වනයට පෙම් බැඳි ජනපති ප්‍රේමදාස

  👤  6004 readers have read this article !
2018-01-14

වසරාන්ත නිවාඩු සමය ගෙවී යමින් තිබේ. නත්තලත්, ජනේරුවත් එකට ගනිමින් එළැඹි නිවාඩු සමය බැවින් අපේ රටේ පාර්ලිමේන්තුවට අධිකරණයට දීර්ඝ විවේක කාලයක් ලැබී ඇත. පළාත් පාලන මැතිවරණය නොවන්නට මේ වන විට රට කරවන ඇත්තෝ ආගිය අතක් හොයා ගන්නටවත් නැති වනු නිසැකය. නිවාඩු කාලයට අඩු තරමින් අනුරාධපුරයට, පොළොන්නරුවට, කතරගමටවත් නොගිය ඇතැමුන් මැති ඇමැති පට්ටමක් ලැබුණු විට නිවාඩුව ගත කරන්නේ බැංකොක් නුවර, මාලදිවයිනේ නැත්නම් පැරිසියේය. ඒත් බොහෝ විට අඹු දරුවන් සමඟද නොවේ. ඒ සඳහා අවශ්‍ය පිරිවැය සැපයෙන්නේද තමන්ට භාරදී තිබෙන අමාත්‍යාංශයෙන්ය. අදාළ වසරට නියමිත සංවර්ධන වැඩසටහනක් කපා දමා හෝ ඇමැතිගේ සුඛවිහරණයට අවශ්‍ය ප්‍රතිපාදන සපයාදීමට නොපැකිළව ඉදිරිපත් වන අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම නිලධාරීහුද අපේ රටේ ඕනෑ තරම් සිටිති.

ඡායාරූපයේ සිටින්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. මෙහිලා කතා කරනුයේ ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ බොහෝ දෙනා නොදත් පැත්තකි. ඔහු ඡායාරූප ශිල්පියෙකි. සොබා දහමට බෙහෙවින් ඇලුම් කළ තැනැත්තෙකි. ඔහුගේ ඡායාරූපවලට වස්තුවිෂය වූයේ වනාන්තරය හා වන සතුන්ය. එය තවත් කෙටියෙන් සඳහන් කරන්නේ නම් ඔහු වනාන්තරයේ ගැවසෙන අලි ඇතුන්ට ආදරය කළ අතර ඔවුන් ඡායාරූපයට නැඟීම විනෝදාංශය කර ගත්තේය.

ජනාධිපති ප්‍රේමදාස විවේකය ලද වහාම ගියේ ගුවන් තොටුපොළට නොව යාල වනෝද්‍යානයටය. යාල වන උයනේ සෑම මංකඩක්ම හෙතෙම අතැඹුලක් සේ දැන සිටියේය. ආරක්ෂක නිලධාරීන් පිරිස දෙතුන් දෙනකුට සීමා කරගනිමින් හුදෙකලාව වන සතුන් අතරට වැදීම ප්‍රේමදාස මහතා වඩාත්ම තුටු පහටු වූ මොහොත වූයේය.
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වන සැරිසර ගැන වඩා හොඳින් දත් පුද්ගලයෙක් අප අතර සිටී. හේ අන් කිසිවකු නොව ලංකාවේ ජනාධිපතිවරුන්ගේ යාවජීව ඡායාරූප ශිල්පියා වූ සුදත් සිල්වාය. ඔහුද යාල වන උයනේ ගත කළ රැයවල් ගණන අපමණය. ඔහු පවසන්නේ ධීවරයන් නොගැවසෙන වනයටම මායිම් වූ මුහුදු තීරයේ තනිව ඇවිද යෑමට ජනාධිපති ප්‍රේමදාස මහතා රුචි වූ බවය.

අරුණලු නැඟෙන පැයේ දම්පාට ළා සඳ බැස යන මොහොතේ යාලේ අලින් ගැවසෙන මංකඩක, වැව් තාවුල්ලක සැඟව උන්ගේ සංචරණ රටා බලා සිටින්නටත්, ඡායාරූපයට නඟන්නටත් හෙතෙම ප්‍රිය කළේය. එවැනි මොහොතක සතුන්ට බාධා වන හඬක් නැඟුණොත් ඔහු දැඩි සේ කිපුණේය. තැනට උචිත නොවන සේ හැසිරුණු නිලධාරියා නැවත කිසි දිනෙක කැටුව නොයන්නට ද වගබලාගත්තේය.

එක් අවස්ථාවක ප්‍රේමදාස මහතා අලි රංචුවක් රූගත කරමින් සිටියේ උදෑසනකය. සුදත් සිල්වා ද ඔහුට නොදුරින් සිට සිය කැමරාවට ඉලක්කය ගනිමින් සිටියේය. රංචුවේ සිටි දළ සහිත දැවැන්ත හස්තියා කලබලයට පත්ව තර්ජනාත්මක ලීලාවෙන් ඔවුන් වෙත හැරුණේය. ප්‍රේමදාස මහතා සුදත් දෙස බැලුවේය. සුදත් දුටු පමණින් ප්‍රේමදාස මහතාට කේන්ති ආවේය.

යනවා.... යනවා.... මොකක්ද ඔය ඇඳලා ඉන්නේ. කෑ ගැසීය. සුදත් ඇඳ සිටියේ සුදෝ සුදු කමිසයකි. ඒ නිසාම ඇතාට ආගන්තුකයා හොඳින් දර්ශනය විය. ප්‍රේමදාස මහතා වන සංචාරයේදී ජංගල් පාටට හුරු ඇඳුමක් අඳින්නට පුරුදුව සිටියේය. වහා ඉවත්්ව ගිය සුදත් ආරක්ෂක නිලධාරීන් සිටි ජීප් රථයට ගොඩ වී ඔවුන්ගේ ටී ෂර්ටයක් මාරු කර ගත්තේය. එහෙත් ඔහු ආපසු යන විටත් අලි රංචුව ප්‍රදේශය හැර ගොස් තිබිණි. එයින් පසු වනයට ගැළපෙන ඇඳුමෙන් තොරව වනාන්තරයට ඇතුළු නොවන්නට සුදත් වගබලා ගත්තේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon