මෛත්‍රිද-රනිල්ද-මහින්දද?

  👤  4971 readers have read this article !
2018-02-09

යාපනය එල්ටීටීඊයෙන් මුදා ගන්න අවසන් ප්‍රහාරය ලෙස යොදා ගත්තේ මල්ටිබැරල් අවිය ය. විනාශවීම් රැසක් හා අහිමිවීම් රැසක් සමඟ ලබාගත් ජයග්‍රහණයට එදා වැර යෙදූ හැටි සමහරුන්ට දැන් මතක නැත.

ඒ තරමටම 'දේශපාලනමය වාග් ප්‍රහාර' මෙවර මැතිවරණ සටන් වේදිකාවලදී හතර අතට එල්ල වූ අයුරු ඔබට මතකය. මේ සඳහා යොදා ගත් අවිය නම් කළ හැක්කේ ලංකාවේම නිෂ්පාදිත 'බැඳුම්කරය' නම් මල්ටිබැරල් අවිය ය.

මෙම ප්‍රහාරයේ වේගවත්ම සටන්කරුවා සේම තමන් අත රැඳි සියලුම අවිවලින් දමා ගැසුවා වූ ශ්‍රීලනිප කණ්ඩායමේ නායකයා වූයේ මෛත්‍රිය. ඔහු රනිල්ටත්, මහින්දටත් ලවක් දෙවක් නැතිව ඇතිවෙන්න දුන්නේය. ඒ කොහොම දුන්නාදැයි කියතොත් නිදහස් උත්සවය දා රනිල්ටත් මෛත්‍රිටත් සුපුරුදු සිනහ මුහුණින් අතට අතදී හෝ දෑත් එක්කොට ආචාර කරගැනීමට පවා අපහසු වන අන්දමට තත්ත්වය දැනුණේය. වෙනසක් තිබුණේය.
එනපොට හොඳ නැතැයි සිතූ කතානායක කරූ මෛත්‍රිගේ සියලු ප්‍රහාරක ස්ථාවරයන් කළමනාකරණය කෙරුණු පැජට් පාරේ නිල නිවෙසේදීම විනාඩි 45කට හෝ සීමා වූ හමුවක් සංවිධානය කරමින් රනිල්-මෛත්‍රි කතාබහක් සඳහා ඉඩහසර සපයා දුන්නේය.

මේ වන විට නොනිල වශයෙන් මෛත්‍රි හා රනිල්ගේ පාර්ශ්වයන් අතර සටන් විරාමයක් පැවතිය මුත් මෛත්‍රි ඒ හැම අමතක කරමින් වාග් ප්‍රහාර එල්ල කළේය. රනිල් මෛත්‍රි විසින් එල්ල කළ හැම ප්‍රහාරයෙන්ම ගැලවී ආරක්ෂිත ස්ථාන කරා පිය මැන්නේය. ඔහුගේ සටන් සගයෝද මේ ප්‍රහාර හමුවේ තක්කු මුක්කු වී සිටියෝය. ඉඳහිට අනුර කුමාරලාගේ සේනාංකයෙන් සුළු අවි ප්‍රහාරයක් මෙන්ම ඒ අතරේ 'බැඳුම්කර' අවියෙන් කාලතුවක්කු ප්‍රහාරද එල්ල කෙරුණේ රනිල්ටමය. එය සැවින්ම ප්‍රහාර සියල්ලෙන්ම ගැලවෙන්නට මඟක් සොයනවා ඇරෙන්නට බර අවි ප්‍රහාරයක් කරන්න බැරි තරමටම රනිල් අසරණ කෙරෙන්නක්ම විය.
පැජට් පාරේ මෛත්‍රිගේ නිවහනේ එදා තේ කෝප්පයක රස බලන අතරේ බර අවි ප්‍රහාරයෙන් හොඳහැටි තුවාල කරගත් රනිල් හෙමිහිට මෛත්‍රිට කියූවක් නිසා මෛත්‍රිටද සිතන්නට යමක් ඉතිරි කෙරුණේය.

"ඔයාගෙ මල්ටි බැරල් ප්‍රහාරය නිසා සටන් විරාමය කැඩුණා. ඔයා බනින්න බනින්න මගේ රැස්වීම්වලට යූ.එන්.පි.යේ නිදාගෙන හිටපු ඡන්ද දායකයොත් ඇදුණා"
මෙම තීරයෙන් අප කිහිප විටක්ම දැක්වූ පරිදි ජනාධිපති මෛත්‍රිගේ කේවට්ටයන්ගේ අමන උපදෙස් නිසාදෝ මෛත්‍රි උභතෝකෝටිකයක් මැද තව තවත් අසරණ කෙරෙන ක්‍රියාදාමයන් සක්‍රිය වී තිබෙනු තවමත් දකින්නට ඇත.

"ඇත්තටම මෛත්‍රි අත දිග ඇරලා අපේ නායකතුමාට දෙන්න ගත්ත නිසාම ගෙදර නිදාගෙන උන්නු යූ.ඇන්.පී. කාරයොත් ඒ කතා අහලා ලේ කෝප වෙලා නායකතුමා යන හැම රැස්වීමකටම ඇදුණා. වෙනදාට වඩා සෙනඟක් දකින්න ලැබුණා" මෙසේ කියන තරමට යූඑන්පියට හද බැඳගත් ඇත්තෝ තැන තැන කතා බහ කරන්න ගත්තේ නිකමටම නොවේ.
මෛත්‍රිගේ දැඩි ප්‍රහාරක ස්ථාවරය නිසා කුල්මත් වූවන් කියන්නේ වෙනමම කතාවකි.

"අපේ මෛත්‍රි ජනාධිපතිතුමාට රනිල්ට උත්තර නොදී, පහර නොදී වෙන කරන්න දෙයක් නෑනේ. ආණ්ඩුව සම්මුතිවාදීව රට ගෙනියන්න බැරි වුණෙත් මේ බැඳුම්කර මගඩිය නිසානේ. ඒක එහෙම වුණේ රනිල් ගත්ත තීන්දු නිසානේ. ඉතින් ඒ වැරැද්ද රට ඉදිරියේ තියෙනකොට යූඑන්පියටත් නායකයාටත් රිදෙනවා. මෛත්‍රි එහෙම නොකළා නම් එයත් මේ මගඩියට උදවු දුන්නා වෙනවා.

ඒ නිසා මෛත්‍රිට කරන්න දෙයක් නෑ.
ශ්‍රීලනිපයේ මෛත්‍රිට හිතවත් ඡන්ද දායකයන්ට එහෙම හිතන්නට අයිතියක් ඇත.
"වරදක් වුණා නම් ඒක හොයන එක වරදක් නොවෙයි. එහෙත් මෛත්‍රිත්, එයාගෙ ගෝලයොත් ලෑස්තිවෙලා වුවමනාවෙන්ම යූඑන්පියට බැටේ දෙන්න බලාගෙන ඕනෑවටත් වඩා අනුකම්පාවක් නැතිව පහර දුන්නා. අන්තිමට යූඑන්පී වැඩි ඡන්ද නිසා ජනාධිපති වුණ කෙනාගෙ අතින්ම බැට කන්නත් සිද්ධ වුණා. ඒ නිසා මෛත්‍රිට ඕනෑ කරන යහපාලනය මොකක්ද කියලා දැන් දැන් තේරෙනවාය.

ඒ නිසා රැකෙම්වා මියෙම්වාය කියා කවුරු කවුරුත් දේශපාලන පොර පිටියේ මල්ටිබැරල්වලින්ම ගහලා දිනන්න යුහුසුලු වූවා සේ විය.
මෛත්‍රි වතුකරයට ගිහින් ආරුමුගම් තොණ්ඩමාන්ගේ ඡන්ද දායකයන්ට ආමන්ත්‍රණය කළේ වතුකරයේද ජාවාරම්කාරයන් සිටින නිසා ඉන් වතු ජනතාව මුදා ගන්නා බවට වූ කතා කියමිනි.

"ජාවාරම්කරුවන්ගෙන් තේ කර්මාන්තය බේරාගෙන වතුකරය දියුණු කරනවා. අපි මුළු රටම දිනනවා"
මෛත්‍රිපාල සිරිසේන 2018-01-28 තලවාකැලේදී හීනියට වගේ එසේ කියූ මෛත්‍රි හෙට්ටිපොළදී යළිත් වාග් ප්‍රහාරය ඇරැඹුවේය.
"මම ජනපති පුටුවෙන් යන්නේ රටේ හොරකමත්, දූෂණයත් මුළුමනින්ම නතර කරලා. එදා එපා කිව්වත් රනිල් ඇහුවේ නෑ. මහ බැංකුවට මහේන්ද්‍රන්, මුදල් ඇමැතිකමට රවි දැම්මෙ එයා. කිව්ව දේ ඇහුවා නම් මෙහෙම වෙන්නේ නෑ"

මෛත්‍රිපාල සිරිසේන (2018-01-05 හෙට්ටිපොළදී)
රනිල්ට නමින්ම අමතමින් මල්ටි බැරල් ප්‍රහාරය එල්ල කළ මෛත්‍රි නිදහස් දිනය දා නම් මඳක් සැර බාල කර කීවේය. එහිදී ඔහු කීවේ 'දූෂණයට හොරකමට එරෙහිව මූල්‍ය විනයක් ඇතිකිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක් ඕනෑ'ය කියලාය. මේ අනුව බලන කල මෛත්‍රි ජනාධිපති පුටුවෙන් බැහැලා යන්නේ හොරකමත්, දූෂණයත් නතර කළ දාටය. එය කවදා නතර වේදැයි කාටවත්ම කියන්නට බැරි ය කියා සිතෙන නිසා 'මෛත්‍රි දිගටම ජනාධිපති වෙලා ඉඳීවි' ය කියලා කාට වුවත් සිතන්නට ඉඩ ලැබෙන්නේය.
මෛත්‍රිගේ කතා හොඳින් කළමනාකරණය කරගෙන මහින්ද ඊට එරෙහිව මල්ටි බැරල් ප්‍රහාර එල්ලා කළේ මෛත්‍රිටත් වඩා එහා යමින්ය. එය උපහාසාත්මක ස්වරූපයේද විය.
"මෛත්‍රි මේ කාලේ හැසිරෙන හැටි දැක්කාම මට එයා ගැන බයක් හිතෙනවා. යුද්ධ කළේ ඔහු බව මෛත්‍රි කියනවා. යුද්ධ කාලෙ ඔහු දුටුගැමුණු රජතුමාට හිටපු දසමහ යෝධයන්ගෙන් කෙනෙක් විදියටලු වැඩ කළේ. ඒත් එයාට එකක් අමතකයි. ඒ දස මහ යෝධයන්ගෙන් කවුරුවත් ආප්ප කාලා නම් එළාර ගාවට ගියේ නෑ"

මහින්ද රාජපක්ෂ
2018-02-02 මාතරදී
මෛත්‍රිට එසේ ප්‍රහාර එල්ල කරන්නට පෙර මහින්ද පෙර දිනෙක ගල්කිස්සේදීද මෙවැනිම මල්ටිබැරල් ප්‍රහාරයක් එල්ල කළේය.
"පොල් සීයයි, හාල් සීයයි, හාල්මැස්සෙක් රුපියල් 8ටයි. මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්න කලින් ජනතාවගේ සිවිල් අයිතීනුත් නැති වේවි"
මහින්ද රාජපක්ෂ
(2018-01-28 ගල්කිස්සේදී)
ඒ මෛත්‍රිගෙත්, රනිල්ගෙත් ආණ්ඩු කෙරුවාව දක්වමිනි.
රනිල් මේ අතර බැඳුම්කර මගඩියෙන් එල්ලවූ බරපතළ චෝදනාවන්ගෙන් හානිවූ එජාපයේ කීර්තිය රැකගන්න අතීතයට ගමන් කරමින් ආකර්ෂණීය දැන්වීම් ප්‍රචාරයක් දියත් කර තිබුණේය. නිදහස වෙනුවෙන් පළ කළ රූපවාහිනි දැන්වීම එජාප පැරැන්නන්ගේ අතීත මතකය පුබුදුවන්නක් විය. නිදහසේ පියාවූ ඩී.එස්.ගේ පටන් ඩඩ්ලි, සර් ජෝන්, ජේ.ආර්. ප්‍රේමදාස, විජේතුංග වැනි නායකයන්ගේ රූපවලින් පිරුණේය.
එජාපය කියා තිබුණේ මෙසේය.

"එදා හිටපු අය රජයේ නිලධාරීන්ව ගස් බැඳලා අගවිනිසුරු ගෙදර යැව්වා. අද... අපි ගමේ වැඩ කරන රජයේ නිලධාරීන්ට නිදහසේ ගමක සේවය කරන්න ඉඩ සැලැසුවා. "ගම හදන ආණ්ඩුව" යි කියා ඇමැතුමක් තිබිණි.
මහින්දත් ප්‍රචාරක සටනට අවතීර්ණ වී ඇත්තේ 'දෙන්නම් අපිත් ඕවට උත්තරය' කියා කියන්නාක් මෙනි. ඔවුන් මෙසේ කියා තිබිණි.
"රටේ මහ බැංකුව හොරා කෑවා. පාලනය දූෂිත කළා. ආරක්ෂාව නැති කළා. වෛරයෙන්, ද්වේෂයෙන් මනුස්සකම් නැති කළා. හම්බන්තොට වරාය ඇතුළු රටේ සම්පත් වික්කා. රටට කුඩු බෝ කළා. රට කාපු ආණ්ඩුවට ගම කන්න ඉඩ නොදෙමු"
මේ ආමන්ත්‍රණය මෛත්‍රි වටා සහ රනිල් වටා සිටින්නවුන් ඉලක්ක කරගෙන මහින්ද එල්ල කළේ වුව ඒ තුළ වූ ඇතැම් කරුණු මහින්දගේ කාලයටද ගැළපුණේ යැයිද ප්‍රකාශ විය.
මෛත්‍රිගේ ප්‍රචාරක මෙහෙයුමේද මුළු වැර යොදා වාග් ප්‍රහාර එල්ල කිරීම හා ඉලක්කගත කිරීම රනිල්ටම විය. මේ මෛත්‍රි මෙහෙයුමේ ප්‍රචාරණය ය.
"බඩු මිල වැඩි කරන, කොමිස් කාක්කන් පන්නා දමන, ජනපති මෙහෙයුමට ඔබත් එක්වන්න. මහජන දේපළ කොල්ලකන හොර නඩය පන්නා දැමීමේ ජනපති මෙහෙයුමට ඔබත් එක්වන්න" කියලාය.

මෙහිදී මෛත්‍රි තමන්ගේම ආණ්ඩුවේ සහචරයන්ගෙන් රට බේරාගන්න කතාවක් කියන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ පමණක් මෙසේ කියා තිබිණි.
ඒ "ගම ගොඩනඟන්න, දූෂණය පරදන්න", කියලාය.
කෙසේ වෙතත් මෙවර පළාත් පාලන ඡන්දයේදී ගමට වැඩක් කරගත හැකි නායකයෙක් තෝරා ගන්නා අපේක්ෂාවනට එහා යමින් 'බැඳුම්කරය' හා 'හොරු ඇල්ලීමේ නාටකය' බහුලව රඟ දක්වනු ලැබිණි.
මෛත්‍රිගේ වාග් ප්‍රහාරයෙන් යූඑන්පියේ නායකයා අසරණ වුණේය. මෛත්‍රි පමණක් නොව මහින්දද ඔහුගේ සහචරයන්ද එකතුව රනිල්ටත් ඔහුගේ පිලටත් ඇති වෙන්න දමා ගැසුවේය. රනිල්ට මහින්දගේ වැඩ ගැන සිහිකර කතා කරන්නට පුළුවන් වූවාට තමන් හා තම පක්ෂය දර දිය ඇද පත් කර ගත් ජනාධිපතිට එරෙහිව දරුණු වාග් ප්‍රහාර එල්ල කරන්නට බැරි තරම් විය. මේ පොදු සාධකයේදී රනිල්ට මෛත්‍රිගෙනුත් මහින්දගෙනුත් පහර පිට පහර වැදීම නිසා,

"අපේ නායකයාට, අපේ පක්ෂයට ගහන අය පන්නා දාන්න ඕන. මෙදා පොටේ කරලම පෙන්නන්න ඕන" ය කියා එජාප ඡන්ද දායකයන් කියන්නේ නිකමට නොවේ.
රනිල්ටත්, මහින්දටත් පහරදීමෙන් මෛත්‍රි කොයිතරම් 'දූෂණ විරෝධී ඡන්ද' ප්‍රමාණයක් අත් කරගන්නවාදැයි යමෙකුට තක්සේරු කරන්නට පුළුවන. එය මේ මැතිවරණයේදී කොයිතරම් දුරට මෛත්‍රිට ප්‍රයෝජනවත් වීදැයි දැනගන්නට හැකි වන්නේ හෙට දිනයේදී ලැබෙන ඡන්ද අනුවය.
කෙසේ වුවද රටේ ප්‍රශ්න පසුගිය කාලයේ මොහොතකට අමතකව ගියා සේ විය. තමන් වෙනුවෙන් ගමේ වැඩක් කරගන්නට සුදුසු 'හොඳම ගමේ නායකයා' තෝරා ගන්නවාට වඩා ජාතික දේශපාලන මාතෘකා ඉදිරියට විත් කුඩා ඡන්ද රැස්වීම්වලදීද කතා කෙරුණේ ජාතික කතාය.

ජන බලය කා වෙනුවෙන් වැඩිපුර ඒකරාශි වූයේදැයි මේ කවුරු කවුරුත් වෙනුවෙන් තව දින දෙක තුනකින් වැටෙන ඡන්ද අනුව තීරණය වනු ඇත. එය මේ තිදෙනාගේම දේශපාලන අනාගතයද තීරණය කරන ඡන්දයක් වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්