මට ඡන්දය නුදුන් හම්බන්තොට තරුණයන්ට රැකියා දෙන්න ගිහින් මම බැනුම් අහනවා

  👤  9808 readers have read this article !
2017-01-10

පාර්ලිමේන්තු වාර්තා
දයා පෙරේරා / ජේ.ටී. ද සිල්වා

කිසි දිනෙක තමාට ඡන්දය නොදුන් හම්බන්තොට තරුණයන්ට රැකියා ලබා දීමට ගොස් තමා බැනුම් අහන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

"මට ඡන්දය දුන්නේ කොළඹ මිනිස්සු. මා ජනාධිපතිවරණයට ආවත් කිසි දවසක හම්බන්තොට ජනතාව ඡන්දය දුන්නේ නැහැ. මට හම්බන්තොට මිනිස්සු ඡන්දෙ දීලා නැහැ. මම මේ බැනුම් අහන්නෙ හම්බන්තොට හා මොනරාගල තරුණයන්ට රැකියා දෙන්න ගිහිල්ලා.

අගමැතිවරයා එසේ පැවැසුවේ හම්බන්තොට කර්මාන්තපුරය ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ ඉකුත් සෙනසුරාදා (07දා) ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එම ගැටුම සම්බන්ධයෙන් පොලිස් වාර්තාව ලද පසු පාර්ලිමේන්තුවේ සම්පූර්ණ විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබා දෙන බවද අගමැතිවරයා අවධාරණය කළේය.

මට ඡන්දෙ දුන්නේ කොළඹ මිනිස්සු. හම්බන්තොට, මොනරාගල තරුණයන්ට රැකියා දෙන්න ඕනෑ. දකුණේ හා උතුරේ තරුණයන්ටත් රැකියා දෙන්න ඕනැ.

පොලිස් වාර්තාව ලද විට සම්පූර්ණ විවාදයක් දෙන්නම්. ඒ වගේම මලික් සමරවික්‍රම ඇමැතිතුමා මේ සම්බන්ධ ගිවිසුම් තුනම ඉදිරිපත් කළ විට ඒ ගැනත් විවාදයක් ලබා දෙන්නම්.

මා තිස්ස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡා කළා. අපට ඕනෑ සාමකාමී සත්‍යක්‍රියාවක් බව සමහර ස්වාමින් වහන්සේ පැවැසුවා. පාරවල් වසා ඇති නිසා කොහාටවත් වඩින්න බැහැ කියලා නායක ස්වාමින් වහන්සේ පැවැසුවා. අප මේ ගැන පොලිස්පතිතුමා සමඟත් සාකච්ඡා කළා. තිස්ස නායක හාමුදුරුවෝ මට කිව්වේ සාමකාමී සත්‍යක්‍රියාවක් කරන්න දෙන්න කියලයි. එදා හරි අවහිර බාධා නොකරනවා නම් යම් කිසි තැනක සාමකාමී සත්‍ය ක්‍රියාවක් කරන්න අපට ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතැන ගැටුමක් වුණා.

අප මේ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡා කළා. අද තිබෙන දියුණුව ගැනත් ඊට පසු ගැනත් කල්පනා කළා. රටට ගෙවා ගන්න බැරි ඩොලර් මිලියන 1300ක ණය වනුවට මිලියන 1100ක් හොයා ගෙන ඩොලර් මිලියන 5000ක ආයෝජන ලබා ගැනීමටත් හැකි වෙනවා.

මෙහි පළමු ආයෝජනය වන සිමෙන්ති සමාගම ඉදිකරන්නේ ශ්‍රී ලාංකේය සමාගමක්. තෙල් පිරිපහදුවක්, විදුලි බලාගාරයක්, නැව් තටාකාංගණයක්, ඊට අමතරව තවත් සිමෙන්ති කම්හල් ඇතිකරනවා. තවත් තෙල් පිරිපහදුවක් සම්බන්ධයෙන් ඇමෙරිකා සහ චීන සමාගම් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ඉඩම් ලබා ගන්නා ආකාරය ගැන තීරණය කිරීමට ආචාර්ය සරත් අමුණුගම ඇමැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර, දක්ෂිණ සංවර්ධන ඇමැතිතුමා, රන්ජිත් මද්දුම බණ්ඩාර, විජිතමුණි සොයිසා ඇමැතිතුමා ද ඒ කමිටුවේ කටයුතු කරනවා.

හම්බන්තොට කර්මාන්ත පුරයට ඉඩම් ලබා ගන්නා විට කිසිම පන්සලකට, පූජා ස්ථානයකට, පුරාවිද්‍යා ස්ථානයකට හානි නොවන ලෙස කටයුතු කරනවා. මේවා සියයට 95ක් රජයේ ඉඩම්.

හොර ගිවිසුම් මෙතැන බැහැ. සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැන් අලුත් තත්ත්වයක් මතුවෙලා. හම්බන්තොටට කර්මාන්ත එපා නම් පොළොන්නරුවට දෙන්න කියා ජනාධිපතිතුමා කියනවා. නුවරට දෙන්න කියලා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා ඉල්ලනවා. එස්.බී. දිසානායක ඇමැතිතුමා නුවරඑළියට දෙන්න කියනවා. ගාල්ලටත් දෙන්න කියනවා.

අප සිදු කරන්නේ චීනය සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුමක් ඉදිරියට ගෙන යෑම පමණයි. නොදියුණු ප්‍රදේශයක් දියුණු කිරීමට ගත් පියවර ගැන මා චීන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ත්‍රිකුණාමලයට උදවු කිරීම ගැන ජපානයටත් ඉන්දියාවටත් ස්තුතිවන්ත වෙනවා.

වරාය ගිවිසුම් තුනම ඉදිරිපත් කළ විට ඒ ගැන විවාද කරන්න පුළුවන්. කොළඹ වරායත් තිබුණෙ පෞද්ගලික වරායක් විදියටයි.

පසුව රජය කළේ එහි දියකඩනයක් හැදීමයි. පස්සේ බණ්ඩාරනායක අගමැතිතුමා වරාය ජනසතු කළා.

(විපක්‍ෂයෙන් ඝෝෂා)

මාසයකට පෙර හිටපු ජනාධිපතිතුමා චීනයට ගියා. ෂෙංසෙංවල තියෙන චයිනා මර්චන්ට් සමාගමට ගියේ ඇයි කියන්න.

මේක හම්බන්තොටට ඕනෑද එපාද කියන්න.

නාමල් රාජපක්ෂ

ඔය අක්කර පහළොස්දාහක අනෙක් පැතිවලට බෙදා දෙන්න අපට ප්‍රශ්නයක් නැහැ.

අගමැති

අනවසර නීති විරෝධී ගිවිසුමක් අස්සන් කළා කියා හිටපු ජනාධිපතිතුමා මට ලියුමක් දෙන්න. මා ඒක සභාවට දාලා ඒක අනුව කටයුතු කරන්නම්. හම්බන්තොටට ඕනෑ නැද්ද

කියා යෝජනාවක් ගේන්න. අප ඊට ඉඩ දෙන්නම්. හිටපු ජනාධිපතිතුමාගේ ලියුමත් එක්ක මේක ප්‍රතික්‍ෂේප කර යෝජනාවක් ගේන්න.

මේක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කරනකොට හොඳයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කරනකොට නරකයි. ඒකනෙ ඊර්ෂ්‍යාව. මා ගිවිසුම අස්සන් කරන විට මේවා දැනගෙන හිටියෙ නැහැ කියලා ලියුමක් දාලා යෝජනාවක් ගේන්න.

නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිතුමා ඇතුළු හැම දෙනාම මේකට සහභාගි වෙයි කියලා අප බලාපොරොත්තු වුණා. සන්ධානෙට සම්බන්ධ ඇමැතිවරු රාශියක් සහභාගි වුණා. ඇයි ආවේ නැත්තෙ?

කොළඹ නගරය වගේ දෙගුණයක් චීනුන්ට දෙන්න හදනවා- මන්ත්‍රි විමල් වීරවංශ

"කොළඹ නගරය වගේ දෙගුණයක් චීනුන්ට දෙන්න යනවා. චීනා එන්නේ චීන්නුත් එක්ක. මේක මේ රටේ නැති අර්බුදයක් මවන තත්ත්වයක් වෙනවා" යැයි එක්සත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි විමල් වීරවංශ පැවසීය.

"හම්බන්තොට වරාය ලෝකයේ ඉතා වැදගත් වරායක්. හම්බන්තොට චීන කොලනියක් කරන්න රාජපක්ෂලා යනවා කියලා කියපු අය දැන් කරන්න යන්නේ මොකක්ද..?

ජනවාරි 8දාට කලින් කිව්වේ මේක චීන කොලනියක් කරන්න යනවා කියලා. හම්බන්තොට වරාය නාන තොටක්, ස්විමිං පූල් එකක් කරන්න රාජපක්ෂලා කටයුතු කරනවා කියලත් කිව්වා. අද අක්කර 15,000ක් ඒ කියන්නෙ කොළඹ නගරය වගේ දෙගුණයක් දෙන්න යනවා."

"කොළඹ වරාය නගරය ඉදිකිරීම නවත්තන්න කියලා කියපු අය අද අක්කර 80කට වැඩි ප්‍රමාණයක් දීලා ඒක කරන්න යනවා. මේවයින් මේ රටේ දරුවන්ට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ."

 අගමැති - ඇමැතිවරුන්ගේ පරස්පර විරෝධී කතා නිසා මෙවැනි තත්ත්වයක් ඇති වුණා- මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම

"අගමැති හා ඇමැතිවරු එකිනෙකට පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරපු නිසා හම්බන්තොට මෙවැනි තත්ත්වයක් ඇති වුණා." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම (එ.ජ.නි.ස) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ සිද්ධිය පිළිබඳව වැරදි අර්ථ නිරූපණයන් සමාජගත කිරීමට හදනවා. හම්බන්තොට ඉඩම් අක්කර පන්දහසක් දැනට අත්පත් කරගෙන තියෙනවා. එසේ තිබියදීත් ඉඩම් අක්කර 15,000ක් දෙන්න යනවා."

"රාජ්‍ය නායකයන්ට තර්ජනය කරන්න ගියා කියලා සාගල රත්නායක ඇමැතිවරයා කියන කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ ස්ථානයේ මහා නායක හිමි කෙනකු වන ඕමාරේ කස්සප නායක හාමුදුරුවොත් හිටියා. ඒ අවස්ථාවෙ පොලිස්පතිවරයා කියන කතාව පටිගත කරලා තියෙනවා. සිවුරු ගලවල ගහපිය කියලා කිව්වා. මේ වනවිට ස්වාමීන් වහන්සේ හයදෙනකු රෝහල් ගත කර සිටිනවා. මේක අශීලාචාර පහරදීමක්."

"වරාය සතුව අක්කර 5000ක් තිබෙනවා. 2014 අස්සන් කරපු ගිවිසුම ප්‍රකාර රාජ්‍යයේ අයිතිය තබාගෙන කටයුතු කරන්න. රජයේ අයිතිය විකුණන්න එපා."

සභා නායක

අක්කර 5000ක් ගන්නව කැමතිද..? කියන්න. කියන්න අක්කර පන්දාහක් ගන්නවට කැමැතියි කියලා.

'හූ' හ‍ෙ¾ඩ් දැඩි ඝෝෂාව මැදින් සභාව කල් තබයි

අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තුවේ මුල්ම රැස්වීම ඊයේ (09දා) පැයක පමණ කෙටි කාලයක් පැවති සභාවේ කටයුතු අවසන් කරමින් කතානායකවරයා පාර්ලිමේන්තුව ලබන 24 වැනිදා තෙක් කල්දැමුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ දැඩි ඝෝෂාව අතරේ පැවති "හූ" හඬ මධ්‍යයේය.

ඉකුත් සෙනසුරාදා හම්බන්තොටදී සිදුවූ ගැටුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 23(2) යටතේ කළ ප්‍රකාශයත් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ ලබාදුන් පිළිතුරෙන් පසු සභාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

පාර්ලිමේන්තුව 24 වැනිදා තෙක් කල් දමන බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කරනවාත් සමඟ දිනේෂ් ගුණවර්ධන ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු සමඟ අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාද නැඟී සිට ඊට විරෝධය පළ කළහ.

යෝජනාව ඉදිරිපත් කරනවාත් සමඟම ඒ සඳහා සභාවේ අනුමැතිය ලැබිණි.

විපක්ෂයේ මන්ත්‍රිවරු, පාර්ලිමේන්තුව 10 සහ 11 දා යන දවස් දෙකෙහි රැස්කර හම්බන්තොට සිද්ධිය පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඝෝෂා කළහ.
සභාව කල් තබා අවසන් බැවින් එම ඉල්ලීම ඉටුකළ නොහැකි බව කතානායක කරු ජයසූරිය කියා සිටියේය.

පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව තීරණයක් ගත හැකි බවද කතානායකවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු සමඟ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක යළිත් කතානායකවරයා හමුවෙහි සිය විරෝධය පළකරන්නට විය.

"දැන් සභාව කල් තියල ඉවරයි. මට ආපස්සට එන්න බැහැ."

කතානායකවරයා පැවසීය.

"සභාව කල්තබා අවසානයි. දැන් කරන්න දෙයක් නැහැ" යැයි අගමැති පැවසීය.

කතානායකවරයා එසේ පවසමින් කතානායක අසුනෙන් නික්ම යෑමට සූදානම් වෙද්දී විපක්ෂයේ මන්ත්‍රිවරු "හූ" කියන්නට වූහ.

"සභාව කල් තබන්නට බැහැ. අපි විරුද්ධයි." දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා කියද්දී අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාද "අපි කල් තබනවාට විරුද්ධයි" කියමින් හඬනඟා කීවේය.

"සභාව කල් තබන ලෙසට මම යෝජනා කළා. දැන් කල් තියලා ඉවරයි." සභානායකවරයා කියද්දී "එහෙම බැහැ. අපි විරුද්ධයි. එහෙනම් ජන්දයක් ගන්න" අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා කීවේය.

"වෝට් එකක්ද..?" කියා කතානායකවරයා විමසද්දී "දැන් කල් තියලා ඉවරයි. කල් තියලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ." සභා නායකවරයා පැවසීය.

"හොඳයි, පාර්ලිමේන්තුව මෙම මස 24 වැනිදා පෙරවරු 9.30 තෙක් කල් තබනවා." යැයි පැවසූ කතානායක කරු ජයසූරිය සිය අසුනෙන් නැඟී සිටිනවාත් සමඟම විපක්ෂයේ

මන්ත්‍රිවරු යළිත් "හූ" කියමින් ඝෝෂා කළහ. කතානායකවරයා සිය අසුන පිටුපස ඇතිඇති ‍ෙදාරටුවෙන් පිටව ගියේය.

මේ අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා තම මේසය මත තිබුණු න්‍යාය පත්‍රය සභාවේ මැදට විසිකරමින් විරෝධය පළ කළේය.

"චික්... ලැජ්ජයි... ලැජ්ජයි.." කියමින් විපක්ෂයේ මන්ත්‍රිවරු විරෝධය පළකරද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුද විපක්ෂයට විරෝධය පළ කළහ.

සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරු ඝෝෂා කරද්දී අගමැති රනිල් වික්‍රමසිංහ තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුව ඊයේ උදේ 9.30 ට රැස්වී එහි කටයුතු පැය භාගයකට සීමා කර අනතුරුව සභාව කල්තබා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ලෙස රැස්වී සාකච්ඡා කිරීමට කලින් තීරණය කර තිබුණද එම තීරණය ඊයේ වෙනස් විය.

සාමකාමී උද්ඝෝෂණයට පිට අය ගෙනත් ගැස්සුවා- චමල් රාජපක්ෂ

"හම්බන්තොට වරාය පිළිබ¼ද තත්ත්වය ගැන අගමැතිවරයා පැහැදිලි කළත්, උද්ගත වීමට තිබුණු භයානක තත්ත්වය නිසා ජනතාව තුළ පැවතුණු සැකය දුරු වුණේ නැතැයි" හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු කතානායක චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 15,000ක් චයිනා මර්චන්ට් සමාගමට අවුරුදු 99 කට ලබාදීමට යෑම නිසා ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය පළ වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින මහා සංඝරත්නය හා ජනතාව කලබල වුණේ මේ තත්ත්වය යටතේ. මෙම අක්කර පහළොස් දහස තුළ ජනාවාස, කෘෂිකර්මාන්ත බිම්, වනසංරක්ෂණයට, වනජීවී දෙපාර්තමේන්තුවට අයත් භූමි තිබෙනවා.

"සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒ ප්‍රදේශයේ ඉඩම් ප්‍රමාණයක් දැනටමත් අත්පත් කරගෙන තියෙනවා. අවශ්‍ය නම් හම්බන්තොට ප්‍රදේශයෙන් තවත් සුදුසු ස්ථාන පවරාගන්න පුළුවන්. මොනරාගලින්, මාතරින් වුවත් ඉඩම් ගත හැකියි."

"චයිනා හාබර් සමාගම සමඟ 2014 සැප්තැම්බර් මාසයේ ගිවිසුම් අස්සන් කර තිබෙනවා. ඒ සමාගමට දීලා තියෙන්නේ ඒකෙ මෙහෙයුම් කටයුතු. සාකච්ඡා මඟින් ප්‍රශ්නයක් ඇති නොවන විදියට තමයි මේ කර්මාන්ත පටන්ගන්න ඕනෑ."

"සාමකාමීව පැවති උද්ඝෝෂණයට ආපු අයට පහර දුන්නා, ගල් ගැහුවා. ගල් ගැහුවෙ කවුද..? මේ පිරිස් කතරගම යෑමට කියා ගෙන්වා, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවෙ රාත්‍රි නවත්තල බොන්න දීලා තමයි මේ පහරදීම් සිදුකළේ"

"මේ ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න. පාරේ හිටපු ළමයි අත්අඩංගුවට ගත් අය ගැන සොයන්න" චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ _

"ඔබතුමා කිවූ හැටියට තමයි ඉඩම් බලලා, ඉදිරියට යන්න හදන්නේ. එදා හැන්දෑ වරුවේ ඔබතුමා මුණගැහුණට පස්සේ මන්ත්‍රිවරු එක් එක්කෙනා හමුවුණා. ඒ අය මත්පැන් බීලා හිටියා කියලා මම හිතන්නෙ නැහැ."

"දැන් පොලිසිය මේ ගැන පරීක්ෂණ කරනවා. වාර්තාව ලැබුණට පස්සෙ ඒ ගැන විවාදයක් පවත්වන්න අවස්ථාව දෙන්නම්."

 

 කොළඹින් ආපු පළාත් සභා මන්ත්‍රිගෙ හැඳුනුම්පත බිම වැටිලා තිබුණා මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

"කොළඹින් මැරවරයන් ගෙනාවෙ නැතැයි රවි කරුණානායක ඇමැතිතුමා කිව්වත් කොළඹ සිට පැමිණි පළාත් සභා මන්ත්‍රිවරයකුගේ හැඳුනුම්පතක් එම ස්ථානයේ තිබී මම අහුලා ගත්තා. මෙන්න ඒ හැඳුනුම්පත. මම සභාගත කරනවා" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන (එ.ජ.නි.ස) පැවසීය.

"ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට එම උත්සවයට පැමිණෙන ලෙස වී.අයි.පී. ආරාධනා පත්‍ර එවා තිබුණා. ඒ අනුව අප එහි යනකොට කොළඹින් පොලු අරගෙන ආපු මිනිස්සු පහරදුන්නා. ඒ අතර සිටි පළාත් සභා මන්ත්‍රිවරයකුගෙ හැඳුනුම්පතක් මට හමුවුණා. ඒක මම සභාගත කරනවා."

කතානායක

"ඔව් සභාගත කරන්න. සභාගත කරන්න. රවි කරුණානායක ඇමැතිතුමා කතාකරන්න."

රවි කරුණානායක

"මම 1994 ඡන්දෙ වෙලාවෙ හම්බන්තොට ආවා. ඒ වෙලාවේ මගේ වාහනයට පහර දුන්නෙ, පහරදීලා අලාභහානි කළේ, හම්බන්තොට මැර පිරිස්. ඒක මම කියන්න ඕන."

"නාමල් කිව්වා කොළඹින් මැරයො ගෙනාවා කියලා. කොළඹ මැරයො නැහැ."

සභා නායක

"මේ සේරම උසාවි නියෝගය කඩකළ නිසයි සියලු සිද්ධීන් ඇති වුණේ. මේ නිසා මන්ත්‍රිතුමත් පාරෙ හිටියා."

බන්දුල ගුණවර්ධන

"ඒක හරි කතාවක්නේ. පාරේ ඉන්නෙ නැතුව..?"

 

පදිංචි ඉඩම්වලින් ජනතාව ඉවත් කර කර්මාන්තපුරය ඉදිකරන්නේ නෑ- ඇමැති මහින්ද අමරවීර

හම්බන්තොට කර්මාන්තපුරය හදමු. හම්බන්තොට තරුණයන්ට රැකියා දීම නතර කිරීම නොව ඔවුනට රැකියා දෙන පරිසර හිතකාමී කර්මාන්ත ගේන්න කටයුතු කරමු.
ඔහු මේ හම්බන්තොට කර්මාන්තපුරය හරහා රැකියා නිර්මාණය වන බවයි අපට කීවේ. හිටපු කතානායකතුමා අද ඉතා අවබෝධයෙන් කරුණු ඉදිරිපත් කළා.
හම්බන්තොට වරාය හා කර්මාන්තපුරය සම්බන්ධයෙන් විවිධ අය විවිධ ප්‍රකාශ නිකුත් කිරීමෙන් රජය පැත්තෙන් අඩුපාඩුවක් සිදුවුණා. ඉඩම් ප්‍රමාණය ගැන විවිධ අදහස් ප්‍රකාශ කෙරුණා.

මිනින්දෝරු කණ්ඩායමක් ගිහින් බැරගම ප්‍රදේශයේ ඇවිදින්න ගියා. වරින් වර අය - වැය ලේඛන හා විවිධ අවස්ථාවලදී කර්මාන්තපුරය හා හම්බන්තොට දියුණුව ගැන අපේ මැති ඇමැතිවරු කියූ කතා මා සතුව තිබෙනවා. ඒවා විවාදයකදී ඉදිරිපත් කරන්නම්.

ගම්මානවලින් ජනතාව ඉවත් කරන බවට ප්‍රකාශ ගෙනගිය ගෙවල් 15,000ක්, ජනතාව තිස්පන් දහසක් අයින් කරනවා කියා ප්‍රචාර ඇති වුණා. චීන්නු ලක්‍ෂ දහයකට හම්බන්තොට රැකියා දෙන බවට සමහරු කීවා.

විපක්‍ෂයෙන්,

(බාධා)

අපි කුහක දේශපාලනයේ යෙදෙන්න හොඳ නැහැ. මා එදා කියූ දේ තමයි අදත් කියන්නෙ.

මා ජනාධිපති හා අගමැති හමුවී ඊට පසු ස්වාමීන්වහන්සේ හමුවුණා. පදිංචි ඉඩම්වල නොව හිස් ඉඩම්වල පමණක් කර්මාන්තපුරය ඉදිකරන බව කීවා. ඒ වෙලාවේ උන්වහන්සේ එය පිළිගත්තා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්