රට හදන තැන

  👤  3540 readers have read this article !
2018-01-24

සේවක අර්ථසාධක
අරමුදලින් කෝටි 850ක් වංචාකරුවන් විසින්
රැස් කිරීම වයිට්
කොලර් රොබරියක්

මහ බැංකු බැඳුම්කර හරහා සේවක අර්ථසාධක අරමුදලෙන් කෝටි 850කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වංචාකරුවන් විසින් එක්රැස් කිරීම වයිට් කොලර් මංකොල්ලය වැනි රොබරියක් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පැවැසීය.
පහළ ඉන්න මිනිසුන්ගේ මුදල් උඩ ඉන්නා උදවිය වංචා කර තිබෙනවා. අපේ රටේ මහජන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පළමු වන වතාවට ඉතාමත් විධිමත් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

දැන් තියෙන්නේ මෙම බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.
මේ වාර්තාව, මහ බැංකුවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, නීතිපතිට යවා තිබෙනවා. එම ආයතන පවතින්නේ මේ ආණ්ඩුව යටතේ.
එම දේශපාලකයන්ට දඬුවම් දීම සිදුවිය යුතුයි. අපි අහලා තියෙනවා හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඒ වගේම නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා ඔප්පු කරලා තියෙනවා.
මේ වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කෙරෙන ආකාරය අපි බලා සිටිනවා. මේ වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වෙලාවට අගමැති මේ සභාවේ ඉන්න ඕන. මේ අපරාධකරුවන් ඉස්සරහ මේ විවාදය පවත්වන්න ඕන.

සභානායක
මෙතුමා කියන දේවල් මේ වාර්තාවේ නැහැ. අපි විවාදයට සූදානම්. මේ වාර්තාව නීතිපතිට අල්ලස් කොමසාරිස්ට යවලා තියෙනවා. වෙන මොනවද කරන්න කියන්නේ?
කතානායක
විවාදයට සූදානම්. අපි හෙට කතාකරමු.

අනුර කුමාර දිසානායක
තවත් වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. හිටපු ජනාධිපති බලය අයුතු ලෙස භාවිත කරපු විදිය ඒ වාර්තාවේ තියෙන්නේ. රාජ්‍ය ආයතන තමන්ගේ දේපළ බවට පත් කරගෙන කටයුතු කරලා තියෙනවා. මේ වාර්තා පෙබරවාරි 10දාට පෙර සාකච්ඡාවට භාජන කළ යුතුයි.

කතානායක
අපි මේ ගැන හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී කතා කරමු.

ජනාධිපති කොමිෂන් සභා
වාර්තාව ගැන සාවද්‍ය මත
සමාජගත කිරීම සුදුසු නෑ

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සහ බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳවත් පරීක්ෂා කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජගත කිරීම සුදුසු නොවන බව කතානායක කරු ජයසූරිය ඊයේ (23දා) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
එම කොමිෂන් සභා වාර්තා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු කතානායකවරයා මෙසේද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 26ක්ද, බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ ඊට අදාළ වෙන් වෙන් වශයෙන් ගොනු කරන ලද පරීක්ෂණ වාර්තා 34 ක්ද, ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවන ලදී. එකී වාර්තාවල පිටපත් ගරු මන්ත්‍රිවරුන්ට ලබාදීමට හැකි වන පරිදි ඒවා තිබෙන භාෂාවෙන් මුද්‍රණය කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය මා විසින් පාර්ලිමේන්තුවට කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

එම වාර්තාවල පිටු ප්‍රමාණය අති විශාල වුවත් කෙසේ හෝ මහත් පරිශ්‍රමයක් දරා 2018 ජනවාරි මස 23 වැනි දින පාර්ලිමේන්තුවට එවීමට පොරොන්දු වූ පරිදි අද දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවේ සහ බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් මන්ත්‍රිවරුන්ට බෙදාදීමට හැකිවන ආකාරයට මුද්‍රණය කර සභාවේ විශේෂ අවසරය පරිදි තිබෙන භාෂාවෙන් පිළිගැන්වීමට කටයුතු යොදා තිබෙනවා.

බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ අවසාන වාර්තාවට අදාළ පරීක්ෂණ වාර්තා 34 පාර්ලිමේන්තුවේ විශේෂ අධීක්ෂණය යටතේ රජයේ මුද්‍රණාලයේදී ස්කෑන් කර එම වාර්තා සීඩී තැටියක අන්තර්ගත කර සියලුම ගරු මන්ත්‍රිවරුන්ට හැකි විගස ලබාදීමට කටයුතු කරමින් පවතින බවද දන්වා සිටිමි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබ½දව වාර්තාවේ වෙළුම් තුනක් තිබෙන බවටත්, සලකුණු කළ ලේඛන සහ සාක්ෂි පාර්ලිමේන්තුවට භාරදී නොමැති බවට කැෆේ ව්‍යාපාරය විසින් මාගෙන් ලිඛිතව විමසන ලදුව මාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මේ පිළිබඳ ලිඛිතව විමසන ලදී.


ඊට පිළිතුරු වශයෙන් එකී වාර්තාවට වෙළුම් නොමැති බවත්, සලකුණු කළ වාර්තා සහ සාක්ෂි පාර්ලිමේන්තුවට එවන ලද වාර්තාවේ අන්තර්ගත කර තිබෙන බවත් ජනාධිපති ලේකම්වරයා විසින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා එවා තිබෙන බවත් මෙම සභාවට දන්වා සිටිනවා.

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්නට ඒකාබද්ධ විපක්ෂයේ උපරිම සහාය

බැඳුම්කර හොරු වහාම අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් ලබාදීම සඳහා ජනාධිපතිතුමාට දිය හැකි උපරිම සහයෝගය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවැසීය.
අවභාවිතයට අනුබල දීම කියලා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඇප නැතිව හිරේ දැම්මා. ඒ නිසා මේ හොරු වහාම අල්ලලා දෙන්න පුළුවන් උපරිම දඬුවම ලබාදෙන්නැයිද මන්ත්‍රිවරයා කීවේය.
බැඳුම්කර හොරුන්ට දඬුවම් ලබාදීම සඳහා තමාට ශක්තිය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා තිබුණා යැයිද මන්ත්‍රිවරයා පැවැසීය.
මහ දවල් මහ බැංකුවේ ඇතිවූ මහා මුදල් මංකොල්ලය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවුණා. වාර්තාව තමන්ට ලැබුණු බව සමහරු කීවා. ඒ අනුව මේ වාර්තාවේ පිටු ගණන නිවැරදි බවට ඔබතුමාට සහතිකයක් දිය හැකිද?
කතානායක කරු ජයසූරිය
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මහ බැංකුවට හා නීතිපතිවරයාට පමණක් මේ වාර්තා ලබා දුන් බවත් මෙතෙක් කිසිවකුට දීලා නැති බවත් ජනාධිපති කාර්යාලය මට දන්වා තිබෙනවා.

මට සහතික දෙන්න බැහැ. ජනාධිපති කාර්යාලය කියූ දේ මට කියන්න පුළුවන්. මා ඒක විශ්වාස කරනවා.

විමර්ශන වාර්තාව සම්බන්ධයෙන්
ඕනෑම ආකාරයේ විවාදයකට
අපි සූදානම්

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව සහ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් ඕනෑම ආකාරයේ විවාදයකට අපි සූදානම්' යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවැසීය. බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වර්තාව සහ බරපතළ වංචා, දූෂණ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සභානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබීය. '2015 පෙබරවාරි 1 දින සිට 2016 මාර්තු 31 දින දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කොට කරුණු විමසා බලා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සභාවේ අවසරය ඇතිව ඉංග්‍රීසි භාෂාවෙන් සභාගත කරනවා.'
'ඒ වගේම බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාවේ විශේෂ අවසරය ඇතිව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරනවා' යැයි සභානායකවරයා පැවැසීය.
කතානායක කරු ජයසූරිය

බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සංයුක්ත තැටියක් ලෙස සියලුම මන්ත්‍රිවරුන් වෙත ලබාදීමට කටයුතු කරනවා.
එස්. ශ්‍රී තරන් (දෙ.ජා.ස.)
බැඳුම්කර වාර්තාවේ ද්‍රවිඩ භාෂාවෙන් වන පිටපත් අපට ලැබී නැහැ.
කතානායක
දෙමළ සහ සිංහල පිටපත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පරිවර්තනය කෙරෙමින් පවතිනවා. එම පිටපත් හැකි ඉක්මනින් මන්ත්‍රිවරුන්ට ලබා දෙනවා.'

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon