නොනවතින බොරු රැල්ල සහ පුංචි ඡන්දය

  👤  3529 readers have read this article !
2018-01-09

දේශපාලන බොරු පොරොන්දු හා බොරු ප්‍රචාරණය ලංකාවට අලුත් දෙයක් නොවේ. නමුත් පසුගිය ජනාධිපතිවරණය හා එහි පශ්චාත් සමය මෙහි කූටප්‍රාප්තියක් ලෙස යමෙකුට තර්ක කළ හැකිය. බොරු පොරොන්දු, බොරු කටකතා, බොරු චෝදනා මෙන්ම බොරු පරීක්ෂණද අසීමිත ලෙස අත්දැකීමට මේ කාලය තුළ ඡන්දදායකයන් හට අවස්ථාව ලැබිණි. කෙතරම් හානියක් ඉන් රටට වුවත් අවසානයේ ජනතාව පාඩමක් හෝ ඉගෙන ගත්තා නම් අනාගතයේදීවත් බොරුවට නොරැවටී සිටීමට ඔවුන්ට හැකි වනු ඇත.

2015 ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇසූ කතා කිහිපයක් මතක් කර බලමු.

සමහරු ඇසින් දුටුවා යැයි කී පිටරට බැංකු ගිණුම් සොයාගත්තේද? යාපනෙන් පැන්නුවා යැයි කී රත්රන් කන්ටේනර් සොයාගත්තේද? ලැම්බොගිනි කාර් හා බකිංහැම්වලින් ගෙනා අශ්වයන් හමුවීද? තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ ඝාතකයන් හෙළිවීද?

මහා මාර්ග, තාප බලාගාර, වරාය, ගුවන් තොටුපොළවල් වැනි මෙගා ඩීල්වලින් යමෙක් කොමිස් ගැසුවා කියා එක නඩුවක්වත් තිබේද?
බඩු මිල ඇත්තටම අඩු වීද?
පෞද්ගලික අංශයට පඩි වැඩි වීද?

අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන්වීද?
තරුණ තරුණියන්ට ෆ්‍රී වයිෆයි ලැබුණේද?

තිබුණ කැසිනෝ වැසුවාද?
රත්රන්වලින් හදනවා දැයි ඇසූ අධිවේගී මාර්ග හදන වියදම අඩුවීද?
නිෂ්පාදකයන්ට තේ, රබර්වලට සහතික මිල ලැබුණේද?
ගොවියන්ට පොහොර සහනාධාරය දිගටම ලැබුණේද?
උසස් පෙළ හදාරන පාසල් ළමයින්ට නොමිලේ කොම්පියුටර්, ටැබ් ලැබුණේද?
තරුණ පරපුරට අඩු මිලට වාහන ගන්න හැකිවීද?
රටේ කුඩු භාවිතය අඩුවීද? වැඩිවීද?
තවත් මේ ආකාරයට අසාගෙන ගිය හැකි ප්‍රශ්න රැසකි. මන්ද ඒ තරමට කතන්දර හා පොරොන්දු අසා ඇති බැවිනි.
වසර තුනක් පුරා ඡන්දදායකයන්ගේ ඡන්දය භාවිත කිරීමේ අයිතිය, විටින් විට ඡන්ද කල් දැමීම හරහා ජනතාවගෙන් උදුරාගෙන තිබුණු අතර ලබන පෙබරවාරි මාසයේ ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණයට දින නියම වීමත් සමඟම දේශපාලන බොරු පොරොන්දු හා බොරු ප්‍රචාරණ ප්‍රසංගයන් යළි ආරම්භ වන ලකුණු පෙනේ.

ජනතාව කුමන ආකාරයකට මේවාට මෙවර ප්‍රතිචාර දක්වයිද?

පසුගිය සතියේ සිදු වූ සුවිශේෂී සිදුවීමක් නම් ජනාධිපතිතුමා විසින් මහ බැංකු බැඳුම්කර කොමිසම් වාර්තාව පදනම් කරගෙන රටට විශේෂ ප්‍රකාශයක් කරමින් අදාළ සිද්ධියේදී මූල්‍ය වංචාවක් වූ බව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පිළිගැනීමයි. රටේ ජනාධිපතිතුමාම හොරකමක් සිදු වී ඇති බවත් එහි අලාභය වරදකරුවන්ගෙන් අය කරගත යුතු බවත් පැවැසූ පසුද ආණ්ඩුවේම සමහරක් පාර්ශ්වකරුවන් තවදුරටත් මේ ගනුදෙනුව වසන් කිරීම සඳහා අනුන්ට ඇඟිල්ල දිගු කරන ආකාරයක්ද දක්නට ලැබිණි.

ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශයේ පළමු වරට ආණ්ඩුව විසින් මහ බැඳුම්කර නිකුතුවේ වරදක් සිදු වී ඇති බව පිළිගැනීම සතුටට කරුණක් වුවද එම ප්‍රකාශයේ යම් අඩුපාඩුද පෙන්වා දිය හැකිය.

සමස්ත පාඩුව ඍජු හා වක්‍ර වශයෙන් ගණනය කළහොත් රුපියල් කෝටි ලක්ෂය ඉක්මවන බවට මතයක් ඇත. මෙය මුලින්ම පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවේම මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයායි. ඉන් පසුව විවිධ විද්වතුන් මෙය ගණනය කොට පෙන්වා ඇත. රටේ ජනතාවගේ ජීවන වියදම අහස උසට ඉහළ යෑමට, බදු බර දෙගුණ වීමට මෙය වක්‍රාකාරව හේතු වී ඇත. මේ පාඩුව අයකරගන්නේ කාගෙන්ද යන්න විශේෂ ප්‍රකාශයේ සඳහන් නොවිණි.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සඳහන් වූ කරුණු බොහෝමයක් මහජන අධිකරණය ඉදිරියේ විවිධ විද්වතුන් විසින් දැනට වසර 2 1/2කට පෙර සිට නැවත නැවත පැහැදිලි කර ඇති බවද අප මතක තබා ගත යුතුය. ඒ අනුව මෙය අලුත් සොයාගැනීමක් නොවේ.

බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරන්නේ පළාත් පාලන මැතිවරණයට දින නියමිතව තිබියදීය. මෙය මැතිවරණයට කුමන ආකාරයට බලපානු ඇතිද යන්න ගැටලුවකි. මන්ද මෙම ඡන්දය ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙපොළටත්, ඒකාබද්ධ විපක්ෂයටත් තීරණාත්මක මැතිවරණයක් වන බැවිනි.

පසුගිය ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වූයේ හංසයා ලකුණිනි. ඒ සන්ධානය තුළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් සිටි අතර සිරිසේන මහතා ලැබූ ඡන්ද අතර එම පක්ෂවල ඡන්දත්, යම් විදියකින් සිරිසේන මහතාට පෞද්ගලික ඡන්ද පදනමක් තිබුණේ නම් එයත් ඇතුළත් විය.
ජනවාරි 8 ජනාධිපතිවරණ ප්‍රතිඵලය පහත ආකාර විය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,09 වෙනස ඡන්ද 4,49,072ක් විය.

2015 පාර්ලිමේන්තු මැතිවරණයෙදී මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සංක්‍රමණය වී සිටි නිසා ඔහුට යම් පෞද්ගලික ඡන්ද පදනමක් ඇත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගොඩ වැඩි විය යුතුව තිබිණි. ඒ මහින්ද රාජපක්ෂත්, මෛත්‍රිපාල සිරිසේනත් දෙදෙනාම එවර එකම කඳවුරක් වෙනුවෙන් පෙනී සිටි නිසාය.
නමුත් ප්‍රතිඵලය වූයේ කුමක්ද?

එක්සත් ජනතා නිදහස් පෙරමුණ ලබා ගත්තේ ඡන්ද 4,732,664ක් පමණි.

මෛත්‍රිපාල සිරිසේන මහතා පිටව ගිය නිසා හංස සන්ධානයේ ඡන්ද අඩු වූ බවක් පෙනෙන්නට නැත. පාර්ලිමේන්තු මැතිවරණයට වෙන වෙනම තරග කළ හංස සන්ධානයේ ප්‍රධාන පක්ෂ ලබා ගත් ඡන්දවල එකතුව සිරිසේන මහතා ජනාධිපතිවරණයේ ගත් මුළු ඡන්දවලට වඩා මඳක් වැඩි නිසා මෙය තවදුරටත් ප්‍රත්‍යක්ෂ වේ.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 5,098,916
දෙමළ ජාතික සන්ධානය ඡන්ද 515,963
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 543,944
මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 44,193
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 28,587
එකතුව ඡන්ද 6,231,653කි.

එසේ නම් මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකව ජනාධිපතිවරණයට ගෙනා ඡන්දයක් නැති අතර ඔහු ලබාගෙන තිබුණේ සන්ධානය තුළ විවිධ පක්ෂ හරහා එක්වූ ඡන්ද බව අනුමාන කළ හැකිය.
පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපති සිරිසේන මහතා යටතේ තරග කිරීමෙන් සිදු වී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දදායකයන් අධෛර්යවත් වීම පමණි.

එම ඡන්දයේදී ජනාධිපති සිරිසේන මහතා කළ කී දෑ මතක් කර බලමු.
මුලින්ම ඔහු මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දීමට විරුද්ධ විය. නාම යෝජනා භාරදුන්නාට පසු ලිපියක් යවමින් මහින්ද හැර වෙන අයෙක් අගමැති අපේක්ෂක කරන ලෙස ඉල්ලීය.

ජනතාව අමතමින් ප්‍රසිද්ධ කතාවක් කොට සන්ධානය දින්නත් මහින්දට අගමැතිකම නොදෙන බව කීවේය.

ඡන්දයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරු අස්කොට ඡන්ද ජයග්‍රහණයෙන් මහින්දට වැඩක් නොවන බවට ඡන්ද දායකයන්ට දැඩි පණිවුඩයක් දුන්නේය.

දැන් අපි පාර්ලිමේන්තු ඡන්ද ප්‍රතිඵලය දෙස ආපසු හැරී බැලුවොත් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පිරිසක් තම ඡන්දයෙන් සිරිසේන මහතාට වාසියක් වනවාට අකැමැත්තෙන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය මඟහැරි බවකි.
එසේ නම් පාර්ලිමේන්තු මැතිවරණය වන විටත් මහින්ද රාජපක්ෂ ඡන්ද පදනම ආසන්න වශයෙන් 58 ලක්ෂයක් වූ අතර මහින්ද විරෝධී ඡන්ද පදනම ලක්ෂ 62ක් විය.
අප ඉදිරි මැතිවරණ දෙස බැලිය යුත්තේ මේ තත්ත්වය තුළය.

ඉදිරි මැතිවරණයකදී අලුතින් එකතු වන තරුණ ඡන්ද ආණ්ඩුවට වාසි වන්නට ඉඩක් නැත. ඒ තරුණ පරපුර කවදත් පවතින ආණ්ඩුවට එරෙහි බැවිනි. මෙහිදී ආණ්ඩුවට යම් වාසියක් දී තරුණ ඡන්ද සම සමව ආණ්ඩු පාක්ෂිකයන් හා ආණ්ඩු විරෝධීන් අතර බෙදී යනවා යැයි සිතමු. එසේ නම් තීරණාත්මක සාධකය තවමත් 2015 ඡන්දය දුන් අයමය.
මේ ඡන්ද බොහොමයක් මේ වන විට විපක්ෂයට නැඹුරු වී ඇතිවාට සැකයක් නැත. නමුත් මෙහිදී අප ඒ වාසියත් ආණ්ඩුවට දී ඔවුන් එදා ලද මහින්ද රාජපක්ෂ විරෝධී ඡන්ද අදත් එලෙසම තිබෙනවාය යන උපකල්පනය කරමු.

එදා මහින්ද සතුව තිබූ ලක්ෂ 58ක ඡන්දවලින් බහුතරය මෙවර ලැබෙන්නට ඉඩ ඇත්තේ පොහොට්ටුවට බව පිළිගැනීමට සිදුවේ. එසේම අද ජනාධිපතිතුමා සමඟ සිටින බොහෝ දේශපාලනඥයන් 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ පරාජිතයන් බවද අප අමතක නොකළ යුතුය.

ඉදිරි මැතිවරණයේදී කොටස්වලට කැඩෙන්නේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමයි. ඔවුන්ගේ ඡන්ද එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු කොටස් ගණනාවකට කැඩී යෑමට නියමිතය.

මහින්දගේ නායකත්වයෙන් එන පොහොට්ටුව තරගය අරඹන්නේම ඡන්ද 58 ලක්ෂයක් අතේ තබාගෙනය යන උපකල්පනය නිවැරැදි නම් එක්සත් ජාතික පක්ෂයට ඔවුන්ගේ ජනප්‍රියතාව ඉහළම මට්ටමේ තිබුණ 2015 අගෝස්තු ඡන්දයේදී ගත් 51 ලක්ෂයේ ඡන්ද ප්‍රමාණයවත් මේ ඡන්දයේදී පොහොට්ටුව පැරැදවීමට මදි වනු ඇත.

මෙම උපකල්පනය වැරැදි වීමටද බොහෝ ඉඩ කඩ ඇත. මන්ද මෙය මහ මැතිවරණයක් නොවන බැවිනි. පළාත් පාලන ඡන්දයකදී ඡන්දදායකයා පක්ෂයට වඩා තමුන් දන්නා අඳුනන අයකුට ඡන්දය දීමේ ප්‍රවණතාවක් තිබෙන බව කවුරුත් පිළිගන්නා කරුණකි. මේ ඡන්දය පුද්ගලයන් ලෙස බලා භාවිත නොකරන ලෙසත් ආණ්ඩුවට විරෝධය දැක්වීමේ ඡන්දයක් ලෙස භාවිත කරන ලෙසත් මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පිල නැවත නැවත කියන්නේ මේ අවදානම දන්නා නිසා විය යුතුය. නමුත් එම ඉල්ලීමට කෙතරම් දුරට ඡන්දදායකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබේ දැයි අනුමාන කිරීමට තවම කල් වැඩිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon