ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වූ හැටි

  👤  5733 readers have read this article !
2018-01-14

ඉකුත් සියවස මැද භාගයේදී මෙරට බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වූ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්ව තිබිණි. එය ප්‍රකට වූයේ "බෙන්තරආරච්චි නඩුව" නමිනි.
ධනවත් ව්‍යාපාරිකයකු වූ බෙන්තරආරච්චි මහතා මෙම නඩුව පවරා තිබුණේ ඔහුගේ රියැදුරකු ලෙස සේවය කළ සිරිසේන නමැත්තකුට එරෙහිවය.
ව්‍යාපාරිකයාගේ රූමත් දියණිය, බෙන්තරආරච්චිගේ රියැදුරු සමඟ ප්‍රේම සම්බන්ධයක පැටලී සිටියාය. දෙදෙනාගේ විවාහයට දෙපාර්ශ්වයෙන්ම කොහෙත්ම කැමැති නොවන බව දන්නා ව්‍යාපාරික දියණිය තම පෙම්වත් රියැදුරා සමඟ කාටත් හොර රහසේ නිවෙසෙන් පැන ගියාය.

ප්‍රදේශයේ නමක් දිනා සිටි ව්‍යාපාරිකයාට මෙය බලවත් අපකීර්තියක් ගෙන දුන්නේය. එබැවින් ඔහු මහත් පරිශ්‍රමයක් දරා පෙම්වතුන් යුවළ පොලිසියට කැඳවාගෙන ඒමට සමත් විය. ව්‍යාපාරික දියණිය පොලිසියට කට උත්තරයක් දෙමින් පැවසුවේ තම කැමැත්තෙන් පෙම්වතා සමඟ පැනගිය බවයි.
කෙසේ නමුත් බෙන්තරආරච්චි උපායශීලීව දියණිය තමා වෙතට නම්මාගෙන යළි නිවෙසට කැඳවාගෙන යෑමට සමත් විය. දින කිහිපයකට පසු ඔහු තම දියණිය සමඟ යළි පොලිසියට පැමිණියේය. එහිදී ඔහුගේ දියණිය පවසා ඇත්තේ තම පියාගේ රියැදුරා (පෙම්වතා) තමන් බලෙන් පැහැරගෙන ගිය බවය. මේ හේතුවෙන් බෙන්තරආරච්චි, රියැදුරු සිරිසේනට එරෙහිව නඩුවක් පැවරුවේය.

නඩුව අවසානයේ තීන්දු වූයේ විත්තිකාර පෙම්වතාට කස පහර 7ක් දීමටත් අනතුරුව බන්ධනාගාරගත කිරීමටත්ය. නඩුව පිළිබඳ උනන්දුව වූ පොදුජනතාවගේත්, බොහෝ දෙනාගේත් බලවත් අප්‍රසාදයට පත්වූ මෙම නඩු තීන්දුව ලබාදී තිබුණේ අගවිනිසුරුවරයකු වූ ආර්. එෆ්. ඩයස්ය.
1960 මාර්තු මස පැවැති මහ මැතිවරණයෙන් ‍ෙදාම්පේ අසුන ජයගෙන පාර්ලිමේන්තුවට ආ ෆීලික්ස් ආර්. ඩයස් ඉහත නඩු තීන්දුව දුන් විනිසුරුවරයාගේ පුත්‍රයෙකි. එනමුත් දින 30කට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි.
මාර්තු මැතිවරණයෙන් දින කිහිපයක පසු ශ්‍රී ලනිප සභාපති පදවිය දරමින් සිටි සී. පී. ද සිල්වා ඉල්ලා අස්වූයේය. බහුතරයකගේ කැමැත්තෙන් ඊළඟට සභාපති වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි.

යළිත් ජූලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණයට මැයි 20 වැනිදා නාම යෝජනා ඉදිරිපත් කෙරිණි. එහිදී ෆීලික්ස් ආර්. ඩයස් තම යෝජනාව ඉදිරිපත් කළේ තම නම අගටද බණ්ඩාරනායක යනුවෙන් කොටසකුත් එකතු කර ගනිමිනි.
එකල බණ්ඩාරනායකලාට ගම්පහ තිබූ ජනතා කැමැත්ත නිසාදෝ ජූලි මැතිවරණයෙන් ඔහු ජයගත්තේ කලින් ගත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගනිමිනි. 1960 ජූලි 23 වැනිදා ෆීලික්ස් රෙජිනෝල්ඩ් ඩයස් බණ්ඩාරනායක දිවුරුම් දුන්නේ නව රජයේ මුදල් ඇමැතිවරයා වශයෙනි.
1962 දී ඔහු ඇමැතිකමෙන් ඉල්ලා අස්වූ නමුත් 1963 කැබිනට් සංශෝධනයේදී ඔහුට කෘෂිකර්ම, ආහාර හා සමුපකාර ඇමැති ධුරය හිමිවිය. ඉන් කෙටි කලකට පසු සමුපකාර කොටස ඉවත් වී ඒ වෙනුවට ධීවර ඇමැති බවට පත්විය.

ඉන්පසුව පැවැති 1965 සහ 1970 මහ මැතිවරණවලින්ද ජයගත් ෆීලික්ස් සමඟි පෙරමුණ රජයේ රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ස්වදේශ කටයුතු ඇමැතිවරයා විය. 1972දී අධිකරණ ඇමැතිවරයා ඉල්ලා අස්වූ පසු එම ඇමැති ධුරයද හිමිවූයේ ෆීලික්ස්ටය.

1962 දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කර ඊට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු යෙදුවේ ෆීලික්ස්ය. ඒ හේතුවෙන් 1970 කැබිනට් මණ්ඩලය තුළ නමක් හදාගෙන සිටි ෆීලික්ස්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන ආණ්ඩුවේම ප්‍රබලයන් ඇතුළු මැති ඇමැතිවරුන් සිටියේ කලකිරීමකිනි.
ඒ ඔහු අමානුෂික අන්දමින් විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් පළිගත් නිසාය. වරක් ඔහු 1971 තරුණ නැඟිටීමට සම්බන්ධ බව පවසමින් විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධනගේ පුත්‍රයා අත්අඩංගුවට ගත්තේය. තවත් වරෙක රත්මලාන එජාප සංවිධායකවරයා ලෙස ලලිත් ඇතුලත්මුදලි පත්වූ විට ඔහුටද චෝදනා ගොනුකර අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙවැනි ක්‍රියා නිසා ඇන්. ඇම්. පෙරේරාත්, කොල්වින් ආර්. ද. සිල්වාත් ඔහු හැඳින් වූයේ 'සාතන්' (යක්ෂයා) කියාය. 1977 මහ මැතිවරණයෙන් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව මෙන්ම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකද පරාජයට පත්විය.

බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව මඟින් ෆීලික්ස්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවේය. එම විවාදයට සහභාගි වෙමින් ෆීලික්ස් ගැන ඇමැති ලලිත් ඇතුලත්මුදලි මෙසේ කීවේය.

"මිනිසකුට තවත් මිනිසකුගෙන් මෙලෙස පළිගත හැක්කේ සාතන් කෙනකුට පමණයි. සාතන්ට "සාතන්" කීවේ ඒ නිසයි".
පක්ෂයේම වැඩි පිරිසකගෙන් ඔහුට එල්ල වූ විරෝධය නිසා ෆීලික්ස්ට සිදුවූයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වීමටය.
ගාමිණී ෆොන්සේකා ඔහුව උපහාසයට ලක් කරමින් "සාගරයක් මැද" චිත්‍රපටය තනා ප්‍රදර්ශනය කිරීමට සූදානම් වෙද්දී ඊටද එරෙහි වුවත් අවසානයේ එය අසීමිත මහජන ප්‍රදර්ශනයකට අවසර ලැබිණි. අන්තිමේදී තවත් අසරණ වූ ෆීලික්ස් ලෙඩ ඇඳට වැටිණි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon