප්‍රමාණයේ ‍ෙදාළ පාරවල්ය. මහ වැසි සමයේදී බෙහෙවින් සංක්‍රිය වන මෙම ‍ෙදාළ පාරවල් නිසා ඇතැම් අවස්ථාවල මේ ගමේ මිනිසුන්ට තම ගමටම කොටුවී ඉන්නට සිදුවූ අවස්ථාවන් ගැනද අපට අසන්නට ලැබිණි.

නගරයේ සංකර සමාජයෙන් අෑත්ව පිහිටීම නිසාදෝ මේ ගම්මුන් තුළ ඇති අව්‍යාජ සිනාව ගම තවත් සුන්දර කරවන්නකි.

ගමේ බොහෝමයක් නිවෙස් තවමත් කටුමැට්ටෙන් ඉදිකර ඉලුක් මානා හෝ පිදුරු හෙවිල්ලූ නිවාසයන්ය.

මේ එකදු නිවෙසක හෝ ගෑස් හෝ විදුලි උදුන් භාවිත නොවන අතර සියලු ඉවුම් පිහුම් කටයුතු සිදුවන්නේ දර ආධාරයෙනි. බොහෝ දෙනකු කුප්පි ලාම්පු එළියේ තවමත් අඳුරු දුරු කර ගන්නා අතර නිවෙස් කීපයක පමණක් සූර්ය පැනල භාවිත කරන බවට අපට අසන්නට ලැබිණි.

මෙම නිවෙස්වල ඇති මුළුතැන්ගෙයද අපූරු ස්ථානයකි. මෙම මුළුතැන්ගෙයි එක් පසෙක විශාල ප්‍රමාණයේ බඩ ඉරිඟු අටුවකි. ප්‍රධාන ජීවන මාර්ගය වන හේන් ගොවිතැනින් ලබා ගන්නා බඩ ඉරිඟු, කුරහන් ආදිය අපූරු ක්‍රමයකට ඔවුහු මෙම අටුවල අසුරා තබා ඇති අයුරු අපට දැක ගන්නට ලැබිණි. ඊට යටින් පිහිටි දර ළිපෙන් නිකුත්වන දුම්වලින් නිරතුරුව පදම් වීම නිසා මෙම ධාන්‍ය වර්ගවලට ආවේණික රසයක් ලැබෙන බවද ඊළඟ කන්නය උදාවන තෙක් ඒවා කල් තබා ගත හැකි බවද මේ ගම්මු පවසති.

බත් සහ ඉරිඟු තලප මොවුන්ගේ ප්‍රධානතම ආහාරය වන අතර වී මෝල් හෝ ඇඹරුම් යන්ත්‍ර නැති මේ ගමේ ඒ සියල්ල සිදුවන්නේ වංගෙඩිය, මෝල ගස හා මිරිස් ගල් ආධාරයෙනි.

ගොවිතැන් සඳහා මොවුහු බොහෝ විට ස්වාභාවික ක්‍රම භාවිත කරන අතර කෘෂි රසායන, පොහොර ආදිය භාවිත වන්නේ ඉතා සුළු වශයෙන්ය.

ප්ලාස්ටික් ඇතුළු කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතය ඉතා පහළ මට්ටමක පවතින අතර නිවෙස්වල බොහෝ කටයුතු සඳහා යොදා ගන්නේ රූස්ස කැලෑවේ ගහ කොළ ආදියෙන් යොදාගත් කොළ පොතු, වැල් ආදියයි.

නිවෙස් සඳහා සිමෙන්ති භාවිතයක් නොමැති අතර බිත්තිවල මෙන්ම පොළවේ ආලේප කර ඇත්තේද ගවයන්ගේ ගොම සමඟ මිශ්‍ර කළ මැටි වර්ගයන් හෝ මකුල්ල ආදී පස් වර්ගයන්ය.

නිවෙස් හා මිදුල් ඇමැදීම සඳහා කැලෑවේ වැවෙන විවිධ පඳුරු වර්ග කපා එකට බැඳ මිටියක් සේ සාදාගෙන ඇති අතර ජලය රැගෙන ඒම ආදී කටයුතු සඳහා පුවක් කොළවලින් තනා ගත් ගොට්ට නමැති පැසක් උපයෝගී කර ගනිති.

නිවෙස්වල රෙදි වැනීම සඳහා රෙදි වැල් සඳහා යොදාගෙන ඇත්තේද වනයේ පොළව මත පැතිර ගිය විවිධ වැල් වර්ගයන් හා ඒවා එක්කර ගොතා ගත් තේඩාවන්ය. ගවයින් දිගේලි කරනු ලබන්නේද කල වැල් නම් වූ වැල් වර්ගයක් උපයෝගී කර ගනිමිණි.

නිවෙසේ පරිහරණය සඳහා පොල් කොළ හා පන් වර්ග යොදා ගනිමින් සැකැසූ වට්ටි, පෙට්ටි මෙන්ම පැදුරු හා මාගල් බහුලව භාවිත කරති.

මේ ගමේ දරුවන්ට සෙල්ලම් කරන්නට ක්‍රීඩාපිටි හෝ වෙනත් සුදුසුකම් නැති අතර ඔවුන්ගේ ක්‍රීඩාපිටිය බවට පත්ව ඇත්තේ අස්වනු කපා අවසන් කළ ගමේ වෙල්යායන්ය.

ඔරලෝසු, රූපවාහිනි යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර ආදිය මේ ගමට ආගන්තුකය. ඉර නැඟෙන්නට මොහොතකට පෙර දවස ඇරඹෙන බවත් ඉර මුදුන් වන විට දවසේ අඩක් අවසන් බවත් ඉර බැස යද්දී රාත්‍රි උදාවන බවත් හැර මේ මිනිසුන්ට ඉන් එහා දෙයක් සිතා කටයුතු කරන්නට තරම් කාර්යබහුලත්වයක්ද නොමැත.

උදෑසන සිට සවස් වන තුරු මහ පොළවත් සමඟ උරෙන් උර ගැටී වැඩ කරන මේ ගම්මු ගමේ තැන තැන ඇති සිහිල් දිය පිරි වතුර
වළකින් හෝ පිහිල්ලකින් වතුර ටිකක් නාගෙන කුමක් හෝ කාබී වටෙන් ගොඩෙන් අඳුර වැටෙද්දී නින්දට යෑම ඔවුන්ගේ දින චර්යාවේ ප්‍රධාන අංගයකි.

ගමේ කීප දෙනකු නිවෙසකට එක්වී ආගිය තොරතුරු කතා කිරීමට එකට එක්වී බුලත් විටක් කෑම ආදිය හැරුණු විට මේ ගම්මුන්ට පැවරුණු වෙනත් විශේෂ රාජකාරි කිසිවක් නැති අතර ඔවුන්ට ඇත්තේ ඉතා සීමිත වැඩ කොටසකි. ඒ නිසාම එකිනෙකා අතර සණ්ඩු සරුවල් කෝන්තර පිරිමහ ගැනිලි වෙනුවට ඇත්තේ සාමුහිකත්වය, එකිනෙකාට උදවු කර ගැනීම, ගමම එක පවුලක් සේ ජීවත්වීම, අනෙකාගේ දුක සැප සොයා බැලීම ආදී ගුණාංගයන්ය.

රෙදිපිළි දුරකථන, නවීන විලාසිතා, පාවහන්, ප්‍රවාහන සේවා, රැකී රක්ෂා නවීන පහසුකම්, අන්තර්ජාල, මුහුණුපොත ආදී බොහෝ දේ ආගන්තුක වූ මේ ගම්මුන්ගේ අති බහුතරය ඉඳ හිට හෝ ප්‍රධාන මාර්ගයක් වෙත එන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. ඒ බොහෝ විට ගමේ වෙද මහතාට සනීප කළ නොහැකි රෝගයක් සුවපත් කර ගන්නට හෝ ලුණු මිරිස් ටිකක් රැගෙන යන්නටය.

මේ ගමට යන මාර්ගය දුෂ්කරය, බැලූ බැල්මට ඒකාකාරී දුෂ්කර ජන ජීවිතයද නගරයේ අපට නීරසය. එහෙත් ගලමුදුනේ ගම්මු ලෝකයාගෙන් හුදකලා වී අදටත් මේ මහ වන මැද ගෙවන්නේ ඉතා චාම් සරල දිවි පෙවතකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon