කබල් ජීප් රියක දහස්වරක් රජරටට ගිය උඩු රැවුල්කාරයා

  👤  4512 readers have read this article !
2018-02-11

මෙම ඡායාරූපය 1947දී උතුරු මැද පළාතේ මින්නේරියේදී ගන්නා ලද්දකි. මෙහි දැක්වෙන්නේ ඛ්ඡ් 6607 දරන ජීප් රථයයි. එය වමෙන් පදවන්නකි. රථයේ රියැදුරා එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධනය. සුදු පැහැති ජාතික ඇඳුමෙන් සැරසී සිටින ඔහු ස්ටීරියන් වීලය අල්ලාගෙන සිටින බව පැහැදිලිව පෙනේ. දකුණු පස අසුනේ සිටින්නේ ඩී.ඇස්. සේනානායක මහතාය. ඩී.ඇස්. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයාය. පසුපස අසුනේ කාන්තාවන් දෙදෙනකු හා තවත් අයකු සිටිති.

ජීප් රථය වටා යුරෝපීය ඇඳුමින් සැරසී තොප්පි පැලඳ සිටින පිරිස වාරිමාර්ග වැඩබිම්වල සේවය කරන ඉන්ජිනේරුවන් හා රාජ්‍ය නිලධාරීන් විය හැකිය. මෙම ඡායාරූපය අපට අදින් වසර 70කින් ඔබ්බට හිතන්නට බොහෝ කරුණු මතු කර දෙන්නේය.

බි්‍රතාන්‍ය පාලනය යටතේ ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ වන්නේ 40 දශකයේ ප්‍රථම අවුරුදුවලය. එකල උතුරු මැද, නැඟෙනහිර පළාත්වල ඉතා අඩු ජනගහනයක් ජීවත් වූ අතර මහාමාර්ග තිබුණේද ඉතා සීමිත සංඛ්‍යාවකි. රජරට බොහෝ වාරි මාර්ග වල් බිහි වී තිබූ අතර පුරාණ වාරි ශිෂ්ටාචාරයේ වනයෙන් වැසුණු අඳුරු සෙවණැලි පමණක් දැකිය හැකි විය. ඒ සඳහාද සැතපුම් සිය ගණන් සහ වනාන්තරවල පා ගමනින් ඇවිද යා යුතු වූයේය. උදාහරණයක් දක්වතොත් අම්පාර, පොළොන්නරුව පවා පිදුරු සෙවිලි කළ කඩ කිහිපයක් සහිත කුඩා කඩමණ්ඩි පමණක් වූයේය.

පුරාණ ජල ශිෂ්ටාචාරයට යළි පණ දී වියළි කලාපය ගිලගෙන පැවැති මැලේරියා වසංගතය පලවා හැර කෘෂි ආර්ථිකය නංවා සහලින් ස්වයංපෝෂිත කිරීම සිහිනයක්ම විය. ඒ සිහිනය දුටුවේ ජීප් රියේ දකුණපස අසුනේ අත්කොට කමිසයක් හා කලිසමක් හැඳ සිටින එතෙක් මෙතෙක් ලංකාවේ ප්‍රාණවත්ම උඩු රැවුලට හිමිකම් කියූ දැවැන්ත මිනිසාය. වියළි කලාපයේ ඉසිලිය නොහැකි තරම් කාෂ්ටක අව් රශ්මිය මැද ඔවුන් ගමන් කරන ජීප්රියට අඩුම තරමින් වහලය හෝ නැත. නිලධාරීහු තොප්පි දමා සිටිති.
දෙවැනි ලේක යුද්ධය සමයේ රුපියල් 2.50 තිබූ වී බුසල රුපියල් 6.00 දක්වා ඉහළ යද්දී කොළඹ මිනිස්සුන්ට රටින් ගෙන්වන බජිරි කන්නට සිදුවිය. ඩී.ඇස්. සේනානායක ඒ- ෆෝටි (ඒභඵඪබඩ - 40) කුඩා කාර් එකක මසකට හතර පස් වරක් ඉඟිනියාගලට, මින්නේරියට, මැදිරිගිරියට, වන්නියට ගියේය. එකල හරි හමන් පාරවල් නොවීය. වළ ගොඩැලි සහිත මාවත් දුහුවිල්ලෙන් පිරුණු අතර ඒවා ඝන වනාන්තර මැදින් වැටී තිබිණි. ඩී.ඇස්.ලා ගමන් කළ වාහනවලට වායු සමීකරණ තිබුණේද නැත. ඔවුන් පපුවට හුස්ම පිඹ දාහය නිවාගත්හ. වාහනවල දුනු (ඉනපඪදඨ) මිස අඩුම තරමින් ෂොක් ඇබ්සෝබර් (ඉඩධජඬ ඒඡඵධපඡඥප) වත් තිබුණේ නැත. රියැදුරා මිස ආරක්ෂකයෝද නොවීය. නමුත් එදා දේශපාලනඥයෝ තම සේවය වෙනුවෙන් කැපවූහ.

වර්තමානයේ එක් ඇමැතියෙක් කියා තිබුණේ කාපට් පාරේ බදුලු යන්නට ප්‍රාඩෝ රථය නොසුදුසු බවය. එයින් තම ග්‍රයිවි කශේරුකාවේ ඇට ගෙවෙන බවය. අන්තිමේදී ඇමැතිවරුන්ට රුපියල් කෝටි 400 වටිනා වාහනය බැගින් ගෙන්වීමට පාර්ලිමේන්තුව මුදල් අනුමත කළේය. ඔවුන් පෙනී සිටින්නේද මහජන සේවකයන් ලෙසිනි.
ඩී.ඇස්.ලා ජනපද ව්‍යාපාරය ආරම්භ කරන විට වමේ ව්‍යාපාරයේ සම සමාජ කොමියුනිස්ට් පක්ෂ ඊට විරුද්ධ විය. අලි වැනි මදුරුවන් ඉන්නවා යන්න එපා යැයි ඔවුහු කෑගල්ලේ රුවන්වැල්ලේ මිනිසුන්ට කීවෝය. සුද්දන්ගේ කීමට මිනිසුන් මරනවා යැයි චෝදනා කළෝය.

බොහෝ ජනපද ව්‍යාපාරවලට මිනිසුන් ගියේ පෙරැත්ත කිරීම් නිසාය. කැමැත්තෙන් නොවේ.
ඩී.ඇස්. සේනානායක 1948 අගමැති වන විට ඉංග්‍රීසි ආණ්ඩුව වියළි කලාපයේ මහපොළොව මැන බොහෝදුරට අවසන් කර තිබිණි. ත්‍රිකෝණ මිතික ස්ථාන ලකුණු කරන්නට කැලේ කපමින් ඉදිරිය ගිය සුදු මිනින්දෝරුවකු වූ බේ‍රා්හියර් හදිසියේ නෙත ගැටුණු අවුකන බුද්ධ ප්‍රතිමාවේ විස්මයෙන් ගල් ගැසුණේය. ඔහු සිය දින සටහන් පෙතෙහි ලියා තිබුණේ හිරු නොබසින අධිරාජ්‍යයේ මිනිසකු ලෙස තමන් තුළ තිබූ අභිමානය අවුකන ප්‍රතිමාව අභිමුඛයේ දිය වී ගිය බවය. තමා පිග්මි මිනිසකු තරම් කුඩා යැයි හැඟෙන්නට වූ බවද ඔහු ලිවීය.

එදා දේශපාලනඥයන් මහත් වූ කටුක දුක් පීඩා විඳ වගා දිගා කළ දේ සොරාකන වර්තමාන දේශපාලනඥයන් මේ ඡායාරූපය දැකිය යුතුය. කෝටි 450 ඩිස්කවරි, බී.එම්. ඩබ්ලිව්. වාහනයක ඉදිරිපස හා පසුපස ආරක්ෂක රථ දෙකක් නැතිව අඩුම තරමින් තම ඡන්ද කොට්ඨාසයට යන්නට බැරි තරම් වත්මන් දේශපාලනඥයන් හීනමාන රෝගයට ගොදුරුව සිටින බව ඔවුන් වටහා ගත යුතුය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon