කතරගම ගින්න

  👤  3769 readers have read this article !
2018-01-23

ඉකුත් ඉරිදා කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශය කැලඹී ගියේ පොලිසිය විසින් එක්දරු පියකුගේ හිසට වෙඩි තබා මරා දැමීම නිසාය. කතරගම පොලිසිය පවසන ආකාරයට මේ වෙඩි තැබීම කර ඇත්තේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් නතර කිරීම සඳහාය. ප්‍රශ්නය වන්නේ යතුරුපැදිය නතර කර ගැනීමට ධාවකයාගේ ඔළුවට වෙඩි තැබිය යුතුද යන්නය. කවදත් අපේ පොලිසියට ඉලක්කයට වෙඩි තැබීම ගැටලුවකි. මීට ජනප්‍රිය රංගන ශිල්පී නිහාල් සිල්වා කලෙකට පෙර අකාලයේ මරු දුටුවේද අණ නොතකා ධාවනය කිරීම නිසා මෝටර් රියට පොලිසිය කළ වෙඩි තැබීම නිසාය.
කාරණය අනෙකකි.

අත්වැරැදි සිදුවිය හැකිය. එහෙත් මේ සිද්ධිය පොලිසිය හා ප්‍රදේශවාසී ජනතාව අතර බරපතළ ගැටුමක් දක්වා දුර යෑමට නොදී නතර කර ගැනීමට නොහැකි වූයේ ඇයි? අණ නොතකා ධාවනය කළ නිසා වෙඩි තැබුවා විය හැකිය. ඉලක්කය වැරැදී ඔළුවටම වෙඩි වැදුණාද විය හැකිය. දෙදරු පියකුගේ මේ අවාසනාවන්ත මරණය හමුවේ බිරිය, දරුවන්, මවුපියන්, ඥාතීන් හා හිතවතුන්ගේ ඇවිළී යන වේදනාව පොලිසිය තේරුම් ගත යුතුව තිබිණි.
පොලිසිය ගැන විශ්වාසයක් පොදු ජනතාව තුළ නැත. එය කවදත් තිබෙන ප්‍රශ්නයකි.

පොලිසිය ගැන නොව මේ රටේ බහුතරයට කිසිදු රාජ්‍ය ආයතනයක් ගැන, ප්‍රධානීන් ගැන, දේශපාලන නායකයන් ගැන විශ්වාසයක් නැති තරම්ය. ඔවුන් බොහෝ විට මේ අංශ සමඟ ගනුදෙනු කරන්නේ අවිශ්වාසය පෙරදැරි කරගෙනය.
කතරගම වැඩිහිටිකන්දේ මේ සිද්ධිය පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුමක් දක්වා දුරදිග ගොස් 60කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම වැනි අන්තයකට අවසානයේ ඇදී ගියේය.

පොලිසිය අඩියක් පිටුපසට ගත යුතුව තිබුණේ පොලිසිය අත වරදක් ඇති බව බැලූ බැල්මට පෙනෙන නිසාය. වෙඩි තැබූ කොස්තාපල්වරයා වහා අත්අඩංගුවට ගත යුතුව තිබිණි. නීතිය ක්‍රියාත්මක වන බවට විශ්වාසයක් ජනතාව තුළ ඇති කිරීමේ වගකීම පැවරෙන්නේ පොලිසියටය. එහෙත් ඔවුන් ඒ වගකීම නිවැරැදිව ඉටු කළාද යන්න ප්‍රශ්නයකි.
වැදගත්ම කාරණය පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුමක් ඇවිළී යද්දී ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශීය මහජන නියෝජිතයන් කළේ කුමක්ද යන්නය. ඔවුන් මේ පාර්ශ්ව අතරට මැදිහත් වූයේ නම් මෙතරම් කලබැගෑනියක් කතරගම ඇති නොවන්නට බොහෝ දුරට ඉඩ තිබිණි.

මෙවැනි සිද්ධි නිසා පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර සිදුවන ගැටුම් අරුමයක් නොවේ. අතීතයේ මෙවැනි සිද්ධි ඕනෑ තරම් ඇතිවිය. එහෙත් ඒ කිසිවකින් පොලිසිය ඇතුළු බලධාරීන් පාඩම් ඉගෙන ගෙන නැත. ගැටලුව වන්නේ එකම දේ යළි යළි සිදුවුවද කිසිවකු කළ යුත්තේ කුමක්දැයි අවබෝධ කර නොගැනීමය. විචාර බුද්ධියත් තර්ක ඥානයත් නැති ඊනියා දේශපාලනඥයන් නායකත්වය දෙන සමාජයකින් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වීම කොහොඹ ගසින් සඳුන් මල් නෙළීමට යෑමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්