රෝමයට ගිය පළමු ලංකා දූත පිරිස

  👤  3872 readers have read this article !
2018-02-11

ක්‍රි.ව. 45දී ශ්‍රී ලංකාවෙන් රෝමයට ගිය සිවු දෙනකුගෙන් යුතු රාජ්‍යතාන්ත්‍රික දූත පිරිස පිළිබඳව මෙරට ඉතිහාසය කරුණු දක්වන්නේ නැත. එය ඉතිහාසඥයන්ට අමතක වූ සංසිද්ධියකි. අපිට මේ සම්බන්ධව තොරතුරු ලැබන්නේ රෝමයේ විසූ අග්‍රගණ්‍ය ඉතිහාසඥයකු වූ ප්ලීනිිගේ ලේඛන ඇසුරිණි.

රෝමයේ ක්ලොසියස් අධිරාජයාගේ සමයේ මෙම නියෝජිත පිරිස රෝමයට පැමිණ තිබේ. ශ්‍රී මත් එමර්සන් ටෙනන්ට් දක්වන ලද නිගමනයන්ට අනුව ක්‍රි.ව. 44 - 52 චන්ද්‍රමුඛසිව රජුගේ පාලන කාලයේ මෙම නියෝජිතයන් රෝමයට යවා තිබේ. මෙම දූත පිරිසේ සිවුදෙනා සමඟ සංවාදයේ යෙදෙමින් තමා සොයාගත් කරුණු

ප්ලීනි විසින් පරිච්ඡේද කිහිපයක් ලියා ඇත.
චන්ද්‍රමුඛසිව රජු නියෝජිත පිරිසක් රෝමයට පිටත්කර යවන්නට හේතු වූ කාරණාද ප්ලීනිිගේ ග්‍රන්ථ තුළ විස්තර කර ඇත. මෝසම් සුළඟට හසුවූ රෝමානු නෞකාවක් ලංකාවේ 'හිපෝරස්' නමින් හඳුන්වන වෙරළට ගොඩ ගසා ඇත. මෙම ස්ථානය පුත්තලම හා මන්නාරම අතර වන්නට ඇතැයි ඉතිහාසඥයෝ පෙන්වා දෙති. මෙහි සිටි නාවිකයන් රජුගේ නිලධාරීන් විසින් රජු හමුවට පමුණුවන ලද අතර රජු ඔවුන්ට මහත් ආගන්තුක සත්කාර ලබාදී තිබේ. නැවේ කපිතාන් ඇෆ්තියස් ප්ලෝ නමැත්තෙකි.
මේ පිරිස හා කරනු ලැබූ සංවාදයන්හිදී රජු රෝමය පිළිබඳ බොහෝ විස්තර දැන ගත්තේය. ජුලියස් සීසර් අධිරාජයා ගැන රෝමානු නීතිය, රාජ්‍ය
පරිපාලනය, රෝම කාසි, අපරදිග ලෝකය මේ පිළිබඳව විස්තර ඇසූ චන්ද්‍රමුඛ සිව රජු රෝමයට දූත පිරිසක් යවන්නට තීරණය කර තිබේ. ඒ අනුව තානාපතිවරු සිවුදෙනා රෝමය බලා පිටත්ව ගොස් ඇත.

ප්ලීනිි වෙළුම් 37කින් යුක්තව ලියා තිබෙන ඉතිහාස පොත් පෙළේ 6 වැනි ග්‍රන්ථයේ ලංකාව පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත්ව තිබේ. එය විදේශීය ලේඛකයකු ලංකාව පිළිබඳව තබන ලද පැරැණිම සටහන වන්නේය. ප්ලීනිිගේ සටහන් ආරම්භ වන්නේ මෙසේය.

"අතීතයේ ජීවත් වූ මිනිස්සු තැප්‍රෝබේනය (ලංකාව) දෙවැනි ලෝකයත් වශයෙන් විශ්වාස කළෝය. එය පෘථිවියට ප්‍රතිවිරුද්ධ දිශාවක පිහිටි ඇන්ටික්තෝස්ගේ ලෝකය වශයෙන් හැඳින්වූහ. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ හමුදා පෙරදිගට පැමිණීමත් සමඟ ඔහුගේ නාවික හමුදාවේ අද්මිරාල්වරයකු වූ ඔනිසික්‍රමස් තැප්‍රෝබේනය දිවයිනක් බව ලෝකයට හෙළි කළේය. අප මේ මනරම් දූපත ගැන සත්‍ය කරුණු දැන ඉගෙන ගත්තේ ක්ලොඩියාස් සීසර් අධිරාජයාගේ කාලයේ රෝමයට පැමිණි දූත පිරිසෙන්" යයි ප්ලීනිි සඳහන් කර ඇත.

ප්ලීනිි ලංකාව ගැන සඳහන් කරන්නේ මෙසේය.
'මේ දූපත ගම්මාන පන්සියයකින් සමන්විතය. රජ මාලිගය පිහිටියේ පැලැසිබුන්ඩම් නම් නගරයේය. අති රමණීය වූ පාරාදීසයක් දකුණු වෙරළේ තිබේ. කොරල්පරද, මුතු බෙල්ලන්ද ඇති අතර දිවයිනේ පොළව මහාර්ඝ මැණික් වර්ගවලින් යුතුය. චීනය සමඟ සිදු කෙරෙන වෙළෙ¼දාම් කටයුතු ගැනත් වැද්දන් සමඟ භාණ්ඩ හුවමාරු කරගන්නා අන්දම ගැනත් විස්තර කර තිබේ.

මහජනතාවගේ අභිමතය අනුව රජු තෝරා පත්කර ගන්නා බවද ප්ලීනිි සඳහන් කරයි. බහුතර පිරිසකගේ හඬට විරුද්ධව කිසිදු අපරාධකරුවකුට මරණ දඬුවම පැමිණවිය නොහැකිය. මරණ දණ්ඩනයට යටත් කළ තැනැත්තා මහජනතාව හමුවට ඉදිරිපත් කළ යුතුය. ස්වභාවධර්මය විසින් අප ජීවත්වන ලෝකයෙන් ඉතා දුරස්ථව නිර්මාණය කර ඇති 'තැප්‍රෝබේනය' අප අතර මෙන්ම අසම්පූර්ණකම්වලින් හා පවිටුකම්වලින් යුතුය.

මෙම දූත පිරිස ලතින් හෝ ග්‍රීක භාෂාව කතා කරන්නන් නොවෙති. ඔවුන්ගේ කතා අතිශයෝක්තියෙන් පිරුණු බවද ප්ලීනිි සඳහන් කරයි. එහෙත් ක්‍රි. වර්ෂ ආරම්භය වන විටත් ලංකාව අන්තර් ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක්ව පැවැති බව රහසක් නොවේ. මන්නාරම ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් හමු වී ඇති රෝම කාසි එය සනාථ කරන්නේය.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon