මැද පෙරදිග ලාංකික ශ්‍රමිකයන්ගේ දුක

  👤  2192 readers have read this article !
2017-04-16

මෙරට ගැහැනුන් හා පිරිමින් විශාල සංඛ්‍යාවක් පිටරටවල සේවයේ නියුතුව සිටී. ඉන් සැලකිය යුතු සංඛ්‍යාවක් රැකියා කරන්නේ මැද පෙරදිග රටවලය. ඉන් වැඩිම ලාංකික ශ්‍රමිකයන් පිරිසක් සේවය කරන්නේ සෞදි අරාබියේය. 2013 වසරේ පමණක් එරට බලා ගිය ලාංකිකයන්ගේ සංඛ්‍යාව 80,836කි. ඉන් පිරිමි ශ්‍රමිකයන් සංඛ්‍යාව 41,455ක් වන අතර ගැහැනු සංඛ්‍යාව 39,381ක් බව සංඛ්‍යාලේඛනවල දැක්වේ.

මෙරට ශ්‍රමිකයන් දරුණු පීඩාවට පත්වන රටක් ලෙස සෞදිය සැලකේ. ඒ බව යළිත් සනාථ වන හෙළිදරව්වක් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ඉකුත්දා කර තිබිණි. පහර කෑමෙන් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවන් 12 දෙනකුගේ මළ සිරුරු සෞදි අරාබියේ ඔලෙයියා රෝහලේ මෝචරියේ තබා ඇතැයි එම සංවිධානය පවසයි. විවිධ හිංසනයන්ට ලක්වූ ලාංකික කාන්තාවන් දෛනිකව රැගෙන එන ස්ථානයක් ලෙස ඔලෙයියා රැඳවුම් මධ්‍යස්ථානය සැලැකේ.

දැනට ලැබී ඇති වාර්තාවලට අනුව සෞදි අරාබියේ කඳවුරුවල විශාල ලාංකිකයෝ පිරිසක් ගාල් වී සිටිති. වෙනත් රටවලද මේ ආකාරයටම ලාංකික ශ්‍රමිකයන් විශේෂයෙන් ශ්‍රමික කාන්තාවන් අපා දුක් විඳියි. 'රිසානා' නම් ලාංකික යුවතියට මරණ දඬුවම ලබා දුන්නේද සෞදි අරාබියාවය. එහිදී ඇය අතින් වරදක් වූ බව අධිකරණය තීරණය කිරීම නිසා කාටත් පොදු එරට නීතිය අනුව රිසානාගේ ගෙල කපා මරා දැමුවේය. ඊට වරදක් කිව නොහැකිය. එසේ නම් වරද කාගේද?

මැද පෙරදිග ගෘහ සේවයට කාන්තාවන් පිටරටට ඇදී යන්නේ දුප්පත්කම නිසාය. ඒ ඒ රටවල් ලාංකිකයන් ගෙන්වා ගන්නේ ලාභ ශ්‍රමය හේතුවෙනි. වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට උපයා දෙන්නේ මේ ශ්‍රමිකයන් විසිනි. එහෙත් 'වහල්' සේවය කර ගොඩනඟන ජාතික ආර්ථිකයෙන් ඇති ඵලය කුමක්ද? විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, විදේශ කටයුතු අමාත්‍යාංශයට, මෙහිදී පැවරෙන වගකීම අතිමහත්ය.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට අනුව සෞදියට කාන්තාවන් යනවා නම් ඒක ප්‍රමිතියකට යටත්ව යැවිය යුතුය. ඉතියෝපියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දියාව, පිලිපීනය වැනි රටවල් සෞදියට රැකියා සඳහා යෑම තහනම් කර ඇත. ලංකාවද සෞදිය ගැන තීරණයක් ගත යුතු කාලය එළැඹ ඇති බව පෙනේ. ඇමැතිවරයා නම් පවසන්නේ සෞදියට ශ්‍රමිකයන් යැවීමේදී ප්‍රමිතිගතව කළ යුතු බවය. කළ යුත්තේ ශ්‍රමිකයන් වහල් සේවයට යැවීම නතර කිරීමට අවශ්‍ය ආර්ථික සංවර්ධනය මෙරට ඇති කිරීමය. එවිට සෞදියේ හෝ අන් රටක දුක් විඳින ශ්‍රමිකයන් ගැන වේදනාබර කතන්දර ඇසීමට සිදුවන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon