එජාපයෙන් කතානායකට සංඥාවක්

  👤  4319 readers have read this article !
2017-03-19

කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. මෙවර කැබිනට් මණ්ඩලය රැස් වුණේ සති දෙකකට පසුවයි. රක්නා ආරක්ෂක ලංකා සමාගම අෑවර කිරීම, 2021 ජන හා නිවාස සංගණනයේ මූලික සැලසුම් සකස් කිරීම, මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් 5.5%ක් හෙවත් මෙටි්‍රක් ටොන් 73,500ක් සම්බා වී කිලෝවක් රුපියල් 41කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 38කට ගැනීමටත් ආදී ලෙස කැබිනට් පත්‍රිකා 30කට පමණ එහිදී අනුමැතිය පළ කෙරිණි.

මෙහිදී ඉදිරිපත් කෙරුණු ඇතැම් යෝජනා ගැන ඇමැතිවරු අතර උණුසුම් වාද විවාද ඇති වූහ. "පළාත් පාලන ආයතන මඟින් සකස් කොට තිබෙන වීදි ලාම්පුවලට එල්. ඊ. ඩී. බල්බ සවි කරන්න ඕන. එතකොට වියදම් අඩු වෙනවා. මේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කළත් අනුමැතියක් තව නැහැ." ෆයිසර් මුස්තාපා චෝදනා කළේය. "මේක හොඳ අදහසක්" ජනාධිපතිවරයාද එය අගය කළේය.

එවිට මුදල් ඇමැතිවරයා "මම දන්නවා. ඒත් මට පුළුවන් විදියට තමයි වැඩ කරන්නේ" යැයි තරමක් ආවේගයෙන් කීවේය. මේ වාදයට මැදිහත් වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සති දෙකක් තුළ ඊට විසඳුමක් දෙන බව දැන්වූහ.

ගුවන් තොටුපොළවල බදු නිදහස් වෙළෙඳසල් කාලයක් තිස්සේ දේශපාලනඥයන්, ඔවුන්ගේ හිතවතුන් බෙදා ගෙන ඇති බව ප්‍රවාහන විෂය භාර ඇමැති නිමල් සිරිපාල සඳහන් කළේය. "මේක විවෘත ටෙන්ඩෙරයකින් දෙන්න ඕන. ඒකෙන් ආණ්ඩුවට වාසියක් සැලසෙනවා" ඔහු වැඩිදුරටත් කීය. "මේක ස්විස් සමාගමක් යටතේ තමයි කරන්නේ. ඒ ගැනත් අවධානය යොමු කරන්න. මම මේ ගැන තානාපතිතුමත් එක්කත් කතා කළා" මංගල කීවේ එවැනි කතාවකි. ඊට නිමල් සිරිපාලට කේන්ති ගියේය. "මට ඔය තානාපතිලා කියන ඒවා වැදගත් නැහැ. ටෙන්ඩර් ආපුවම තමයි දෙන්න ඕන" ඔහු කීවේය. එම යෝජනාවට කැබිනට් අනුමැතිය පළ කෙරිණි.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් සඳහා දීමනා ගෙවන ආකාරය පිළිබඳ අගමැතිවරයා මීට සති කිහිපයකට පෙර යෝජනාවක් ඉදිරිපත් කොට තිබිණි. එය වැඩිදුර අධ්‍යයනය කොට අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය වෙත යොමු කොට තිබිණි. එය මෙවර කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍යාංශය විසින් යොමු කොට තිබිණි. ස්වාධීන සාමාජිකයන්ට එක රැස්වීම් වාරයක් සඳහා රුපියල් දස දහසක් ගෙවීමට අගමැතිවරයා කළ යෝජනාව වෙනස් කොට මාසිකව රුපියල් පනස් දහසක දීමනාවක් ගෙවීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කොට තිබිණි. කෙසේ වෙතත් මේ කැබිනට් පත්‍රිකාවට ඇමැතිවරු විරුද්ධ වීම නිසා එය පසුව සලකා බැලීමට තීරණය විය.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සිරිමෙවන්් පොඩි නිලමේ පත් කිරීමට විරෝධය පළ කරමින් දයාසිරි ජයසේකර මෙහිදී කතා කළේය. ඒ අනුව වහාම මැදිහත් වූ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එම පත් කිරීම අවලංගු කරන ලෙස වහාම පියවර ගත්හ. අඟහරුවාදා 9.45ට පමණ වැඩ භාර ගත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ තනතුර වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි විසින් පැය දෙකක් යන්නටත් මත්තෙන් තහනම් කළාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රහස්පතින්දා අම්බලන්තොට ප්‍රදේශයේ උත්සව කිහිපයකට සහභාගි විය. මධ්‍යම රජයේ ධීවර ඇමැති ධුරයත් නියෝජ්‍ය ඇමැති ධුරයත් පළාත් සභාවේ ධීවර ඇමැති ධුරයත් තංගල්ලට ලැබීම ගැන එම උත්සවයේදී කියැවිණි. ඒ පිළිබඳ ජනාධිපතිවරයා අදහස් දක්වමින් මහින්ද අමරවීරට මීට වඩා වැඩ කරන්න පුළුවන් ඇමැතිකමක් දෙන්නම් යැයි කීවේ සභාවේ අත්පොළසන් හඬ මධ්‍යයේය. උත්සව සභාවෙන් පසුව පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර ඇමැති ධුර පිළිබඳ කතාබහක් ඇති විය. දකුණේ මහ ඇමැති ෂාන් ඒ සඳහා මුලපුරමින් "සර්, මොකද අපේ මහින්ද අමරවීර ඇමැතිතුමාගේ ධීවර ඇමැතිකම වෙන කෙනකුට දෙන්නද හදන්නේ යැයි විමසත්ම "කවුද එහෙම කිව්වෙ, මම කිව්වෙ වග කියන ඇමැති කමකුත් දෙන්න පුළුවන් කියලා" යැයි ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය. "සර් ඒක නෙවෙයි දැක්ක නේද සර් ගාවට ඇවිත් අපේ නායක හාමුදුරුවෝ කරපු ඉල්ලීම, හාමුදුරුවෝ කිව්වේ මට බුද්ධ ශාසන ඇමැතිකම දෙන්න කියලයි....අමරවීර කියද්දී "ඔයා ඒ වෙලාවෙම කීවේ ඊට හොඳයි මම මහණ කරන්න කියලා නේද?"
යැයි ජනාධිපතිවරයා පවසත්ම සියලු දෙනා සිනාසෙන්නට වූහ.

අගමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා උදයේම වලපනේ ගියේ රේණුකා හේරත්ට අවසන් ගෞරව දැක්වීමටය. අනතුරුව කොළඹ පැමිණි ඔහු කෙළින්ම ආවේ අරලියගහ මැඳුරටය.

"මම රේණුකාගේ අවමංගල්‍ය උත්සවයේ කතාවක් කරන්නයි හිතාගෙන හිටියේ. ඒත් සවස වහින නිසා හෙලිකොප්ටර්වලට යන්න අමාරු නිසා උදේ යමුයි ගුවන් හමුදාව යෝජනා කළා. ඒ උපදේශය නිසයි උදේ වලපනේ ගියේ. රේණුකා එජාපයට විශාල ශක්තියක් දීපු එඩිතර කාන්තාවක්" අගමැතිවරයා කීවේ ඉතා සංවේදීවය.
"1976 වලපනේ එජාප සංවිධායක වෙලා 77 ඉඳලා වසර විසි ගණනක් එතුමිය පාර්ලිමේන්තුවේ හිටියා. සෞඛ්‍ය ඇමැතිකම හොඳටම ඇය කළා කියලා ‍ෙදාස්තරවරු හුඟ දෙනෙක් මට කිව්වා" ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයා සමඟ ශෝකය බෙදා ගනිමින් කීවේය. "දැන් ඇමැති මාරුව කරනවද? ඒක යට ගිහින්ද?" කතාව වෙනතකට යොමු කරමින් දයා ගමගේ ප්‍රශ්න කළේ අගමැතිගෙනි. "ඒක කියන්න අමාරුයි. බලමු...බලමු" කී අගමැතිවරයා සිනහසෙමින් ඉවත බලා ගත්තේය. "එජාපයට වෙන් කරපු ප්‍රබල ඇමැති ධුර ශ්‍රී ලනිප පැත්තට අරගන්න කට්ටියක් ජනාධිපතිතුමාට බල කරනවා කියලත් ආරංචියි. ඒ හුඟ දෙනෙක් එතුමාව ජනාධිපතිවරණයේදී පරාද කරන්න ක්‍රියා කරපු අයයි" ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

"ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි පත් වෙලා වසර 2කින් ප්‍රාන්ත ඡන්ද තියලා වාසි ගත්තා. අපේ ඡන්ද තවත් කල් යනවාදැයි මිනිස්සු අහනවා" පී හැරිසන් ඇසුවේ අගමැතිගෙනි. "එජාපයත් වසර 2ක් හොඳට වැඩ කරලා පස්සෙයි ඡන්දවලට යන්නේ. මෝඩිත් එජාප ක්‍රමය වෙන්නැති මේ අත්හදා බලල තියෙන්නේ" අගමැතිවරයා කීවේ සිනා මැදය.

"2019 මහ මැතිවරණයටයි මෝඩි පසුබිම හදන්නේ. අපි තීරණාත්මක ඡන්දයට වසර 2ක් තියලා දේශපාලනය පටන් ගන්න ඕනෑ. එතෙක් මහන්සි වෙලා රටේ දියුණුවට කැප වෙන්න ඕනෑ" ගයන්ත කරුණාතිලක කී දේ කවුරුත් අනුමත කළහ.

කතානායකතුමාගේ ඇතැම් තීන්දු ගැන ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂය සභාවෙන් පිටව යෑම ඔහුට ලබා දුන් සංඥාවක් බවද සිය දියණියගේ අභාවයෙන් පසුව කතානායකතුමාගේ පැරැණි ශක්තිමත් බවට යම් පසුබෑමක් ඇතිවී තිබෙන බවත් එම ශක්තිය යළි ලබා ගැනීම සඳහා එතුමාට ධෛර්යය ලබා දිය යුතු බවත් කීප දෙනෙක් පැවැසීය.

"එජාපයට තවත් නියෝජ්‍ය නායකවරු පත් කරනවාද?" පී හැරිසන් ඇසුවේය.
"විවිධ අය කියන හැමදේම ඇත්ත වෙන්නෙත් නෑ. ප්‍රවෘත්ති වෙන්නෙත් නෑ" යැයි කී අගමැතිවරයා නළල රැලි ගන්වා ඉවත බලා ගත්තේය.

හිටපු ජනාධිපති මහින්ද පසුගිය සඳුදා යාල වනයේ පිහිටි කැබිලිත්ත දේවාලයේ විශේෂ පූජාවකට සහභාගි විය. ඔහු මේ සඳහා මාස කිහිපයක් තිස්සේ නිර්මාංසව පේවී සිටියේය. පූජාව සඳහා හිතවතුන් කිහිප දෙනකුද සම්බන්ධ වූ අතර දිනක් කතරගම ගත කළ මහින්ද ආපසු ආවේ අඟහරුවාදාය.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන තාරුණ්‍යයට හෙටක් සංවිධානය පසුගිය බදාදා තංගල්ල සිලෝන්සි හෝටලේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රිවරුන් ඇතුළු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කළහ. "සාර්ථක ජීවිතයකට අත්වැලක්" ලෙස එය නම් කොට තිබිණි. ඊට හිටපු ජනාධිපති මහින්දද එක්ව සිටියේය. ඔහු එම වැඩසටහනට සහභාගි වී සිටි තරුණ ප්‍රජාව සමඟ සුහද කතාබහක නිරත විය. "අලුත් පරම්පරාව නියෝජනය කරන තරුණ තරුණියන් අපට විරුද්ධව ඡන්දය දුන්නා කියලා ලොකු මතයක් තියෙනවා. එහෙම වෙන්න ඇත්තේ රටේ තොටේ වෙන්නෙ මොනවද කියලා තරුණ තරුණියන්ට ඒ දිනවල අවබෝධයක් තිබුණෙ නැති නිසයි. ඔවුන්ට මවලා පෙන්නුවේ අපේ වැරැදි විතරයි. නමුත් දැන් ඒ අය ඇත්ත දන්නවා. රටේ සිදුවන දේවල් ඒ අයට දැනෙනවා. ඒ හින්දා ගිය පාර වගේ මේ වතාවේ නම් අලුත් පරම්පරාව රවටන්න ආණ්ඩුවට බැරි වෙයි" මහින්ද ඔවුන්ට කීවේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට දශක හතක් සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි. එම පාර්ලිමේන්තු ඉතිහාස සුවිශේෂී අංග අතර සෙංකෝලය ඉතා වැදගත් කොට සැලකෙයි. එකල පැවැති සෙනෙට් මන්ත්‍රි මණ්ඩල රැස්වීම් සඳහාද වෙනම සෙංකෝලයක් සකස් කොට තිබිණි. ඒ 1956 පටන්ය.
එම සෙනෙට් සභා සෙංකෝලය නිර්මාණයට භාර කෙරුණේ රන්කරුවකු වූ රඹුක්කන තරුණයකුටය. අඟල් 52ක් දිගු වූ එය රන් පවුම් 45ක්, රිදී රාත්තල් 3 1/2ක්, නිල් මැණික් හා නවවරම් මැණික් ඔබ්බවා එම තරුණයා එම සෙංකෝලය නිර්මාණය කොට තිබිණි. එදා රජයට භාර දුන් සෙනෙට් සභා සෙංකෝලය ඔහුට ආයෙත් කිසි දිනෙකවත් ඇල්ලීමට නොලැබිණි. ඔහු ඒ සඳහා ඉල්ලීම් රැසක් වරින් වර සිදු කොට තිබුණද පලක් වූයේ නැත. ඔහු එම ඉල්ලීම කරු ජයසූරිය කතානායකවරයාටද කළේය. එම ඉල්ලීම ඉටු කිරීමට කරු ජයසූරිය කැමැත්නේම ඉදිරිපත් විය. ඒ අනුව නයිදෙලගේ පියතිලක බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට කැඳවූවේය. කලකින් හමුවූ දරුවකු පරිද්දෙන් පියතිලක කලාකරුවා සෙංකෝලය ස්පර්ශ කළේ දෑසින් නැඟෙන කඳුළු මධ්‍යයේය.

"මේ සෙංකෝලය කොටස් 45කට ගැලවිය හැකි රහස් ඇණයක් සවි කොට තිබෙනවා. ඒක දන්නේ මම විතරයි. සෙනෙට් සභා ලාංඡනයේ "සන්තින්ද්‍රියෝච නිපකෝච" යනුවෙන් සඳහන් වෙනවා. මේක හදනකොට මට වයස 27යි. දැන් මට අවුරුදු 88ක් වෙනවා. එදා වගේම අදත් මට සතුටක් දැනෙනවා. මේ අවස්ථාව ලබා දුන්නාට ඔබතුමාට පින්" ඔහු කතානායකවරයාට කෘතඥතා දැක්වූවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අඟහරුවාදා පැවැත් වුණේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති මහින්දගේ නිල නිවෙසේදීය.
"පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය කරන්නෙ ඒකාබද්ධ විපක්ෂය විතරයි. ඒ හින්දයි ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂය මර්දනය කරන්නේ. ආණ්ඩුව දැන් හොඳටම බය වෙලා" මහින්ද කීවේය. "පසුගිය දවසක උතුරු පළාත් සභාව ජිනීවා මානව හිමිකම් සමුළුවට යවන්න යෝජනාවක් සම්මත කර ගත්තා. ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ආණ්ඩුව ඒ ගැන නිහඬයි. ඒකීයභාවය ආරක්ෂා කරන්න බැඳී ඉන්න ජනාධිපතිවරයාත් මේ කාරණයේදි නිහඬයි" දිනේෂ් පෙන්වා දුන්නේය. "ආණ්ඩුව දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව පළාත් පාලන නියෝජිතයන් මාර්තු 21 පවත්වන්න නියමිතව සිටි උද්ඝෝෂණය මැයි 31 දා තියන්න ඉඩ දෙන්න කියලා ඉල්ලලා තියෙනවා" මහින්ද දැන්වීය.

"ඒක හොඳයි සර්, මේ ආණ්ඩුව පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැරියෙ 2015 මැයි 31 නෙ. දැන් ඡන්දෙ කල්දාලා අවුරුදු 2ක් වෙනවා." ඩලස් කීවේය. "ඒක තමයි, රටපුරා දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ පවත්වලා මැයි 31 ලොකු විරෝධතාවක් දක්වන්නයි ඒ අය තීරණය කරල තියෙන්නේ." මහින්ද කීවේය. ඒ අනුව පළාත් පාලන නියෝජිතයන්ගෙ ඉල්ලීමට ඉඩදීමට තීරණය කෙරුණු අතර දිස්ත්‍රික් උද්ඝෝෂණ මාලාව මාර්තු මාසයේ සිට පැවැත්වීමට එකඟතාව පළ කළේය.

නිවාස සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්වූයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඊට නිවාස ඇමැති සජිත් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. "2017 දී යාපනය, මන්නාරම, වවුනියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල උදා ගම්මාන 46ක නිවාස 2534ක් හදන්න සැලසුම් කර තිබෙනවා" එහිදී සජිත් කීවේ අගමැතිවරයාගේ අවධානය යොමු කරමින්ය. "ඔයා ලොකු වැඩ කොටසක් කරනවා. ඒකට දෙන සහයෝගයක් හැටියට වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 126ක් ලබා දෙනවා" අගමැතිවරයා කීවේය.

මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමවලට අදාළ කටයුතුවලදී රජයේ ඇතැම් ආයතනවල සමහර නිලධාරීන්ගේ සහාය නොලැබීම ගැනද මෙහිදී සජිත් ප්‍රශ්නයක් මතු කළේය. "සමහරු තර්ජනාත්මක ලිපි එවනවා. අර වන්දි මේ වන්දි ඕන කියනවා. මේ විදියට වැඩ කරන නිලධාරීන් එක්ක රට සංවර්ධනය කරන්න බැහැ. නිලධාරීන් සුළු පිරිසක් හදන්නෙ වැඩ කඩාකප්පල් කරන්න" සජිත් චෝදනා කරද්දී "මම මේක ආර්ථික කළමනාකරණ අනුකමිටුවේදී විස¼දනවා" අගමැතිවරයා එම ගැටලු විසඳීමට ඉදිරිපත් විය.

නව ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයේ මංගල සැසිය බදාදා පැවැත්වුණේ පදනම් ආයතනයේදීය. එම අවස්ථාවට ආණ්ඩුව නියෝජනය කරමින් මැති ඇමැතිවරු රැසක්ද සහභාගි වී සිටියහ.

හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ද ඊට එක්ව සිටියාය. එහිදී ඇයගේ නම කියැවෙන විට සභාවෙන් "හූ" හඬක් නැඟිණි. වරින් වර එවැනි "හූ" හඬවල් නැංවීම නිසා ඊට මුල් වූ පුද්ගලයා ඉමහත් පරිශ්‍රමයක් දරා ඉවත්කොට ‍ෙදාරගුළු දැමීමට එහි සංවිධායකයන්ට සිදුවිය.
එම සමුළුව සඳහා කාන්තා නියෝජනය ඉතා අඩු මට්ටමක තිබිණි. එම නිසා සහභාගි වූ කාන්තාවන් කිහිපදෙනා ඊට විරෝධය පළ කළහ. ඒ ආකාරයට පැවැත්වුණු නව ව්‍යවස්ථාවක් වූ ජාතික ව්‍යාපාරයේ මංගල සැසිය ගාලගෝට්ටියක් වූයේය.

විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කොට අද වනවිට දින 59ක් ගතවෙයි. ඔහු බැලීමට පසුගියදා වීරකුමාර දිසානායක බන්ධනාගාරයට ගියේය. මගේ පළමු පොත "රටට වුවමනාවම" නිදහස් වුණු වහාම එළිදක්වමු. දෙවැනි පොත නිදහස් වන දිනය දක්වාම ලියනවා. දැනට පිටු 413ක් ලියලා ඉවරයි. "යදමින් බැඳි අක්ෂර" ලෙස ඒක නම් කළා" විමල් වීරකුමාරට සැල කළේය.

"මගේ පළමු පොත "රටට වුවමනා වම" මට නිදහස ලැබුණු වහාම එළි දක්වමු. දෙවැනි පොත නිදහස ලැබෙන දිනය දක්වාම ලියන්න වෙනවා. සිරගත ජීවිතයේ අත්දැකීම් මුල සිට අගට එහි සඳහන් කරන්න වීම ඊට හේතුවයි. දැනට පිටු 413ක් ලියලා ඉවරයි. මම ඒකට නමකුත් දැම්මා "යදමින් බැඳි අක්ෂර" කියලා. ඒ වගේම චිත්‍ර ඇඳීමත් දිගටම කරගෙන යනවා" තමන්ගේ සුවදුක් විමසීමට පසුගිය සතියේ පැමිණි පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතාට විමල් වීරවංශ මහතා එසේ පවසා තිබිණි.

කම්කරු ඇමැති ඩබ්. ඩී. ජේ. සෙනවිරත්නගේ නැන්දණිය වූ සෝමා පෙරේරා මාතාවගේ අභාවය සැලවූ පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් ඇහැලියගොඩ නිවෙසට ගොස් අවසන් ගෞරව පුද කළහ.

දේහයට අවසන් ගෞරව දැක්වීමට පසුගිය ඉරිදා රාත්‍රියේ එහි ගිය බැසිල්ට නිමල් සිරිපාල මුණ ගැසුණේය. එම ස්ථානයේ සිටි රංජිත් සොයිසා "බලන්නකෝ ඇමැතිතුමා අපේ බැසිල් මහත්තයට හෙටත් උසාවි යන්න තියෙනවනේ" යැයි කීවේය. "ඔය දේවල් ගණන් ගන්න එපා" නිමල් බැසිල් දෙස බලමින් කීවේය. "ඕව කරලා අපි වට්ටන්න බැහැ" බැසිල් දුන්නේ එවැනි පිළිතුරකි.

අනතුරුව බැසිල්ට හා නිමල්ට කතා බහකට ඉඩ දෙමින් පවිත්‍රා, රංජිත්, වක්කුඹුර ආදී සියලු දෙනාම එතැනින් පිටවී ගියහ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව විනාඩි 40ක් පමණ පැවැත්විණි. ඒත් එහිදී කතා බහ වූ කරුණු පිටතට පැමිණ හෙළි නොකිරීමට දෙදෙනාම වගබලා ගත්හ.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධව ක්‍රියාත්මක වන "එතෙර අපි" සංවිධානයේ ජාතික විධායක කමිටුව පසුගියදා මහරගමදී රැස් විය. සභාපති සුනිල් හඳුන්නෙත්ති, ජාතික සංවිධායක සංජීව මුණසිංහ, ලේකම් ලක්ෂ්මන් නිපුනාරච්චි, භාණ්ඩාගාරික ජානක අධිකාරි ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ. එම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වූයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය, විශ්‍රාම වැටුප,

දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන්ය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයෙක්ද වන සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා ඒ සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ සමාලෝචනයක් ඉදිරිපත් කළේය.
"අපි පාර්ලිමේන්තු කමිටුවට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්, ආගමන විගමන පාලක, මැතිවරණ කොමිසමේ සභාපති, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලේකම් ඇතුළු අදාළ බලධාරීන් කැඳෙව්වා. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට ඒ හැමෝම එකඟ වුණා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළමු ජාතික මැතිවරණයකදී විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය පාවිච්චි කරන්න යාන්ත්‍රණයක් හදන්න කමිටුව කටයුතු කරමින් ඉන්නවා" හඳුන්නෙත්ති කීවේය.

"අපි අපේ සංවිධානය හැටියට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළා විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්් ලබාදිය යුතුයි කියලා. නමුත් ආණ්ඩුව ඒ ගැන තවමත් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ළමයි පාසල්වලට ඇතුළත් කරන්න ගියාම ලොකු දුෂ්කරතාවලට ඔවුන් මුහුණදෙනවා. ඒකට විධිමත් වැඩපිළිවෙළක් හදන්න ආණ්ඩුවට බැරිවෙලා. මේ වගේ ප්‍රශ්න ගැන ආණ්ඩුවේ අවධානය දිගින් දිගටම යොමු කරන්න ඕන" එසේ කීවේ ලක්ෂ්මන් නිපුනාරච්චිය.

"අපි දැනට එතෙර අපි සංවිධාන පිහිටුවලා තියෙන රටවල සමුළු මාලාවක් තියමු. ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා අයිතීන් දිනාගන්න ඉදිරි ක්‍රියාමාර්ගවලට සූදානම් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි සංවිධාන පිහිටුවලා නැති රටවලත් එතෙර අපි සංවිධානය පිහිටුවන්න ඕන. "හඳුන්නෙත්ති එම යෝජනාව ගෙන ආවේය.

ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාසවලදී කැනඩාව, ප්‍රංශය, ඩුබායි, අබුඩාබි, කුවේට්, ඉතාලිය යන රටවලදී එතෙර අපි සමුළු පැවැත්වීමට නියමිතය. අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක් එම සමුළු අමතති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්