පෑංංංංංංං!!

  👤  5022 readers have read this article !
2017-04-05

"පෑංංංංංංංංං!!"

සිරිපාල කවදාවත්ම හරියටම පාන්දර පහට ඇහැරිලා නෑ. ඒ වුණාට දැන් ඉස්සර වගේ නැඟිටින්න අමාරු නෑ. හැම ගෙදරටම ආණ්ඩුවෙන්ම එළාම් එකක් හයිකරලා නිසා නැඟිටින්න බාධාවක් නෑ. අනික් අතට නැඟිටින්න පරක්කු වීම නිසා විසිපන්දාහක ප්‍රමාද දඩයක් ගෙවන්න සිරිපාල ගාව සල්ලි තියෙන එකක් යැ.
"පෑංංංංංංංංං!!"

ඒ තමයි දෙවැනි එළාම් එක. දෙවැනි එළාම් එක වැදුණු ගමන් හැමෝම මුහුණකට සෝදා ගන්න යන්න ඕන. එහෙම නැත්නම් වෙලාවට බස් එක අල්ලන්න වෙන්නේ නෑ. බස් එක ඇල්ලුවේ නැත්නම් වෙලාවට වැඩට යන්න බෑ. ට්‍රැෆික් නිසා නෙවෙයි. ට්‍රැෆික් තිබ්බේ 2020ට කලින්. මේ 2025. මේ කාලේ ට්‍රැෆික් නෑ. මොකද කවුරුවත් පෞද්ගලික වාහනේ වැඩට යන්නේ නෑ. (එහෙම යෑම බරපතළ වරදක්) පෞද්ගලික වාහනේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මඟුල් ගෙදරක, මළ ගෙදරක එහෙම නැත්නම් ටි්‍රප් එකක් වගේ යනකොට තමයි. ඒකටත් ලයිසන් එකක් අවශ්‍යයි. මාසික වැටුප යම් සීමාවකට වඩා වැඩිනම් විතරයි තමන්ගේම වාහනේක උදේට වැඩට යෑමේ වරප්‍රසාදය ලැබෙන්නේ. කවුරු කනු කුනු ගෑවත් ඒක නිසා ට්‍රැෆික් නැත්තටම නැති වුණා කියන එක සිරිපාලට වුණත් පිළිගන්න සිද්ධ වෙන සත්‍යයක් බව සිරිපාල දැනගෙන හිටියා. සාමාන්‍ය මිනිසුන්ට වැඩට යන්න ඒ. සී. කරපු බස් තියෙනවා. සීට් ගාණට විතරයි සෙනඟ ගන්නේ. බස් එක මිස් වුණොත් ඉතින් සොරිම තමා. මොකෝ ත්‍රීවීලර් තියෙන එකක් යැ. ත්‍රීවීලර් තහනම් කරලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ලංකාව පුරා පැතිරිලා තියෙන හැම දුරාචාරයකටම හේතුව ත්‍රීවීලර් බව ජනාධිපති නන්ද මහත්තයා ඒ කාලෙත් කිව්වා. බලයට පත්වෙලා අවුරුද්දක් ඇතුළත නන්ද මහත්තයා සියලු ත්‍රීවීල් තහනම් කළේ ඒ නිසයි. මීට කලින් ජනාධිපතිවරුන්ට වගේ නෙවෙයි 2020දී පත්වෙච්ච නන්ද මහත්තයා හරි වෙනස් කෙනෙක්. එතුමා නීතියට අකුරට වැඩ. ආයේ කිව්වොත් කිව්වා.
පුරුද්දටම වගේ ඇඳුම් ඇඳගත්ත සිරිපාල බස් එකට නැග්ගේ පත්තරේ එක අතකින් රෝල් කරගෙන. ඉස්සර වගේ නෙවෙයි දැන් පත්තරේ ආණ්ඩුවෙන් නිකංම දෙනවා. පත්තර කියලා මහ ගොඩක් නෑ. ආණ්ඩුවේ පත්තරෙයි, විපක්ෂයෙන් ගහන පත්තරෙයි. ඔක්කොම පත්තර දෙකයි. ආණ්ඩුවෙ පත්තරේ නිකං දෙනවා. පාර දෙපැත්තෙ හයි කරලා තියෙන පත්තර ඩිස්පෙන්සර් එකට ඇඟිලි සලකුණු තිබ්බම හරි. සල්ලි වියදම් වෙන්නේ නෑ. විපක්ෂයේ පත්තරේ නං හැබැයි සල්ලි දීලා ගන්න ඕන. වියදම් අඩු කරගන්න ඕන නිසා සිරිපාල විපක්ෂ පත්තරේ ගන්නේ නෑ. ඇරත් විපක්ෂ පත්තරේ කිව්වට ඕක ලියන්නේ විපක්ෂයෙන්මද කියලා...නෑ නෑ. අනවශ්‍ය දේවල් හිතලා හිත කරදර කරගන්න සිරිපාලට ඕන වුණේ නෑ. ඔහොම අනවශ්‍ය දේවල් හිතන්න ගිය ගොඩක් දෙනා අවසන් වරට දකින විට හිටියේ සුදු වෑන් එකකට නඟිමින් බව සිරිපාලට අමතක නෑ.

වෙලාවට බස් එකට නැඟපු නිසා වෙලාවට ඔෆිස් එකට යා ගන්න පුළුවන් වේ කියලා ලොකු විශ්වාසයක් සිරිපාලට තිබුණා. මොකද ඉස්සර වගේ නෙවෙයි ඕන ඕන එකාට බස් එළවන්න බෑ. දැන් බස් එළවන්නෙ ශ්‍රී ලංකා සන්නද්ධ සේවා ප්‍රවාහන බළඇණියෙන්. මාර්ග නීති අකුරටම පිළිපදින නිසා මාර්ග අනතුරු කියලා ජාතියක් ඇත්තෙම නෑ. අඩු ගාණේ පාරේ බස්වලින් එහෙම වෙන්නේ නෑ. ඔය පෞද්ගලික වාහනවලින් යන එවුන් නිසා තමයි මේ ඔක්කොම කරදර. සල්ලි ටිකක් වැඩිපුර අතට ගත්ත හැටියේ උන් ගන්නවා තත්ත්වේ පෙන්නන්න වාහනයක්. ඉතින් ඕක පාරට දාගත්තම මෙලෝ සිහියක් නෑ. අද මේ 2025දී මෙහෙම නම් ඉස්සර කොල්ලයි කෙල්ලයි බල්ලයි හැම එකාම වාහන පාරේ එළවපු කාලේ ලංකාව කොහොම තැනක් වෙලා තියෙන්න ඇත්ද කියලා සිරිපාලට පුදුමත් හිතුණු වෙලාවක් තිබුණා. ඇත්තටම නන්ද මහත්තයා ඒ අතින් පුදුම සංවිධාන ශක්තියක් තිබුණු මනුස්සයෙක්. ලංකාවම තනි අතකින් පාලනය කරන්න නම් ටිකක් දරදඬු වෙන්නත් ඕනේ කියලා සිරිපාලට හිතුණා.

බස් එකේ දාලා තිබුණේ ජාතික ගුවන් විදුලි සේවය. එහෙම ඒවා ඒකයි තියෙන්නේ. ඒ ඇරෙන්න පෞද්ගලික රේඩියොත් නැහැ නෙවෙයි. හැබැයි ඉතින් මොන රේඩියෝව දැම්මත් යන්නේ එකම නිවුස් නිසා ඒකෙත් මහ ලොකු වෙනසක් ඇත්තටම තිබුණේ නැහැ. මොකද ඉස්සර වගේ එක එකාට ඕන ඕන නිවුස් දාන්න මේ කාලේ පුළුවන්කමක් තිබුණේ නැහැ. හැම නිවුස් එකක්ම ආණ්ඩුවෙන් සහතික කරලා තමයි දාන්න ඕනේ. මේ ඇරෙන්න තහනම් චැනල් කීපයක්ම ලංකාවේ තියෙන බවට සිරිපාලට ඔෆිස් එකේ යාළුවෝ කතාවෙනව ඇහිලා තිබුණත් සිරිපාල ඒවා ගැන එහෙමට උනන්දු වෙන්න ගියේ නෑ. ඔය ඛ්ධ්ඒ වගේ ඇමෙරිකානු බුද්ධි අංශවලින් ලංකාවේ මිනිසුන්ට සල්ලි දීලා කරවන ජරා වැඩ ගැන සිරිපාලට කිසිම පැහැදීමක් තිබුණේ නෑ.

නිවුස්වලින් භාගයක් වියදම් වුණේ ඊයේ රෑ තියපු කලම්බු නයිට් රේස් එක ගැන වර්ණනා කරන්න. ලෝකේ පුරා රටවල් 30කින් විතර ක්‍රීඩකයෝ සහභාගි වන ලෝක මට්ටමේ ස්ටී්‍රට් රේස් එකක් තමන්ගේ රටේ පැවැත්වීම ගැන සිරිපාලට සියුම් ආඩම්බරයක් නොදැනුණා නෙවෙයි. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හැම අවුරුද්දෙම නාමල් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන මේ රේස් එක ගැන ඛ්ව්ව්, ඕඕඛ් වගේ ජාත්‍යන්තර මාධ්‍ය ඉරිසියාවෙන් කතා කරන බව සිරිපාල දැනගත්තේ ෆේස්බුක් එකෙන්.

ඔෆිස් එකේ අද සම්මන්ත්‍රණයක්. "බටහිර කුමන්ත්‍රණවලට එරෙහිව පුරවැසි බලය" ප්‍රධාන දේශනය පැවැත්වූවේ වත්මන් ජනාධිපතිතුමා විපක්ෂයේ ඉන්න කාලේ එතුමා වෙනුවෙන් ෆේස්බුක් කැම්පේන් කරපු අයියා කෙනෙක්. එයා දැන් කර්නල් කෙනෙක්. කොහොමත් මේ කාලේ වගකිවයුතු තනතුරු දරන හැම කෙනාටම වගේ කර්නල්, මේජර් වගේ නම්බු නාම තිබීම සාමාන්‍යයි. කොටින්ම දැන් ඉස්කෝලේ ප්‍රින්සිපලුත් කර්නල්නේ.

කර්නල් අල්විස් තමන්ගේ විෂය හොඳටම දන්නා බවට කිසිම සැකයක් තිබුණේ නෑ. සාමකාමී සමාජයක් තුළ කවදාවත් අපරාධ පැන නොනඟින බවත් සෑම විටම අපරාධවලට හේතු බාහිරයෙන් එම සමාජයට ඔබ්බවනු ලබන බවත් ඔහු විස්තර වශයෙන් උදාහරණ සහිතව පැහැදිලි කළ ආකාරය ආකර්ෂණීය බව සිරිපාලට හිතුණා. දේශනය පැවැත්වූ පැය එකහමාරක සීමිත කාලය ඇතුළේ බොනිටෝ මුසෝලිනි, ඉඩි අමීන්, රොබට් මුගාබේ, ඇඩොල්ෆ් හිට්ලර් වගේ ආදර්ශවත් වීර චරිතවලින් ගන්න පුළුවන් ආදර්ශ ගැන එතුමා බොහොම පුළුල් අවබෝධයකින් කතා කරපු බව පේන්න තිබුණා. විශේෂයෙන්ම යළි හිස ඔසවමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමේදී අසල්වැසි පිලිපීන ජනපති රොද්‍රිගෝ දුතෙර්තේගෙන් ගත හැකි ආදර්ශ පිළිබඳව ඔහු කතා කළේ දීප්තිමත් දෑසින්. රටේ ආරක්ෂාව අයිති රටේ පුරවැසියන්ට බවත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන් පෙරට ආ යුතු බවත් කියමින් ඔහු කතාව අවසාන කරන කොට පැනනැඟුණු අත්පොළසන් නාදය විනාඩි පහක් විතර දිගට පැවැතුණා.

ඔෆිස් එකේ වැඩ ටික සිරිපාල කළේ ආසාවෙන්. වැඩට දක්ෂයෙක් වීමටත් වඩා සිරිපාලට තිබ්බ ලොකුම සතුට තමයි චීන භාෂාව කතා කරන්න ඔහුට තිබ්බ හැකියාව. තව සති දෙකකින් චීන භාෂා ප්‍රවීණතා විභාගය පාස් වුණාම සිරිපාලටත් මීට වඩා හොඳ වැටුපක් ගන්න පුළුවන්කම තිබුණා. මීට අවුරුදු පහකට දහයකට කලින් වගේ නෙවෙයි දැන් ඉන්න චීන ලොකු මහත්වරුන් නීතියට වැඩ. පගාව කියලා එකක් ඒ මිනිසුන්ට තේරෙන්නෙත් නෑ. හැම රාජ්‍ය ආයතනයකම වැඩ කටයුතු හරියට කෙරෙනවද බලන්න ඒවාටම අනුයුක්ත කරපු චීන සුපරීක්ෂකවරුන් හිටියා. විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක සීත යුද්ධයක පැටලිලා ඉන්න මේ වගේ කාලයක ඒ සහාය මොනතරම් හයියක්ද කියන එක සිරිපාල දැනගෙන හිටියා. ඉන්දියාව විතරක් නෙවෙයි ඇමෙරිකාව, බි්‍රතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් ලංකාව දිහා කෑදර දෑසින් බලා ඉන්න බව රහසක් නෙවෙයි. ඇමෙරිකාවේ සුරතලෙක් වෙලා මැරෙනකන් සැපට ඉන්න පුළුවන්කම තියාගෙන නන්ද මහත්තයා ඒ සේරටම පයින් ගහලා ඇමෙරිකානු පුරවැසිභාවයත් එපා කියලා ලංකාව සංවර්ධිත රටක් කරන්න කරපු කැප කිරීම මොන තරම් විශිෂ්ටද කියලා සිරිපාල කල්පනා කරපු වාර අනන්තයි.
වැඩ ඇරිලා ගෙදර ආපු සිරිපාල මුලින්ම කළේ ෆේස්බුක් ලොග් වෙන එක. ෆේස්බුක් කියන්නේ ලංකාවට වින කටින්න බටහිර රටවල් විසින් පාවිච්චි කරන උපකරණයක් බව සිරිපාල දන්නවා. ඒ වුණාට සිරිපාල ෆේස්බුක් ලොග් වෙන්නේ ඒ ගැන හිතන්න නෙවෙයි. ෆේස්බුක් එකේ තරුණ සේනාව මේ සතියේ කාවද අල්ලාගෙන තියෙන්නේ බලන්න. චීන භාෂා විභාගෙට පාඩම් කරන්න තියෙන බව මතක් වුණත් ඊට වඩා සිරිපාලට ඕනෙකම තිබුණේ අදවත් අර ත්‍රිකුණාමලේ නඩුව ඉවර වෙයිද බලන්න. මීට සතියකට විතර කලින් අත්අඩංගුවට ගත්ත ත්‍රිකුණාමලේ හොර වෙළෙන්දාගේ නඩුව තමයි මේ සතියේ ජනප්‍රියම මාතෘකාව. මිනිහව අල්ලා තිබුණේ පොලිසියෙන් නෙවෙයි තරුණ සේනාවෙන්.

තරුණ සේනාව කිව්වට ඒකෙ සම්පූර්ණ නම "දේශප්‍රේමී තරුණ සිංහ සේනාව" එයාලගේ මූලික රාජකාරිය තමයි රටේ සෑම තැනකම සිද්ධ වෙන කුමන්ත්‍රණ හෙළිදරව් කිරීම. එයාලගේ ෆේස්බුක් පේජ් එකට මිලියන එකහමාරක විතර ලයික්ස් තියෙනවා. හොර රහසේ ලංකාව පුරා විසිරී සිටින තරුණ සේනා බළකායේ සාමාජිකයෝ තමයි මේ දේශප්‍රේමී කාර්යයේ දිවා රෑ නොබලා නිරත වෙලා හිටියේ. එයාලා කවදාවත් නියම නමින් ෆේස්බුක් ආවේ නෑ. එහෙම ආවොත් පහුවැනිදම ඛ්ධ්ඒ සංවිධානයේ හරි මොසාඩ් එකෙන් හරි එයාලව මරලා දාන බව එයාලා දැනගෙන හිටපු නිසයි ඒ. බටහිර රටවල් එහෙම තමයි. එයාලා හැම වෙලේම බලන්නේ දේශප්‍රේමීන් මරලා දාලා හරි නිහඬ කරන්න. ඒ නිසාම තරුණ සේනා සාමාජිකයෝ හැම වෙලේම පෙනී සිටියේ ආරූඪ නම්වලින්. රද්දල්ගොඩ සිංහයා, උග්ගල්කල්තොට රාල, අටකලම්පන්නේ මහ කළු සිංහලයා, පොතානිගම වීර පුතා වගේ වීරයන්ව තමයි මේ කාලේ පොඩි ළමයි ආදර්ශයට ගත්තේ.

මේ සතියේ තරුණ සේනාවට හමුවෙලා තිබුණේ චීත්ත රෙදිවල ධර්මචක්‍රය පේන්ට් කරලා බෙදපු ත්‍රිකුණාමලේ දෙමළ වෙළෙන්දෙක්. මේක පරණ සෙල්ලමක්. කියන්නේ නැවක රෝදයක් කියලා. ඒ වුණාට අවධානයෙන් බලන ඕනේ කෙනකුට පේනවා මේක ධර්ම චක්‍රයක් කියලා. ගෑනු නාන කොට දිය රෙද්දට අඳින චීත්ත කෑල්ලක අලවනවා තරම් අපහාසයක් ධර්ම චක්‍රයට කරන්නේ කොහොමද කියලා සිරිපාලට හිත කීරි ගැහිලා ගියා. මේ කරපු අපහාසයට ප්‍රතිචාර විදියට තරුණ බළකාය අර රෙදි කඩේ ගිනි තියන හැටි ෆේස්බුක් එකේ ලයිව් පෙන්නන හැටි බල බල සිරිපාල පාන් බාගයක් පරිප්පු හොදිත් එක්ක කෑවා.
රෑට කාලා පිඟන් කෝප්ප සෝදලා අස්පස් කරලා නිදාගන්න ගියාට සිරිපාලට නින්ද ගියේ නෑ. එළියේ වහිනවා, අකුණු ගහනවා, ගොරවනවා ඉවරයක් නෑ. දැන් මාස කීපයක ඉඳන් වහින වැස්සේ අඩුවක් නෑ.

"දේවෝ වස්සතු කාලේන - සස්ස සම්පත්ති හොතු ච
පීතෝ භවතු ලෝකොච - රාජා භවතු ධම්මිකෝ"
"කලට වෙලාවට වැසි වසීවා! කෙත්වතු සරුසාර වේවා! රටවැසියා ප්‍රීතිමත් වේවා! රජු දැහැමි වේවා!"
පොඩි කාලේ දහම් පාසලේදී පාඩම් කරපු ගාථාව සිරිපාලට මතක් වුණා.
"චටාස්!!!"

එක පාරටම ඔළුවට උඩින්ම වගේ පුපුරපු අකුණු පාරේ සැරට සිරිපාල ගැස්සිලා ඇහැරුණා. ඇහැරුණා විතරක් නෙවෙයි ඇඳෙන් බිමටත් වැටුණා. වැටිච්ච පාර එකපාර සිරිපාලට පෙනුණේ කාමරේ කොනක එල්ලා තිබුණු කැලැන්ඩරේ.
ඒත්!
කැලන්ඩරේ තාම 2020 නේ!!
ඔව්, තාම 2020. හෙට තමා ජනාධිපතිවරණ ඡන්දේ.
එතකොට මෙච්චර වෙලා තමන් 2025 ඉන්නවා වගේ දැක්කේ හීනයක්ද? සිරිපාල කල්පනා කළා.
සමහර හීන ඒ වගේ තමයි. ඇත්තයි, හීනයි අතර වෙනස හොයා ගන්න බෑ.
"එක්කෝ කමක් නෑ. ඒ හීනෙන් නැඟිටපු එකමයි හොඳ!"
හීනියට සැහැල්ලුවෙන් හිනාවෙන ගමන් තමන්ටම කියා ගත්තු සිරිපාල ආපසු ඇඳට ගිහිල්ලා රෙද්ද පොරව ගත්තා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon