දේශපාලන ප්‍රචණ්ඩත්වය හා අධිකරණ තීන්දුව

  👤  5768 readers have read this article !
2017-03-19

දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අධිකරණය හොඳ තීන්දුවක් ලබාදී තිබේ. ඒ රුසියාවේ හිටපු තානාපතිවරයකු උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු හා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු ලෙස කටයුතු කළ වෛද්‍ය රාජා ප්‍රනාන්දුපුල්ලේට පහරදී තුවාල සිදුකර ඔහුගේ නිවෙසට හා වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා රුපියල් ලක්ෂ 500කට වැඩි අනර්ථයක් කිරීමේ සිද්ධියට අදාළවය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් පස්දෙනකු අතරින් දෙදෙනකුට වසර 19 1/2 බැගින් බරපතළ වැඩ සහිතව සිර දඬුවමක් නියම කෙරුණේ උතුරුමැද පළාත් බද මහාධිකරණයෙනි. සෙසු තිදෙනා නි‍ෙදාස් කොට නිදහස් කෙරිණි. නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර තිබූ උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රිවරයකු නඩුව විභාග වන අතරතුර මරණයට පත් වී ඇත. දඬුවම් හිමිවූ නඩුවේ පළමුවැනි විත්තිකරුද මිහින්තලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රිවරයෙකි.

2008 වසරේ උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී අනුරාධපුර කඩ පනහේ පැවැති එක්සත් ජනතා නිදහස් ප්‍රචාරක රැලිය අවසාන වීමෙන් පසු ගිනි තැබීම් හා පහරදීම් සිදුකර තිබිණි. මේ සිද්ධිය සාධාරණ මැතිවරණයක් පිළිබඳ බරපතළ සැකයක් සබුද්ධික ජනතාව තුළ ජනිත කළ අතර ජාත්‍යන්තරයේ පවා අවධානය ඊට යොමු විය.
අදාළ නඩු විභාගයේදී අවධාරණයට ලක්වූ කාරණා දෙකක් තිබිණි. පළමුවැන්න වන්නේ නීතිය රකින ආයතනය වූ පොලිසිය මේ සිද්ධියේදී දැක්වූ නිද්‍රාශීලී පිළිවෙතය. එහෙත් උප පොලිස් පරීක්ෂකවරයකු වූ හියුබට් විදානගමගේ සිය රාජකාරිය මැනවින් ඉටුකළ බව අධිකරණයේදී ප්‍රකාශ වී තිබිණි. දඬුවම් හිමිවූ පළමුවැනි විත්තිකරු හා නඩු විභාගය අතරතුර මියගිය දෙවැනි විත්තිකරු මහජන නියෝජිතයන් වීම දෙවැන්නය. අධිකරණයේදී ප්‍රකාශ වී තිබුණේ නඩු විභාගයේදීවත් විත්තිකරුවන් මේ සිද්ධිය පිළිබඳ කනගාටු වන බවක් පෙනෙන්නට නොතිබූ බවය.

මන්ත්‍රිවරුන් හෙවත් ඊනියා මහජන නියෝජිතයන්ගේ නම් දේශපාලන හා දේශපාලන නොවන ප්‍රචණ්ඩ ක්‍රියාවලට අෑඳුණු ප්‍රථම අවස්ථාව මෙය නොවේ. දේශපාලනඥයන් සම්බන්ධ වූ මෙවැනි සිද්ධි ඕනෑ තරම්ය. දේශපාලන ඝාතන දෙකකට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටි දේශපාලනඥයකුට දිස්ත්‍රික්කයේ ඉහළම මනාප ලබාදෙන ඊනියා ඡන්දදායකයන්ට නම් මහජන නියෝජිතයන් අපරාධවලට පැටලීම ගැන ප්‍රශ්නයක් මතුවිය නොහැකිය. එහෙත් සබුද්ධිකව කටයුතු කරන සැලකිය යුතු ඡන්දදායකයන් පිරිසක් සිටින බව අපි දනිමු. මේ ලියවිල්ල ඔවුන් වෙනුවෙන් මිස "උෟත් වලා මූත් වලා අපේ වලා අපිට හො¼දා" යැයි කියා මනාප ලබාදෙන්නන්ට නොවේ.

කරුණු කියාදිය හැකිය. එහෙත් ඇත්ත යුත්ත අවබෝධ කර ගැනීමට මොළේ කළඳක්වත් තිබිය යුතුය. කාටවත් "මොළ" දීමට පුළුවන්කමක් නැත.
1977 මහ මැතිවරණයෙන් පසු පොලිසියට නිවාඩු දී විරුද්ධ පාක්ෂිකයන්ගෙන් රිසිසේ පළිගන්නා ආණ්ඩුව සිය පාක්ෂිකයන්ට "නිදහස" දුන් බව පැවැසේ. එහෙත් මේ වන විට පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නේ ඉතාමත් අඩුවෙනි. වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ දේපළ විනාශ කිරීමේ සිද්ධිය මෑතකාලීනව සිදුවූ දරුණු පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස ඉතිහාසයට එක්වී ඇත.
වඩා වැදගත් කාරණය වන්නේ එකල ආණ්ඩු පක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු දෙදෙනකුගේ මෙහෙයවීමෙන් මේ විනාශය සිදුකිරීමය.

මන්ත්‍රිවරු දෙදෙනා පිටුපස ඉහළ දේශපාලනඥයකු හෝ දේශපාලනඥයන් කිහිපදෙනකු නොසිටිනවා විය නොහැකිය. නොඑසේ නම් අනුරාධපුරේ උසස් පොලිස් නිලධාරීන් මේ පිරිසට රිස්සක් කරගැනීමට ඉඩදී බකංනිලාගෙන ඉන්නේ නැත.
දේශපාලනයේ බොහෝවිට සිදුවන්නේ බළලුන් ලවා කොස්ඇට බෑවීමය. හදිසියේ පිච්චුණොත් ඒ බළලාගේ අතය. බාවන්නාගේ අත සුරක්ෂිත වේ. අවසානයේ විපාක විඳීමට සිදුවන්නේ බළලුන්ටය.

දරුවන් සිටින පියකු නිසා දඬුවම් ලැබූ විත්තිකරුවන් දෙදෙනා දඬුවම් ලිහිල් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එහෙත් දරුවන් ගැන සිතිය යුතුව තිබුණේ තමන්ට පෞද්ගලිකව කිසිදු වරදක් කර නැති මනුස්සයකුගේ ගේ ‍ෙදාර, ධනෝපායන ස්ථානය විනාශ කිරීමට යෑමට පෙරය. දේශපාලන උණ වැලඳුණු විට බොහෝ දෙනකුට අඹු-දරුවන් ගැන මතක් වන්නේ නැත. සිහිය සැපත් වන්නේ තමන්ට වැරැදුණු දාටය. "කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" යැයි ලෝවැඩ සඟරා කතුවරයා ලියා ඇත්තේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon