මරණය දක්වා සටන් කරන්නත් සමාව නොඉල්ලන්නත් අපි තීරණය කළෙමු

  👤  3537 readers have read this article !
2018-01-07

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අවි අතට ගත් වෙල්ලස්සේ ජනයා මෙහෙයවූ 1818 කැරැල්ලේ වෙල්ලස්සේ නායකයා වූ කොහුකුඹුරේ රටේ රාල අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව නඩු විභාගයක් පවත්වන ලදී. ඉංගී්‍රසි යුද ප්‍රධානීන් හමුවේ කොහුකුඹුරේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය මෙසේය.

බූටාවේ රටේ රාල ඉන්නේ කොහේද?
එගොඩ පත්තුවේ කැන්දවින්න ගමේ පසුගිය රාත්‍රි තුනක් ඔහු හිටියා.
නුඹ හා බූටාවේ අතර ඇති නෑකම කුමක්ද?
මගේ මස්සිනා. ඔහු මගේ නංගී විවාහ කරගෙන හිටියේ.

නුඹලාගේ බොරු රජ්ජුරුවෝ දැන් ඉන්නේ කොහේද?
ඔහු මාරගල්ල ප්‍රදේශයේ සිටින බව මා දැන සිටියා. නමුත් දැන් කොහේ සිටිනවා දැයි දන්නේ නැහැ.
නුඹ සමඟ කොපමණ අනුගාමිකයන් සිටිනවාද, බූටාවේ සමඟ කොපමණ සිටිනවාද?
මා සමඟ තිහක් විතර ඉන්නවා. ඔහු සමඟ කොපමණ සිටිනවාද මා දන්නේ නැත. (කොහුකුඹුරේ සමඟ අනුගාමිකයන් 250ක් පමණ සිටින බව හමුදා නිලධාරීයෙක් පවසයි)
නුඹ බූටාවේ අවසන්වරට මුණගැසුණේ කොහෙදිද?
මා අල්ලා ගැනීමට 3න් දවසකට පෙර එගොඩ පත්තුවේදී.

නුඹ අත්අඩංගුවට පත්වනදා ගමන් කරමින් සිටියේ කොහාටද? කුමකටද?
එගොඩ පත්තුව බලා ගමන් කළා. මගේ අරමුණ ඉංගී්‍රසින්ට එරෙහිව සටන් කිරීම, ප්‍රදේශයේ හමුදා කඳවුරු අල්ලා ගැනීමත් අරමුණක්. ඒ සඳහා රජතුමාගෙන් අපට උපදෙස් ලැබී තිබුණා. අපේ ජයග්‍රහණයෙන් පසු අපට උසස්වීම් ලැබෙන බව දන්වා තිබුණා.
වෙල්ලස්සේ නායකයා කවුද?
මමත් බූටාවෙත් හැර වෙන කෙනෙක් ගැන දන්නේ නැහැ.
කැප්පෙටිපොළ ඉන්නේ කොහෙද?
කොත්මලේ.
නුඹට හා බූටාවේට ව්‍යාජ රජු යටතේ ලැබුණ තනතුරු මොනවාද?
ඔහු එගොඩපත්තුවේ දිසාව. මම මහබෙත්මේ රාල.
මහබදුල්ල ගම්මන රටේ රාල ඉන්නේ කොහෙද?

මම දන්නේ නැහැ. නමුත් ඔහු වැදිරටේ ඉන්න බව ආරංචි වුණා.
නුඹගේ හා බූටාවේගේ සියලුම දේපළ විනාශ කළාද?
ඔව්. අපි දෙන්නගෙම.
තවදුරටත් සටන ඉදිරියට ගෙන යෑමට ඔබ වෙල්ලස්සේ ජනතාවට ප්‍රකාශ කිරීමට අදහස් කරනවද?

මම දැන් සිරකරුවෙක්.
වෙල්ලස්සේදී ව්‍යාජ රජුට එක්වූ පළමු නායකයා කවුද?
දැන්ම මා මරා දමන්න මම පාපෝච්චාරණය කරනවා. මමයි පළමුවෙන්ම එක් වුණේ. බූටාවේ එක්වුණේ පසුවයි. ඒවනවිට ඔහු හජ්ජි අල්ලා ගැනීමේදී තුවාල ලබා සිටියේ.
ඉංගී්‍රසි ආණ්ඩුවට විරුද්ධව නුඹ ආයුධ අතට ගත්තේ ඇයි?
එසේ කරන ලෙස මහ බදුල්ලගම්මන රටේ රාල ලවා මට අණ කළා.
ඉංගී්‍රසි හමුදාව පලවා හැරීමට කොපමණ කාලයක් ගතවේ යැයි නුඹලා අදහස් කර තිබුණාද?
එවන් කාලයක් ගැන තීරණය කර තිබුණේ නැහැ. අපේ මරණය දක්වාම සටන් කිරීමටත් අත්අඩංගුවට පත්වුවහොත් සමාව නොඉල්ලන්නටත් තමයි අපි තීරණය කර තිබුණේ.
නුඹ දැන් සමාවක් ඉල්ලනවද?
මම කැමැතියි. ඒත් අන් අය ගැන මොකුත් මට කියන්න බැහැ.

නුඹට ජීවිත දානය දුනහොත්, බූටාවේ රටේ රාල සහ ඔහුගේ පවුලේ අයත්, අනුගාමිකයනුත් නුඹේ පවුලේ අයත් පැමිණ අපගේ ආණ්ඩුවට භාරවීමට සැලැස්වීමට හැකිද?
ඔව්. මම වහාම අණ කරනවා වහාම ඇවිත් භාරවන ලෙසට නොඑසේ නම් මා මරා දමන්න.
ඒ සඳහා නුඹ කොපමණ කාලයක් බලාපොරොත්තු වෙනවද?

මගේ පවුලේ අයට පණිවුඩ යැවීමට දින අටක් ඇති. නමුත් බූටාවේ ඇත්තේ දුර පළාතක.
කොහුකුඹුරේ රටේ රාල යටත් වීමෙන් පසු ඉංගී්‍රසීන්ට පොරොන්දු වූ පරිදි පවුලේ කිසිවෙක් හෝ වෙනත් අනුගාමිකයෙක් හෝ රජයට භාරවීම සඳහා පෙලඹවීමට කටයුතු නොකළහ. ඔහු සිරකරුවකු වශයෙන් ගාල්ලට යවන ලදී.

(2017. 12. 10 දින පළවූ ලිපියේ කොහුකුඹුරේ රටේ රාල අත්අඩංගුවට පත්වූවේ මරගලකන්දේ දී බවත් ඒ සඳහා සහාය වූවේ බූටාවේ රටේ රාලගෙ පවුලේ අය බවත් අත්අඩංගුට ගැනීමට ගියේ කපිතාන් සේගුනුර්දීත් ප්‍රධාන මැලේ හමුදාවක් බවත් සඳහන්වීම ප්‍රමාද දෝෂයකි.)

වෙල්ලස්සේ ගුණරත්න බණ්ඩා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්