මීහරකාගේ දුක්බර කතාව

  👤  4423 readers have read this article !
2018-01-07

මෙහි සිටින්නේ අප හැමදෙනාම දන්නා හඳුනන මීහරකෙකි. ඔබ මොහොතක් මේ සත්වයා දෙස බලා සිටින විට මොකක්දෝ දුක්බර කතාවක් ඔහුගේ මුහුණේ සැඟවී ඇති බව පෙනෙණු ඇත. සත්තකින්ම ඔබට කියන්නට තරම් සංවේදී කතාවක් මේ මීහරකාට තිබේ. උෟට තිබෙන ප්‍රශ්නය එය කියා පිහිටක් ඉල්ලන්නට කෙනෙකු නොවීමය. අප මේ සටහන තබන්නේ අසරණ මීගවයා වෙනුවෙනි.

වනාන්තරයක හුදෙකලාව සිටින මීහරකා "මව්බිම" කැමරාවට හසුවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතානේදීය. මීහරකා සිටින්නේ ඝන වනයක නමුදු එය සාමාන්‍ය කැලෑවක් නොවේ. ලංකාවේ නොයෙක් පළාත්වල හමුවන හිතුවක්කාර දරුණු අලින් රඳවා තබන අලි රැඳවුම් මධ්‍යස්ථානයකි. හොරොව්පොතානේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන හස්තීන්ගේ සිර කඳවුරෙහි දරුණු ගණයේ අලි ඇතුන් 36ක් සිටිති.

හොරොව්පොතාන රක්‍ෂිතයේ වනජීවී දෙපාර්තමේන්තුවට පවරාගත් අක්කර 4000ක වනාන්තරයක අක්කර 2500ක් කොටු වන සේ ශක්තිමත් වැටක් යොදා අලි රැඳවුම පිහිටුවා තිබේ. වැව් තුනක්, තණබිම් ආදියද රැඳවුම තුළ තිබේ. එය හුදෙකලා දිවයිනක් බඳුය. නොබෝදා ගාල බිඳ ගල්ගමුවේ තනි දළයා නමැති හස්තියා පැන ගියේ මෙම අලි රැඳවුම් වනයෙනි. එහි ශක්තිමත් විදුලි වැට කිලෝමීටර් 15ක වට රවුමකි. වනය තුළ සැඟව ගිය අලි ඇතුන් නිතර දෙවේලේ දකින්නට නැත. ඔවුන් එළියට නිරාවරණය වන්නේ තණ පිටියක, වැවක සිටින්නේ නම් පමණි.

ගෙවල් බිඳින නිසා, මිනිසුන් මරණ නිසා, තනි දළයා, නියපොත්තා, කබරයා, වම්බටු වැව අලියා, කටුකලියාව අලියා ආදී සතුන් 36 දෙනකු මෙහි ගෙනැවිත් දමා සිටිති. එසේ නම් මේ අසරණ මීහරකා අලි ගාලට වැටුණේ කෙසේද? ඒ අහිංසකයා කළ වරද කුමක්ද යන ප්‍රශ්නය නිතැතින්ම මතුවේ.

වනජීවී නිලධාරීන් ඊට දෙන පිළිතුර ඔවුන් උෟ සිර නොකළ බවය. අලි වැටේ වැඩ නිමා වෙද්දී ඒ වනයේ සිටි අනෙක් සතුන්ද නොදැනුවත්වම කොටුවී තිබේ. ප්‍රථම අලියා ඇතුළු කොට ගාලේ ප්‍රධාන ‍ෙදාරටුව වසා දමා ඇත්තේ 2015 සැප්තැම්බර් මස 4 වැනිදාය. එදා කැලයට රිංගා සිටි වෙනත් සතකු වී නම් ඔහුද ගාලටම කොටුවී ඇත. අලි වැට දිගට ඇති මුර සංචාරය සඳහා සකස් කළ පාරද කිලෝමීටර් 15කි. වසර කිහිපයක තරමක පැටවකු ලෙස දුටු මීමා දැන් නාම්බෙකි. ගාලකින් පිට පැන්න දඟකාරයකු වන්නට ඇත. උෟට පිටවීමට හැකියාවක් නැත. ඇතැම් විටෙක අලියකු සමඟ වැව් පිටියේ සිටින උෟ තම වර්ගයා නොමැති සොවින් පසුවන බව මේ පින්තූරයෙන් පැහැදිලිව පෙනේ. අලින් සමඟම සිටින නිසාත් තම වර්ගයේ තවත් මීහරකකු දැක නැති නිසාත් මේ මීමා තමාත් අලියකු යැයි සිතා සිටිනවා වන්නටද පුළුවන. එසේ නම් උෟට තවත් ප්‍රශ්නයක් පැන නැඟී තිබෙන්නටද පුළුවන්. තමාට තිබූ හොඬවැලට කුමක් වීදැයි සිතනවා වෙන්නටද පුළුවන.

කෙසේ නමුත් මීහරකාට අලිගාලෙන් පිටව යෑමට හැකියාවක් නැත. අලිගාල තුළම නපුරු බිහිසුණු අලින් සමඟ සහජීවනයෙන් වෙසෙනවා මිසක වෙනත් විකල්පයක්ද නැත. උගේ තනිකම අපේ හිතටත් ගැඹුරින් දැනෙන බරකි.
මාධ්‍යවේදී සපුමල් ජයසේනට ස්තුතිය හිමිවේ.

උදේනි සමන්කුමාර
ඡායාරූප - සජීව චින්තක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon