යුද ටැංකි දෙකක් සහ ඉන්දීය සෙබළු දහසක්

  👤  5389 readers have read this article !
2018-01-14

යුද බිමෙහි ගෙවුණු මගේ පළමු දිනය සිතු තරම් ප්‍රසන්න හෝ සාර්ථක වූයේ නැත. විශ්වවිද්‍යාලයේ එතරම් අප්‍රසන්න නොවූ පරිසරයෙන් මුරලි අප රැගෙන ගියේ යාපනයට යාබද ගම්මානයක් වන කෝපායි වෙතය. කඳවුරෙහි ඒකක දෙකක් වූ අතර එක් ඒකකයක අවිගත් තරුණයෝ පහළොස් දෙනකු බැගින් සිටියහ. අප සිටි ස්ථානයට උතුරු දෙසට වන්නට මීටර් දෙසීයක් පමණ දුරින් බියකරු යුද්ධයේ හඬ ඇසිණි. පිරිමි කොටි කණ්ඩායම් තුනක් යාපනය ප්‍රධාන මාර්ගය අසල යුද වැදී සිටියේ සාම සාධක හමුදාව සමඟය. බෝම්බ හෙළන හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අපට ඉහළින් තටු සලමින් නැවතී සිටියේය. තල් අතු වැටෙන් වට වූ ළං ළංව පිහිටි කුඩා නිවාස සියල්ලම පාහේ හුදෙකලා වී තිබුණේ ඒවායේ පදිංචිකරුවන් පාසලක, පන්සලක හෝ පල්ලියක අනාථ කඳවුරු සොයා ගොස් තිබූ හෙයිනි.

අපි බොහෝ විට අඹතුරු සෙවණ නැතහොත් මාවත දෙපස වූ මුරංගා හෝ සියඹලා වදුලක සැඟවී සිටියෙමු. වායු ගෝලයෙහි පිරී තිබුණේ වෙඩි බෙහෙත් ගන්ධයයි. ගම්මානය දෙසට යුද ටැංකි හඹා එන ගොරතර හඬට මා සවන් දී සිටියේ භීතියෙනි. මේ සියල්ලට එරෙහිව සටන් කරන්නට අප සතුව ඇත්තේ උසස් වර්ගයේ එක් තුවක්කුවක් සහ ඒම්-47, ර් 16, ට්3 තුවක්කු කිහිපයක් පමණක් බව එක් තරුණයෙක් මා හා පැවැසීය. බල සම්පන්න අර්ථීට් ඒ වන විටත් පොළොවෙහි වළ දැමූ ගමන්ය.
ඉදිරියට පැමිණෙන සතුරු හමුදා ඒකකයක් වළක්වාලන්නට පෙළ ගැසෙන්නැයි අපට දිනෙක අණ ලැබුණේ පිරිමි අණදෙන නිලධාරියකුගෙනි.
කවුරුන් හෝ විසින් බෙදා දෙනු ලැබූ ක්‍රීම් බිස්කට් පැකට් එකක් අතට ගත් මමද අනෙක් ගැහැනු හා පිරිමි සොල්දාදුවන් සමඟින් එක් වූයෙමි. ප්‍රහාරයකදී කළ යුත්තේ කුමක්දැයි පැහැදිලි අවබෝධයක් නොතිබුණද බිස්කට් රස බලමින් ඉදිරියට යමින් මා සිතුවේ යම් කිසිවෙක් අප ඒ පිළිබඳ දැනුවත් කරනු ඇතැයි කියාය.
හදිසියේම පෙළෙහි පළමු වැන්නා නතර වී වහා පහත් වූයේය. තෙවැන්නා වූ මමද ඔහු අනුගමනය කළෙමි. අපි ඉදිරියෙන් වූ වංගුවේ මීටර් සීයක් පමණ ඉදිරියෙන් නතර කොට තිබූ යුද ටැංකි දෙකත් ඒ අසල සිටි දහසක් පමණ ඉන්දීය හමුදා භටයිනුත් මා දුටුවේ එවිටය. ඔවුහු ඉතා හොඳින් වෙස් ගැන්වී සිටියහ.

ඒ මොහොතේම ඔවුහු අප දුටහ.
"යටත් වෙයව්...!"
එක් සොල්දාදුවෙක් හඬ නැඟුවේය. ඒ සමඟම අනෙකුත් සියලු සොල්දාදුවෝ අප දෙසට තුවක්කු මානා ගත්හ.
මා අපගේ නායකයා දෙස බැලුවේ ඔහු අප වෙත අණ නිකුත් කරනු ඇතැයි යන විශ්වාසයෙනි. එහෙත් වහා අනෙක් පසට හැරුණු ඔහු අප පැමිණි දෙසටම ආපසු දුවන්නට පටන් ගත්තේය. තවත් මොහොතකින් අන් සියලු දෙනාද වියරුවෙන් මෙන් ඔහු පසු පසින් දුවන්නට වන්හ. අත තිබූ බිස්කට් පැකැට්ටුව ඉවතට විසි කළ මමද වහාම තරගයට එක් වූයෙමි. මගේ සහෝදරයන් කිහිප දෙනෙකු පසු කොට දුවන්නට පවා මට ඒ මොහොතේ ශක්තිය ලැබිණි.

කෙසේ වෙතත් ඉන්දීය හමුදා සොල්දාදුවන් අප පසු පස එළවා ආවේ නැත. ඒ අප සතු යුද බලය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නො තිබූ නිසා විය හැකිය. අවසන අපි එක්තරා මංසන්ධියකට ළඟා වීමු. ඒ වනවිට සියල්ලන්ගේම ශක්තිය සිඳී ගොසිනි. ඒ සමඟම බයිසිකලයක නැඟී ආ විශාල උඩු රැවුලක් සහිත දැවැන්ත පුරුෂයෙක් අප ඉදිරිපිට පෙනී සිටියේය. අපිරිසුදු සරමක් හා කමිසයක් හැඳ සිටි හෙතෙම තම විශාල ඇස් කරකවමින් අප කණ්ඩායමට තිත්ත කුණුහරුපවලින් ‍ෙදාස් පවරන්නට පටන් ගත්තේය. සාරා නම් වූ ඔහු කල්වියන්කාඩු ප්‍රදේශයෙහි කොටි නායකයා වූයේය.

"........... බල්ලනේ! මොන ගොනාද තොපිව එහාට යැව්වේ? තොපේ එකෙකුටවත් මොළ ගෙඩියක් කියලා එකක් නැද්ද? බුරුවෙක් මිස වෙන එකෙක් ඒ පැත්තට ඔය විදියට යනවද?"
අතර මැදදී ඔහු මඳ විරාමයක් ලබා ගත්තේය.

"දැන් දෙන්න දෙන්නා පලයල්ලා මේ පාර දිගේ. මෝඩ බල්ලෝ තොපි වගේ උන් මැරෙන එක වඩා හොඳයි. යකුනේ..."
අනතුරුව වටයක් කැරකුණු ඔහුගේ බයිසිකලය මාවතෙහි වූ ගස් අතරින් ක්‍රමයෙන් නොපෙනී ගියේය. ඒ යන අතරේද ඔහු අපට බැන වැදුණා විය යුතුය.
පිරිමි කොටි සොල්දාදුවකු විසින් තල් වැට අද්දර තැනක මම ස්ථානගතව කරවනු ලැබුණෙමි. සාරාගේ අවිනීත වදන් වැලත් අප බියසුල්ලන් මෙන් පලා ආ හැටිත් මම නැවත නැවතත් ස්මරණය කරමින් සිටියෙමි. කොටි ආදර්ශ පාඨය සමඟ එකී ක්‍රියා කලාපය ගැළපෙන්නේ කෙසේද?
"කොටියා නම් කිසිවිටෙකත් සතුරා මඟ හැර යන්නේ නැත."

(ර්ථීභපචථභඤඩභඩඪඤචචබඩච ර්ථීභතඪඩචත...!)
තල් වැට දිගට අප දෙදෙනා බැගින් රඳවා තිබිණි. මුරුංගා පඳුරු අතරින් සතුරා කොයි මොහොතේ හෝ මතු වෙතැයි අපි ගිනි අවි අමෝරා ගෙන බලා සිටියෙමු. උණුසුම හා පිපාසය දරාගත නොහැකි තරම් විය. මම මහ වැස්සක් ප්‍රාර්ථනා කරමින් සිටියෙමි. හදිසියේ අප සිටි දෙසට වෙඩි උණ්ඩ කිහිපයක් පතිත විය. සතුරා සිටියේ අපට බොහෝ දුරකින් නොවේ. ඉදිරියට පැන වෙඩි තබන්නට මට වුවමනා විය.
"රයිෆල් එක ලෑස්ති කර ගන්ඩ, හිටගෙන වෙඩි දෙකක් තියලා ඉක්මනින් පහත් වෙන්ඩ."
යුද්ධයෙහි නිපුණයකු ලෙසට මට අවවාද දුන්නේ අසල සිටි පිරිමි ළමයාය. ඔහුගේ වයස යාන්තම් අවුරුදු පහළොවක් පමණ වන්නට ඇතැයි මට සිතුණි. ඒ දිනවල හමුදා බැරැක්ක අවට තිබූ මුරකුටිවල ඔහු සේවය කළා වන්නට ද ඇත.
තුනට ගණන් කිරීමෙන් අනතුරුව අපි දෙදෙනාම එක්ව එලෙස වෙඩි තැබුවෙමු. මට මහත් ශක්තියක් දැනෙන්නට විය. නොපෙනී සිටි සතුරා වෙඩි හඬ කිහිපයකින් අපට ප්‍රතිචාර දැක්වීය. අපි දෙදෙනා පහත් වී සතුරා දෙසට තවදුරටත් වෙඩි තැබුවෙමු.
පිපිරුම් හඬ සහ යුද ටැංකිවල රළු හඬ ක්‍රමයෙන් අප වෙත ළඟාවන බවක් මට දැනුණි. හෙලිකොප්ටර් යානා ඉහළ අහසේ සිට අප දෙසට වෙඩි තැබුවේය. ක්‍රමයෙන් අවට වායුගෝලය දුමෙන් පිරී ගියේය.

"දවල් කෑම ඇවිල්ලා...!"
කලබලය අතරට පැමිණි අයෙක් හඬ නඟා දැනුම් දුන්නේය. වේලාව සවස හතරහමාර විය. අපි අසල වූ බස් ආවරණය තුළට පිවිසියෙමු. දිවා ආහාර පාර්සල් තබා තිබුණේ එහිය. පාර්සල්වල තිබුණේ රතු කැකුළු බතක් සමඟ මෑ කරල් වෑංජනයක් පමණකි.

දිවා ආහාරය ගැනීමෙන් පසු ගෙවී ගියේ හෝරා දෙකක් පමණකි. ආපසු යාපනයට යා යුතුව ඇතැයි අපට අණ ලැබිණි. සතුරා වළකාලන්නට අපට අසීරු වීම ඊට හේතුව විය. යුද පෙරමුණේ මගේ පළමු අත්දැකීම් ඉඳහිට තැබූ වෙඩි කිහිපයකට පමණක් සීමා වීම පිළිබඳ මට දැනුණේ සියුම් කනගාටුවකි.
හැටක් පමණ වූ අපගේ පිරිස බලමුළු දෙකකට වෙන් කෙරුණි. මාවත දිගේ අප ඉදිරියට ඇදුණේ ඉහළින් පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානාවලට නොපෙනෙන්නට වදුලු අතරේ සැඟව ගනිමිනි.

සුපුරුදු ලෙස බැන වදිමින්, බයිසිකලයේ නැඟී ඉදිරියෙන් හා පසුපසින්ද පෙනී සිටිමින් අපට නායකත්වය දුන්නේ "සාරා"ය.
කෙසේ වෙතත් සාරාගේ බල ඇණිය මහත් සේ විනෝදකාමී විය. කවි හා ගීත ගායනා කරමින්, නාට්‍ය රඟ දක්වමින් අප මඟ ගෙවූයේ ක්‍රීඩාශීලී විලාසයකිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon