ඉන්ජෙක්ෂන් මාරපන

  👤  5667 readers have read this article !
2018-02-01

"රවි කරුණානායක මහත්තයා තමයි පසුගිය අවුරුදු දෙකේ තුනේ මේ රටේ හිටිය මුදල් ඇමැති. තමුන්නාන්සේලාම කියන්නකෝ ආර්ථිකේ කැඩුණද හැදුවද කියලා. පළමුවැනියට පටන් ගත්තේ ප්‍රාග්ධන බද්ද කියලා එකකින්. මන්දිර බද්ද කියලා එකක් ගැහුවා. ගහපු බද්දකුත් නැහැ. බොරුවට කයිවාරු ගහලා නිකන් හිටියා. අපිට හිටපු හොඳම ප්‍රබලම බිස්නස්කාරයෝ ටික ආණ්ඩුව තරහා කරගත්තා. ගෙනාවා වැට් බද්දක්. ඒකෙන් වුණේ කිසි දවසක පාරට බැස්සෙ නැති මිනිස්සු ඔක්කොම ටික පාරට බැහැපු එක. විස්සට තිබිච්ච ලොතරැයිය තිහ කෙරුවා. ඊට පස්සේ ඒකට කොමිස් එකක් දුන්නේ. මේ ලොතරැයියක් හින්දා අහිංසක දුප්පත් මිනිස්සු ටික පාරට බැස්සා.

දැන් මේ බොන්ඩ් කොමිෂන් එක ගැන එයා දන්නේ නැහැ. එයා බබා. එයා මුකුත් දන්නේ නැහැ. හරිම ෂෝක්. සාක්කිවල බොහොම පැහැදිලිව තියෙනවා මේ බැංකුවල ප්‍රධානීන් ගෙන්නලා මුදල් ඇමැති එක්ක වාඩි කරගත්තා කියලා. ඒ අයට කිව්වා අඩුවෙන් ඉල්ලන්න කියලා. අඩුවෙන් ඉල්ලන්න කිව්ව අය අඩුවෙන් ඉල්ලුවා. වෙන එක්කෙනෙක් වැඩියෙන් ඉල්ලුවා. වැඩියෙන් ඉල්ලපු කෙනාට දුන්නා. දැන් ඇවිත් කියනවා මම නිර්දෝෂීලු. කොහෙද නිර්දෝෂී. මේ රටේ කොමිෂන් සභාවකින් පැහැදිලිවම ඔප්පු කරලා තියෙනවා බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්ෂි දීම ගැන ඔහුට නඩු පවරන්න කියලා. එක්සත් ජාතික පක්ෂය ඉතා වැදගත් පක්ෂයක්. මේ එක මනුස්සයෙක් හින්දා මුළු එක්සත් ජාතික පක්ෂයම විනාශ වෙනවා කියලා මතක තියා ගන්න."

දයාසිරි ජයසේකර ඇමැතිවරයා පසුගියදා ප්‍රසිද්ධියේ කී කතාවකි මේ. කතාවේ ඇත්ත නැත්ත අප දන්නේ නැත. ඒත් යූඑන්පී එක ගැන කී කතාව නම් සහතික ඇත්තය. යූඑන්පියේ මුල පිරිසුදුය, වැදගත්ය. පක්ෂයේ මුල් කාලීන බලවතුන් වූ යූ.බී. වන්නිනායක, එම්.ඩී. බණ්ඩා සහ ෆොරෙස්ටර් ඔබේසේකර එයට හොඳ උදාහරණ තුනකි. එවකට මුදල් ඇමැති යූ.බී. වන්නිනායක මහ බැංකුවේ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔහුගේම පුතාට සහතිකයක් දීම ප්‍රතික්ෂේප කළේය. එම්.ඩී. බණ්ඩා ඔහුගේ මුළු ගමටම විදුලිය දෙනවා නම් පමණක් තම නිවෙසටද විදුලිය සපයන ලෙසත් නැතිනම් තම නිවෙසට පමණක් රජයේ මුදල් යෙදවිය නොයුතු බවටත් පැවැසීය. ඔබේසේකර ඔහුගේ සමීපතම ආධාරකරුගේ පුතාට චරිත සහතිකයක් දීම ප්‍රතික්ෂේප කළේය. ඒ නොදන්නා කෙනකුට චරිත සහතිකයක් දීම හෘදසාක්ෂියට පටහැනි යැයි කියාය.

පක්ෂ විනාශ කරන දූෂිතයන් බිහි වූයේ අද ඊයේ පමණක් නොව, ඊට උදාහරණ ඉතිහාසයේද තිබේ.
1959 සැප්තැම්බර් 11දා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය වීමට දින කිහිපයකට පෙර තම රජයේ දූෂණ චෝදනා සහිත මන්ත්‍රිවරුන් සහ කැබිනට් ඇමැතිවරු කිහිපදෙනකු ගැන පරීක්ෂණ ඇරඹීම සඳහා වහාම තල්ගොඩපිටිය කොමිසම පත්කරන ලෙස ජී.ජී. පොන්නම්බලම්ට උපදෙස් දුන්නේය. අවසන් කරන ලද පරීක්ෂණ වාර්තාව 1960 දෙසැම්බර් 16 වැනිදා එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතට පත් විණි. වැරදිකරුවන් අතර බණ්ඩාරනායක මහතාට ඉතාමත් පක්ෂපාතී ඇමැතිවරු දෙදෙනකු වන ඩී.බී. මොන්නෑකුලම සහ සී.ඒ.එස්. මරික්කාර් ද විය. මරික්කාර් එවකට තැපැල්, ගුවන්විදුලි හා ප්‍රවෘත්ති ඇමැතිය. කෙසේ නමුත් මේ වරදකරුවන් මැතිනියගේ උදහසට ලක් නොවීය. 1965 ඩඩ්ලිගේ ආණ්ඩුව වරදකරුවන්ගේ ප්‍රජා අයිතිය වසර 7කට අහිමි කළේය.

'77න් පසු ආ ජේ.ආර්.ගේ ආණ්ඩුව කාලේ රත්රන් ජාවාරමක් නිසා එවකට නියෝජ්‍ය අමැති අනුර ඩැනියෙල්ට පුටුව අහිමි විය. යූඑන්පිය ඔහුගේ සහෝදරිය එම ආසනයෙන්ම තරග කෙරෙව්වේය. ඇය ලොකු ඡන්ද ප්‍රතිශතයකින් ආසනය දින්නාය. ඒවායේ හැටි එහෙමය. ජේ.ආර්. යුගයේ ඇමැතිවරු බහුතරයකට බරපතළ දූෂණ චෝදනා එල්ල විය. ජේ.ආර්. නෑසූ කන් ඇතිව සිටියේය'.

ප්‍රේමදාස යුගයේද මේවා නොවූවා නොවේ. තමන්ට එරෙහිව කල්ලි ගැහෙන මැති-ඇමැතිවරු ගැන හොයන්න ප්‍රේමදාස වෙනම යුනිට් එකක් හැදුවේය. යුනිට් එක භාර වුණේ පොලිස් කොමසාරිස් ඒ.සී. ලෝරන්ස්ටය. පසුව ලෝරන්ස් මාෆියාව නමින් ප්‍රසිද්ධ වූයේ මෙයය. ලලිත්-ගාමිණී යුවළ ප්‍රේමදාසට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණය ප්‍රේමදාසගේ ඉවට අහුවෙන්න වැඩි කාලයක් ගත වූයේ නැත. වැඩේ ලෝරන්ස්ට භාර විය. ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු, ස්විස් බැංකු ගිණුම්, ගුවන් යානා මිලදී ගැනීම්, ආජන්ටිනා නැව්, මහවැලි වංචා... එකින් එක එළියට ආවේය. හැබැයි ගාමිණී-ලලිත්ට එරෙහි මේ චෝදනා එකක්වත් ඔප්පු කර ගැනීමට ප්‍රේමදාසට නොහැකි විය. කෙසේ නමුත් 1991 සැප්තැම්බර් 3 වැනිදා ලලිත්-ගාමිණී ඇතුළු 10 දෙනකු යූඑන්පියෙන් නෙරපුවෝය.

රවි කරුණානායක දේශපාලනයට අතපොත් තබන්නේ ලලිත් ගාවය. ඒ 1988-89 කාලයේදීය. පවුලේ හිතවතකු ලෙස ලලිත්ගේ පසුපස වැටී ව්‍යාපාර වැඩ ටිකත් බලාකියා ගත්තේය. 1991 ලලිත් යූඑන්පියෙන් නෙරපූ පසු පිහිටුවූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට එකතුවී සහාය දුන්නේය. 1993 අප්‍රේල් 23දා ලලිත් ඝාතනය විය. ලලිත්ගේ බිරිය ශ්‍රීමනී පෙරට ආවේය. ගාමිණී නැවත යූඑන්පියට එක් විය. ශ්‍රීමනීගේ ලලිත් පෙරමුණ චන්ද්‍රිකාගේ පොදු පෙරමුණට එකතු විය. 1994 මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර දෙකෙන් එකක් රවිට හිමි විය. රවිට දියවන්නාවට යන්න ටිකට් එක ඇදුණේ එසේය. 1996 චන්ද්‍රිකා ශ්‍රීමනීව කැබිනට් ඇමැතිකමින් නෙරපුවේය. නැව ගිලෙන්නට පෙර රවි යූඑන්පිය පැත්තට ඇහැ දැම්මේය. එය දැනගත් ශ්‍රීමනී රවිව ලලිත් පෙරමුණෙන් එළෙව්වේය. පසුව උසාවි නියෝගයකින් ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස මන්ත්‍රිකම රැකගත්තේය. 1999 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම රවි එජාපයට එක්විය.

2002 යූඑන්පී ආණ්ඩුවේ වෙළෙඳ හා වාණිජ ඇමැති ධුරය ලබා ගත්තේය. සතොස පැය 24 කරන්න ගිහින් නා ගත්තේය. යූඑන්පී ආණ්ඩුව 2004දී ඉවර විය. 2015 වෙනකන් රවි විපක්ෂයේ සිටියේය. 2015දී දින 100 ආණ්ඩුවේ මුදල් ඇමැතිකම ගත්තේය. රවි මුදල් ඇමැති වී වැඩි දවසක් යන්න කලින් මහ බැංකු බැඳුම්කර මහා කොල්ලය සිදුවිය. නා ගැනිල්ල නැවතත් පටන්ගත්තේය. ලංකාවේ පළමු බන්ධිත ගුදම ග්ලෝබ් පාක් ආයතනය සියතට ගත්තේය. හිත මිතුරන්ට වාහන ආනයන බදු සහන දෙන්න ගැසට් ගැසුවේය. 2002 සතොසට කළා වගේ ලොතරැයි මණ්ඩලයටත් අමුතු සෙල්ලම් දාන්න ගිහින් නා ගත්තේය. බේරගන්න බැරිම තැන මුදල් ඇමැතිකම රවිගෙන් ගැලෙව්වේය.

2017දී විදේශ කටයුතු ඇමැතිකම දුන්නේය. බැඳුම්කර කොල්ලය රිය සක මෙන් රවි පිටුපස කැරකුණේය. කොමිසමේදී ඇසූ ප්‍රශ්නවලට නිරුත්තර විය. ඇලෝසියස්ගෙන් ගෙයක් ගත්තා දැයි ඇසූ විට "දන්නේ නෑ" කීය. දන්නේම නැතිව විදේශ ඇමැතිකමෙනුත් ඉල්ලා අස්වෙන්නට සිදුවිය.
එජාපය කීවේ නායකයන් කොමිසටම කැඳවන තරමට නිදහසක් යහපාලන ආණ්ඩුව ලබා දුන් බවය. වැරදුණේ එතැනය. ඒ නිදහස දුන්නේ දූෂණයට-භීෂණයට එරෙහිවූ, වෙනසක් ඉල්ලපු, ජනවාරි 8 ජනවරම හදපු ජනතාවය.

රට්ටු කීවේ රවි රනිල්ගේ මිනිහා කියාය. රනිල් රවිව රකීවි කියාය. එජාප පසුපෙළ කීවේ රවි පක්ෂය කෑවා කියාය. යහපාලන ආණ්ඩුව ගේන්න දර දිය ඇද්ද ජනතාව කීවේ කලින් ආණ්ඩුවේ දූෂණ-වංචා ඇල්ලීම කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ දූෂණ-වංචා නවත්වන්න කියාය. මෛත්‍රිත් වැඩේ අතාරින පාටක් තිබුණේ නැත. ජාම බේරාගත යුතු විය. චෝදනා නැඟුණේ යූඑන්පී නායකයාට සහ උප නායකයාටය. රනිල්ට ගැලවෙන්න බැරි තරමටම ප්‍රශ්නය කුණු විය. කොළපාට යූඑන්පිය රවි නිසා කළුපාට විය. පිළිකාව ඔඩුදුවා හමාරය. රනිල්ට ප්‍රතිකාර මතක් වූයේ එවිටය. රනිල් රවිට 'මාරපන ඉන්ජෙක්ෂන්' එක ගැසුවේය. ඉන්ජෙක්ෂන් එක වැඩ කළේය. රවි යූඑන්පී උප නායක ධුරයෙන් සහ ජාතික තලයේ ක්‍රියාන්විතවලින් ඉවත් කරන්න තීරණය විය. පක්ෂය මහා විනාශයකින් බේරාගත්තා යැයි යූඑන්පීකාරයෝ සැනසුම් සුසුම් හෙලූහ. ඒ කොයි තරම් කාලයකටදැයි කියා නම් දන්නේ නැත. රනිල් ඉන්ජෙක්ෂන් එක ගහන්න ප්‍රමාද වුණා වැඩිය. කළු පිළිකා සෛල තවමත් එහෙමමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon