පිල්මාරු අස්සේ මුදලට විකිණෙන මන්ත්‍රීවරු කව්ද?

  👤  4971 readers have read this article !
2018-02-11

ඕන ඕන විදියට තීන්දු ගන්න
ලෑස්ති වෙන්න එපා

70 වන ජාතික නිදහස් උත්සවය පැවැති පසුගිය 4 වනදා බි්‍රතාන්‍යයේ ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දෙමළ ඩයස්පෝරාවේ පිරිස් විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. එහිදී ඇතිවූ යම් සිදුවීමක් පාදක කර ගනිමින් ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ වැඩ තහනම් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් දී තිබිණි.

මේ පිළිබඳව පුවත්පත් වලත් සමාජ ජාල වෙබ් අඩවිවලත් ජාත්‍යන්තර මාධ්‍යයන්හිත් ආන්දෝලනාත්මක තොරතුරු පැතිර ගියේය. ජනාධිපති සිරිසේනගේ ඉතා සමීපතමයකු විසින් 7 වනදා උදෑසනම මේ පිළිබඳව ජනපති දැනුවත් කළේය. ඊට සවන්දුන් ජනාධිපතිවරයා දැඩි අසතුටට පත්වූ බව පෙනුණි. වහාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්ට දුරකතන ඇමතුම් ගත් ජනපති සිරිසේන සිදුවීමට අදාළ සියලු විස්තර දැන ගත්තේය. නිසි පරීක්ෂණයකින් තොරව අදාළ හමුදා නිලධරයා වැඩ තහනමට ලක් කිරීම ගැන තදින් ‍ෙදාස් පැවරීය.

"මින් ඉදිරියට කිසි දෙයක් හරියාකාරව සොයා නොබලා වුවමනා වුවමනා ආකාරයට තීන්දු ගන්න ලෑස්ති වෙන්න එපා. මට දැනුම් නොදී මගේ අනුදැනුමෙන් තොරව මෙවැනි තීරණ ගන්න එපා. ඒ නිලධාරියා නැවත සේවයේ පිහිටුවන්න දැන්ම කටයුතු කරන්න. සේවයේ පිහිටුවන ලියුම යවල මට කියන්න."
ඉන් අනතුරුව ජනපති නියෝග කළේ කෝ ඒ නිලධාරියා මට සම්බන්ධ කර දෙන්න කියාය. කාර්ය මණ්ඩලයේ නිලධාරීහු බෙහෙවින් කලබල වී බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ජනපතිට සම්බන්ධ කර දෙන්නට උත්සාහ කළද එම වෑයම අසාර්ථක විය. ඒ වන විට ලන්ඩන් නුවර වේලාව උදෑසන 3.00ට පමණ වූ බැවින් ඔවුන් නින්දේ පසුවන්නට ඇත. ජනපති එදිනට නියමිතව තිබූ දඹදෙණියේ ප්‍රචාරක රැලියට පිටත්ව ගියේය. දඹදෙණියේ මැතිවරණ රැලිය ඇමතීමෙන් පසු ජනාධිපති තේ බොන අතර නැවතත් බි්‍රගේඩියර්වරයා තමාට සම්බන්ධ කර දෙන ලෙස දැනුම් දුන්නේය. එවර බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධ කරගත හැකිවිය.

"ආ... බි්‍රගේඩියර් කොහොමද? ඔයාව නැවත සේවයේ පිහිටුවපු ලියුම ලැබුණද?"
"ඔව් සර් බොහොම ස්තුතියි ඔබතුමාගේ මැදිහත් වීමට"
"ඇත්තටම මොකක්ද ඔහේ වුණේ?" (බි්‍රගේඩියර්වරයා විසින් සිදුවීම ජනාධිපතිවරයාට විස්තර කළේය)
"හරි ඔයාගේ වරදක් තිබුණා නම් ඒ ගැන සොයා බලන විධිමත් ක්‍රමයක් තියෙන්න ඕන. වීඩියෝ එකක් බලලා සේවයෙන් අයින් කරන්න තීරණය ගන්න බෑ. වැඩ කරගෙන ඉන්න අවශ්‍යතාවක් වුණොත් මට කියන්න" ජනපති රිසිවරය තැබුවේය.

ජනපතිට එරෙහි කුමන්ත්‍රණ
ස්ථානය ජනාධිපති නිල නිවසයි. වේලාව රාත්‍රි 10.00 පසුවී තිබිණි. එදිනට නියමිත පළාත් මැතිවරණ කටයුතු නිමා කළ ශ්‍රී ලනිප ප්‍රබලයන් කිහිප දෙනකු ජනාධිපතිවරයා සමඟ සැහැල්ලු කතා බහක යෙදී සිටියේය. ඔවුන් අතර මහින්ද අමරවීර, සුසිල් ප්‍රේම්ජයන්ත, ලක්ෂ්මන් යාපා සහ තිලංග සුමතිපාලද විය..
අමරවීර මෙසේ කීවේය.
"සර්. මට හිතෙන්නෙ සර්ගෙ ජීවිතයට ලොකු තර්ජනයක් තියෙනවා. සර් පරෙස්සම් වෙන්න ඕන. මේ ඡන්දෙ දවස්වල විතරක් නොවෙයි. ජන්දෙන් පස්සෙත්. මම මෙහෙම කියන්නෙ මට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇති නිසයි."

"ඔය දූෂිතයන්ට වැදගත් සල්ලි විතරයි මිනිස්සුන්ට වටිනාකමක් නැහැ." තිලංග කීවේය.
"ඔබතුමා මේ පැත්තෙන් වංචා දූෂණවලට විරුද්ධව කතා කරනවා. දඬුවම් දෙනවා. හැම පැත්තෙම හොරු කලබල වෙලා. වාව ගන්න බැරුවයි ඔය කුමන්ත්‍රණය කරන්නේ"
සුසිල් ප්‍රේම්ජයන්ත කීය.
ජනපති ඊට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.
"මම දන්නවා ඔය කුමන්ත්‍රණ පිටුපස ඉන්නේ කවුද කියලා. පහුගිය දවසක බොරැල්ලෙ ගෙදරක ප්‍රභූ - චෞර සන්ධානය රැස්වෙලා කතා කරන්න ඇත්තේ ඕවා තමා. මම සී.අයි.ඩී. එක දැනුවත් කළා. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියා. මාව මරල දැම්මත් මම වංචාකාරයන්ට විරුද්ධව ගෙනියන වැඩ පිළිවෙළ නතර කරන්නේ නැහැ. බණ්ඩාරනායක මහත්තයාටත් කළේ ඔය ටිකමනේ. රට හදන්න හදපුවාම ඒ මනුස්සයව මරල දැම්මා."

ඡන්දෙන් පස්සෙ බොහෝ අය
පිල් මාරු කරාවි
සුපුරුදු ලෙස බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැඳුරට ආවේ රාජකාරී ඉටු කිරීමටය. දෙස් විදෙස් අමුත්තන් හමුවූ ඔහු අනතුරුව පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟද පිළිසඳරක යෙදිණ.
"අගමැතිතුමා ගිය ඡන්ද රැලිවලට වගේම අනිත් එජාප රැලිවලටත් විශාල ජනතා ප්‍රතිචාර ලැබුණා. එජාප ජය ගැන ගැටලුවක් නෑ" දයා ගමගේ කතාවට මුලපිරුවේය.
"මේ වගේ ඡන්දවලට මිනිස්සු ටිකක් අලසයි. සැලසුම් කළ විදියට කට්ටිය ඡන්ද පොළට යැවීමේ වගකීම ඉටුකිරීම අත්‍යවශයි" අගමැතිවරයා උපදෙස් දුන්නේය.
"තරගය තියෙන්නෙ පොහොට්ටුවයි ශ්‍රී ලනිපයයි අතරයි. තුන්වැනි තැනට වැටෙන කට්ටිය කවුරු වුණත් එතන දියවේවි. බොහෝ අය පිල් මාරු කරාවි සල්ලි වලට විකිණේවි" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"නිදහස් උත්සවය සමරන අතරේ හොරු ඇල්ලීමේ මෙහෙයුමකුත් ගියා. එදා හොරුන්ට නිදහස නැතිවුණා" වජිර අබේවර්ධන කීවේ සිනා මැදය."
"ඇලෝසියස්ල අල්ලන බවට පණිවිඩය ලැබිල තිබුණ. උදයංග ඩුබායිවලදී ඇල්ලුවා කියන පණිවිඩයයි එක පාරට ලැබුණේ" අගමැති කීය.
ඇලෝසියස්ල ඇල්ලුවෙ අගමැතිගෙ ඉල්ලීමටලු
"ඇලෝසියස්ල ඇල්ලුවේ ඇත්තටම බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුවම නොවෙයි. අගමැතිතුමා 2016දී නීතිපතිට ලියල මේ ගැන ක්‍රියා කරන්න ඉල්ලීමයි, මේ ගැන පැමිණිලි කරන ලෙස මහ බැංකු අධිපතිට දුන් උපදෙස් මත අධිපති දාපු පැමිණිල්ල අනුවයි අත්අඩංගුවට ගත්තේ. කොමිෂන් වාර්තාවත් මේකට හයියක් වුණා." ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහය අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.

"අර්ජුන මහේන්ද්‍රන්ටත් 15ට කලින් වාර්තා කරන්නැයි දන්වල තියෙනවා. සිංගප්පූරුවෙ ඉන්න ඔහුයි දැනට ඇමෙරිකාවෙ ඉන්න ගෝඨාභයයි ඒ රටවල පුරවැසියො නිසා ඒ රටවල අධිකරණවලින් තහනම් නියෝග ගන්න හදනවා කියලත් ප්‍රවෘත්ති පළ වුණා නේද" ගයන්ත කරුණාතිලක විමසීය.
"ඇලෝසියස් ගත්ත එකෙන් හිතපු තරම් ශ්‍රී ලනිපයට වාසි වුණාද කියලයි සමහරු ප්‍රශ්න කරන්නෙ. අර්ජුනලත් කොටු කළොත් දඩයමක් කියලා මිනිස්සු හිතන්න ඉඩ තියෙන්නෙ පරණ හොරුන්ට තාම නිදැල්ලෙ ඉන්න දීල තියෙන නිසයි. ගෝඨාභයට රට පනින්න ජනාධිපතිතුමා උපදෙස් දුන්න කියල බස්නාහිර මහ ඇමතිත් කිව්වනේ" බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි චමින්ද විජේසිරි කීවේය.

"ඒකාබද්ධ අයයි ශ්‍රී ලනිපයයි අතර ඩීල් එකක් නිසා පරණ හොරු රැකිල ඉන්නවා කියලත් මිනිස්සු අතර මතයක් තියෙනවා" චමින්ද විජේසිරි තවදුරටත් කීය.
"උදයංග ඇල්ලීම වටිනවා. එයා ගෙනාවොත් මිග් ගනුදෙනුවේ මහා දූෂණය හා ලසන්ත ඝාතනය ගැන වැදගත් තොරතුරු රැසක් එළිවේවි" පී. හැරිසන් කීය.
"උදයංග ලංකාවට ගේන එක ටිකක් ලොකු ක්‍රමවේදයකට කරන්න වෙන්නෙ කියල ආරංචියි. ඒත් ලංකාවෙන් යන අයට ඔහුගෙන් ප්‍රශ්න කරන්න ලැබේවි. රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් කළයුතුයි. වෙන නමක පාස්පෝට් එකකින් ඉන්නකොටයි ඔහු අල්ලල තියෙන්නේ. හොරු මොන පක්ෂයක වුණත් උපරිම වෙහෙස දරලා කොටු කරලා දඬුවම් දීම අත්‍යවශ්‍යයි. ජනතාව ඉන්නෙත් එතන" රන්ජන් රාමනායක ප්‍රහාරයක් එල්ල කළේය.

අර්ජුන ලංකාවට එන්න
කල් ඉල්ලන්න හදනවා
"ආරංචි විදියට අර්ජුන සිංගප්පූරු උසාවියකින් රැකවරණ ඉල්ලල නෑ. එයා නීතිඥයො මාර්ගයෙන් ලංකාවෙන් කල් ඉල්ලන්න යනව කියලත් ආරංචියි. පහුවෙලා හරි ඇවිත් ඔහුට ප්‍රශ්නයට මුහුණදෙන්න වෙනවා. චෝදනා නිසා රිමාන්ඩ් වෙන්නත් වේවි" නවීන් දිසානායක කීවේ නීති අංශවල මතය එළිදක්වමිනි.
"කසුන් පලිසේන පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීලට ලියුමක් ලියල අමුතු කතාවක් කියල තිබුණා. ඔවුන්ගෙ සමාගම් බැඳුම්කර මඟින් ලාභ ගත්තත් ඒ හරහා රජයටත් ලාභයක් මිසක් පාඩු වුණේ නැහැ කියලයි එයා විග්‍රහ කරන්නෙ. ඊ.පී.එෆ්. එකට බැඳුම්කර විකුණපු ගාණටම යළිත් මිලට ගන්න සූදානම් වගේ කතාවකුත් ඒකෙ කියලා තිබුණා. ඒත් දැන් තියෙන මිල අනුව රාජ්‍ය බැංකු ඒ ගාණට මිලට ගන්න සූදානම් නැති බවත් ආරංචියි" මන්ත්‍රි චමින්ද විජේසිරි කීය.

විවාදය නිසා අපතේ ගිය ලක්ෂ 50 අයකර ගන්නේ කාගෙන්ද?
"ඡන්දය අස්සේ බැඳුම්කරයි, දූෂණ වංචා කොමිෂන්වල පාර්ලිමේන්තු විවාදයක් 06දා තියල රටේ සල්ලි රු. ලක්ෂ 50ක් විතර අපතේ ගියා. අන්තිමට විවාදෙ ඉල්ලපු මහින්ද සමරසිංහත් ආවෙ නෑ. "ගයන්ත කරුණාතිලක කීවේ සිනා මැදය." මන්ත්‍රිවරු 15ක් විතරයි ආවේ" ඔහු කීය.
"එදා පාර්ලිමේන්තුවට වියදම් වෙච්ච සල්ලි ජනාධිපතිතුමායි මහින්ද සමරසිංහගෙනුයි ඉල්ලන්න ඕනෑ" එජාප නීති නිලධාරියෙක් කී විටද පිරිස කොක්හඬලා සිනාසෙන්නට විය.

මහින්දගේ ප්‍රජා අයිතිය
"දූෂණ වංචා කොමිසමේ නිර්දේශ අනුව මහින්ද රාජපක්ෂගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාවක් තිබුණත් ශ්‍රී ලනිපය ඒක ගේන්නෙ නෑ කියලා මහින්ද අමරවීර කිව්ව කතාව මොකක්ද?" දයා ගමගේ විමසීය.
"ව්‍යවස්ථාව අනුව එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් අගමැතිට විතරයි. එදා සිරිමාවෝ මැතිනියට අදාළ යෝජනාවක් ගෙනාවේ එවකට අගමැති ප්‍රේමදාසයි" එජාප නීති අංශ ප්‍රධානියෙක් විග්‍රහ කළේය.

"මේ ජනාධිපතිතුමා පත් කරපු කොමිෂන් වාර්තාවක් අනුවයි මේ නිර්දේශ ඇවිත් තියෙන්නේ. මේ යෝජනාව මුලින්ම කැබිනට් එක සම්මත කළ යුතුයි. ශ්‍රී ලනිපයට වඩා එජාප ඇමැතිවරු සංඛ්‍යාව වැඩි නිසා ජනාධිපතිතුමා පත්කළ කොමිසමක නිර්දේශවලට විරුද්ධ විය නොහැකි බව කියල එජාප ඇමතිවරු බහුතරයක් මහින්දට එරෙහි යෝජනා කැබිනට් එකේදී සම්මත කළොත් අගමැතිතුමාට අනිවාර්යෙන් ඒක පාර්ලිමේන්තුවට ගේන්න වෙනවා නේද" පී. හැරිසන් නැඟූ තර්කය ඉතා ප්‍රබල එකක් විය. අගමැතිවරයා සිනාසී හිස සලා නළල රැලි ගන්වා ඉවත බලා ගත්තා මිසක කිසිවක් කීවේ නැත.

ඇලෝසියස්ල හිරේ දැම්මා නම් ගෝඨා දාන්න බැරි ඇයි?
"දූෂණ වංචා කොමිසමේ නිර්දේශ පිළිගන්න බැරි නම් ශ්‍රී ලනිපය බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිගන්නෙ කොහොමද? ඇලෝසියස්ල හිරේ දැම්ම නම් ගෝඨාත් හිරේ දාන්න බැරි ඇයි කියල අහන අයත් නැත්තෙ නෑ. මෙයාල ඔක්කොටම තියෙන්නේ දූෂණ චෝදනායි" රන්ජන් රාමනායක යළිත් බෝම්බයක් පත්තු කළ විට සියලු දෙනා එය අනුමත කළේ නිහඬව හිස සලමිනි.

"හම්බන්තොට වරාය චීනෙට බදුදීම වැරදි නම් මහින්දයි නාමලුයි සජිත් එක්ක චීන තානාපති හමුවෙලා ජනමාධ්‍ය ඉදිරියේ විරෝධය පළ කරල පෙන්නන්න කියලා අගමැතිතුමා හම්බන්තොටදී කියපු කතාව මසුරං වටිනවා" දයා ගමගේ කීය.

කවුද දිනන්නේ අනුර කියයි
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය ලබන පක්ෂය ගැන ජවිපෙ නායක අනුර දිසානායක මහරගම පැවැති අවසන් රැලියේදී මෙසේ කීවේය.
"අපිට අද බොහෝ අය කියනවා ජවිපෙට සුවිශේෂ ජයක් ලැබෙයි කියා. ආණ්ඩු පෙරළන මැතිවරණය 2020 එනවා. ඒ සඳහා ධෛර්යය දෙන ප්‍රතිඵලයක් අපි බලාපොරොත්තු වෙනවා. රනිල් වික්‍රමසිංහගේ ලක්ෂ 50 සහතික වශයෙන්ම අඩු වෙනවා. රාජපක්ෂ මහත්තයට ලක්ෂ 48ක් තිබුණා. ඒක අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා. ජවිපෙ ලක්ෂ 5 1/2 සහතික වශයෙන්ම වැඩිවෙනවා.

කට පාඩම් කර විභාග පාස් වෙන ක්‍රමය වෙනස් කළ යුතුයි
නවීන් දිසානායක ඇමැති පසුගිය දිනවල හිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේය. පළාත් මැතිවරණ කටයුතු නිසා ඔහු දවස පුරාම වතුකරයේ ආසනවල සංචාරය කළේය. ඇමැතිවරයා පිළිගන්නත් තම දුක්ගැනවිලි, ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් එජාප ආධාරකරුවෝ තැනින් තැන රොක්ව සිටියහ. සෑම තැනකම රැඳී පිළිසඳරේ යෙදෙන්නට නවීන් මැළි නොවීය.
බොහෝ තැන්වල සුලබ සිදුවීමක් වූයේ තරුණ තරුණියන් ඇමැතිවරයා සමඟ 'සෙල්ෆි' ගැසීමට ඉදිරිපත් වීමය. ඇතැම් තැනෙක සිටියේ පාසැල් ළමයින් සහ මවුපියන්ය.
"මේ ළමයි ඉස්කොලේ විතරද යන්නේ. ටියුෂනුත් යනවාද?
"ටියුෂනුත් යනවා සර්"
මවුපියෝ කීහ.
"ඔව් ළමයි උදේට පාසල් ගිහින් ඉගෙන ගන්නවා. හවසට ටියුෂන් යනවා. කට පාඩම් කරලා විභාග පාස් වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය ඔපමට්ටම් වෙලා නැහැ. මම අධ්‍යාපන ඇමැති වුණොත් කට පාඩම් ක්‍රමය නැති කරලා දරුවන්ගේ ප්‍රගතිය සමාලෝචනය කරන ක්‍රමයක් හදනවා".
නවීන් කීවේය.

පොළඟා දියබරියා වූ හැටි
ඒකාබද්ද විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධනගේ පුත් යදාමිණි පසුගිය සතියේ අපූරු අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ඒ සමන්මලී සකලසූරිය සමඟ හේන්පිටගෙදර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් සිටියදීය. රැස්වීම ඇමතූ යදාමිණි වේදිකාවේ අසුන් ගෙන සිටිය දී සර්පයකුගේ සපාකෑමට ලක්විය. එතැන සිටි පිරිස කීවේ යදාමිණිව කන්නට ඇත්තේ පොළඟකු බවය.
ඒ අනුව වහාම යදාමිණිව රෝහල වෙත රැගෙන යෑමට පිරිස කටයුතු කළ අතර රෝහලේදී දැනගන්නට ලැබුණේ යදාමිණිව සපා කා ඇත්තේ පොළඟකු නොව දියබරියකු බවය.

ජ'පුර සරසවිය ගැන
හිමි සඳුගේ අවසන් වදන්
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අවසන් වරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වැඩම කළේ ඉකුත් ජනවාරි මස 19 වැනි දිනය. හැම මොහොතකම කාර්ය බහුලව සිටින උන්වහන්සේ එදින සැනසුණු නිවුණු සැහැල්ලු මුහුණෙන් යුතුව සිටිනු දකින්නට ලැබිණි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කුලපති හිමියන් සමඟ සුහද පිළිසඳරක යෙදී සිටියේය.
"මට විශ්වවිද්‍යාල භූමියට අඩිය තිබ්බාම ලොකු සතුටක් දැනෙනවා. බලන්න හැම දෙයක්ම ලොකු දියුණුවක් ඇති වෙනවා. අලුත් ගොඩනැඟිලි ඉදි වෙනවා. අහන දකින හැම දෙනාම හොඳ කියනවා. ඒව අහන්න අපි හරි වාසනාවන්තයි. මම තව කොපමණ කල් ජීවත් වෙයිද කියන්න බැහැනෙ. මේ දේවල් ගැන හිතද්දි හරි සැනසීමක් හිතට දැනෙනවා."

විමලරතන හිමියන් එසේ පවසද්දී උපකුලපතිවරයා විමතියෙන් උන්වහන්සේ දෙස බලාසිටියේ එවැනි වදන් වැලක් ඉන් පෙර කිසි විටෙක උන්වහන්සේ පවසා නොතිබූ බැවිනි.
ජය පැරදුම දෙකේදීම බෙල්ලන්විලට ආවා

මහින්ද පසුගිය සතියේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය ගියේ අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහාය. නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව මහින්ද මහා සංඝරත්නය සමඟ කතාබහක නියැළුණේය.
"මම දිනපු වෙලාවට වගේම පැරදුණ වෙලාවටත් බෙල්ලන්විල පන්සලට ඇවිත් විමලරතන හාමුදුරුවන් හමුවුණා. උන්වහන්සේගේ අවවාද අනුශාසනා මට ලොකු ශක්තියක් වුණා. අපට ආපු හුඟක් ප්‍රශ්නවලදී උන්වහන්සේ අප සමඟ සිටියා" මහින්ද පැවසීය.
"අද වෙන දේවල් එක්ක බලනකොට බෙල්ලන්විල හාමුදුරුවෝ වගේ යතිවරුන් ජීවත්ව ඉන්න ඕනේ යුගයක් තමයි දැන් එළැඹිලා තියෙන්නේ. හාමුදුරුවෝ රටේ වෙන දේවල් ගැන පහුගිය කාලයේ ලොකු කලකිරීමකින් හිටියේ" උන්වහන්සේලා කීහ. "කලකිරීමකින් නොහිටියා නම් තමයි පුදුමේ. මහා සංඝරත්නයට පවා හිරිහැර කරලා දේශපාලන වුවමනාව පිරිමහ ගන්න යුගයක් දැන් එළැඹිලා තියෙන්නේ" ගාමිණී ලොකුගේ පැවසීය.
කටුනායක රැස්වීමේ කේක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනරැලියක් පසුගිය සතියේ කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේදී මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රැස්වීම අමතන අතරතුර මහින්ද සිය අතීත මිත්‍රයකු වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගැන සිහිපත් කිරීමටද අමතක කළේ නැත. "අද ජෙයරාජ් ඇමැතිතුමා ජීවතුන් අතර සිටියා නම් අපිත් එක්ක පළමුවෙන්ම හිටගන්නේ එතුමා කියලා මම කියන්න ඕනේ" මහින්ද සිය මිතුරාගේ පක්ෂපාතීත්වය සිහිපත් කරමින් කීවේය.
මහින්ද රැස්වීම අමතන අතරතුර වේදිකාවේ අමුතු යමක් සිද්ධ වෙමින් තිබුණේය. ඊට මුල් වී තිබුණේ ප්‍රසන්නය. සිය වාහනයේ තිබුණු කේක් ගෙඩියක් ගෙන්වා ගත් ප්‍රසන්න සැරසුණේ මහින්ද ලවා වේදිකාවේදීම කේක් කපා උපන් දින සැමරුමක් ගන්නටය. උපන් දිනයේ හිමිකරුවා වූයේ ඩුලිප් විජේසේකරය.
ප්‍රසන්නගේ රහස් උපන් දින සැමරුම ගැන ඩුලිප්වත් දැන සිටියේ නැත. කතාව නිම කළ මහින්ද අසලට ගිය ප්‍රසන්න "සර් අද ඩුලිප් මන්ත්‍රිතුමාගේ උපන් දිනය. අපි කේක් කපමුද?" ඇසුවේය. මහින්ද සිනාසෙමින් ප්‍රසන්නගේ ආරාධනය භාර ගත්තේය. අනතුරුව කේක් කැපූ මහින්ද ප්‍රථම කේක් කෑල්ල කැව්වේ ඩුලිප්ටය.
හරිපැත්තේ හිට ගැනීම
සඳුදා උදෑසන ප්‍රසන්න බෙල්ලන්විල බලා ගියේ විමලරතන හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. ප්‍රසන්න දුටු නායක ස්වාමීන් වහන්සේ අත වනා ප්‍රසන්න කැඳවා ගත්හ.

"මේ දවස්වල ගොඩක් මහන්සි ඇති නේද මන්ත්‍රිතුමා?" උන්වහන්සේ විමසූහ.
"ඒකනේ හාමුදුරුවනේ දුවනවා දුවනවා ඉවරයක් නැහැ. මට පහුගිද දවස්වල කතා කරගන්නවත් බැරුව හිටියේ" ප්‍රසන්න උත්තර දුන්නේය.
"ඔව් අපිත් ඒක පත්තරවලින් දැක්කා. මේ කාලේ තමයි ඔබතුමාලා පරිස්සම් වෙන්න ඕනේ කාලේ" උන්වහන්සේ අවවාද කළහ.
"අපි මහන්සි වෙන්නේ රට බේරගන්නනේ. ඒ යුතුකම තියෙන්නේ අපේ අතේ. ජීවිතේ ගියත් ඒ යුතුකම අතහරින්න බැහැ" ප්‍රසන්න පැවසීය.
"ඒකනේ අපි මුන්නැහෙටත් අනන්තවත් කියනවා මේ ප්‍රසන්න මන්ත්‍රිතුමාලා වගේ හරි පැත්තේ හිටගන්න කියලා. කෝ කිව්වට අහනවයැ" නායක හාමුදුරුවෝ එසේ කීවේ එතැනට පැමිණි ගාමිණී තිලකසිරිව පෙන්වමිනි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී රැස්වූහ. එදින මහින්ද රාජපක්ෂ ද එම මන්ත්‍රි හමුවට එක්ව සිටියේ බැඳුම්කර විවාදය පැවැත්වීමට නියමිතව තිබුණු නිසාවෙනි. එදින විවාදයේ දී පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබුණේ පළමුව අගමැති, දෙවනුව අනුර දිසානායක සහ තෙවනුව සම්බන්දන් යන පිළිවෙළටය.
මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රිවරුන්ගේ අවධානය යොමු වූයේ බැඳුම්කර වංචාව, මැතිවරණ ව්‍යාපාරය යන කරුණු ගැනය.
"ජනාධිපතිවරයා අභියෝග කළානේ ඡන්දෙට ඉස්සරවෙලා එක දවසක් හරි මේ විවාදය තියලා පෙන්වන්න කියලා. එතුමට තියෙන්නේ විවාද තියන්න කියලා අභියෝග කර කර ඉන්නේ නැතුව බැඳුම්කර හොරු ටික හිරේට දාන එකයි" ප්‍රසන්න පැවැසීය.
"පොඩි පොඩි හාල් කෑලි නෙමේ මේ හොරකමේ මහ මොළකාරයෝ ටික තමයි ඉස්සෙල්ලා අල්ලන්න ඕනේ. රනිල්, මලික්, කබීර් හෂීම්ලා තමයි මේකේ මහ මොළකාරයෝ" විමල් පෙන්වා දුන්නේය.

අත්තනගල්ලේ අවුල චන්ද්‍රිකාගේ ගැටයක්
"ඒක නෙමේ ප්‍රසන්න මොකක්ද අර අත්තනගල්ලේ අවුල?" රෝහිත ඇසුවේය.
"ආ මේ අපේ නාම යෝජනාව කැන්සල් කරවලා හරි දිනන්න බලාගෙන චන්ද්‍රිකා නෝනලා ගහපු ගැටයක්නේ. දැන් ගේම ගහපු අයටම ඒක කැරකිලා තියෙන්නේ" ප්‍රසන්න පැවැසීය.

"එයා ඉතින් කොහොමත් කුමන්ත්‍රණවලට දක්ෂයිනේ" මහින්දානන්ද කීවේය.
"චන්ද්‍රිකාගේ ලණුව කාලා දුමින්ද දිසානායක නඩුවක් දාලා තියෙනවා අපේ ලයිස්තුවේ තියෙන නමක් ස්වාධීන ලයිස්තුවකත් තියෙනවා කියලා. හැබැයි රීට් ආඥාවක්වත් නැතුව. දැන් හැමතැනම ප්‍රචාරය අරගෙන යනවා පොහොට්ටුවට ඡන්දය දුන්නට වැඩක් නැහැ කියලා" ප්‍රසන්න විස්තර කළේය.
"ඒවට ඉඩ තියන්න එපා. ඕකට අපේ පැත්තෙනුත් රිප්ලයි කරන්න ඕනේ" මහින්ද පැවසීය.
"අපි දැනටමත් ගෙවල් ගාණේ ගිහින් මිනිස්සුන්ව දැනුවත් කරනවා එහෙම දෙයක් නැහැ කියලා. මේ අයගේ බොරු පිළිගන්න තරම් අත්තනගල්ලේ මිනිස්සු මෝඩ නැහැ" ප්‍රසන්න කීවේය.

බැසිල්-ප්‍රසන්න එජාප ඇමැතිවරුන්
හමු වුණාද?
ප්‍රසන්නයි මායි ගිහින් එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් හම්බ වෙනවා කියලා මහින්ද අමරවීර කියලා තියෙන්නේ. මම නම් මොන ඇමැතියෙක්වත් හමුවුණේ නැහැ" බැසිල් පැවසීය.

"මමත් නැහැ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපේ ඩීල් නැහැ. ඩීල් තියෙන අය තමයි ඔය වගේ මෝඩ කතා කියන්නේ" ප්‍රසන්න කීවේය.
"එක පාරක් කිව්වා පක්ෂය කැඩුවේ බැසිලුයි ප්‍රසන්නයි කියලා. දැන් තව කතාවක් කියනවා. මේ මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නේ නැහැ" බැසිල් පැවසීය.
"ඕක තමයි මහින්ද අමරවීරලාට දැන් කරන්න පුළුවන් එකම දේ. බොරු කියලා මහ මැතිවරණයේ ජයග්‍රහණය උදුර ගත්ත ජනාධිපතිවරයාගේ හොඳම ගෝලයානේ අමරවීර කියන්නේ. දැන් මේ පාරත් හදන්නේ බොරු කියලා, මඩ ගහලා අපේ ජයග්‍රහණය උදුරා ගන්නයි. හැබැයි අමරවීර උන්නැහෙලාට මේ පාර තේරෙයි ජනතාව ඉන්නේ කොතැනද කියන එක" ප්‍රසන්න කීවේය.

මාව ජනාධිපති කළේ බැසිල්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් සති අන්තයේ රූපවාහිනි සංවාදයකට එක්වෙමින් අපූරු තොරතුරු රැසක් අනාවරණය කළේය.
"මහින්දත් මාත් අතර ගැටුමේ වගඋත්තරකරුවා වෙනින් කවුරුත් නොවේ බැසිල් රාජපක්ෂයි. වෙනත් විදියකට කියනවා නම් මාව ජනාධිපති කළේ බැසිල් රාජපක්ෂ. එයා එනවානම් මම හෙට වුණත් බැසිල්ට උපහාරයක් තියන්න සූදානම්. බැසිල් මට කරන්න තියෙන හිරිහැර සියල්ල කළා. මහින්දයි මමයි හැමදාමත් අයියයි මල්ලියි හැටියටයි කතා කළේ. මම මහින්දට අයියා කියල ආමන්ත්‍රණය කිරීම නතර කළේ එයා අගමැති වුණාට පස්සෙයි.
මහින්දව විනාශ කළේ 2010න් පස්සෙ එයා වටේ එකතු වුණ කේවට්ටයො.

මහින්ද රාජපක්ෂ 2010 බලයට පත්ව කෙටි කාලයකින් 18 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ගෙනැවිත් ජනාධිපති ධුරයේ වාර ගණන දික් කරගැනීම ගැනද ජනපති සිරිසේන අපූරු කතාවක් කීවේය.

18 හොඳ නරක ගැන මහින්ද කියපු කතාව
"18 වැනි ව්‍යවස්ථාවේ හොඳ නරක ගැන ඇමැතිවරු අතර කතා බහක් ඇති වුණා. ඇයි මෙවැනි සංශෝධනයක් ගෙනෙන්නේ කියලා ඇමැතිවරු මහින්දගෙන් ඇහුවා.
මහින්ද හිනාවෙලා මෙහෙම කිව්වා.
මෙහෙමනෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක් වුණාම හිතෙනවා ප්‍රාදේශීය සභා සභාපති වුණානම් හොඳයි කියලා. ඊට පස්සෙ හිතනවා පළාත් සභාවට ගියා නම් හොඳයි කියලා. ඊළඟට හිතෙන්නේ මේකෙන් වැඩක් නෑ මන්ත්‍රි කෙනෙක් වෙලා පාර්ලිමේන්තු ගියානම් ජනතාවට වැඩක් කරන්න තිබුණා කියලා. මන්ත්‍රි වුණාම හිතනවා නියෝජ්‍ය ඇමැති තනතුරක් වත් තිබුණා නම් හොඳයි මන්ත්‍රි වෙලා මොනවද කරන්න පුළුවන් කියලා. ඔහොම අගමැති ජනාධිපති දක්වාම යනවා."
"ඉතින් දැන් ඔබතුමා දැන් දෙවරක් ජනාධිපති වුණානෙ" කවුද කිව්වා.

"ඕකනෙ කියන්නෙ දැන් මට හිතෙනවා තුන්වැනි වාරෙත් ජනාධිපති වුණොත් වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. ඕක තමයි ස්වභාවය. ඉතින් මම 18 ගෙනැල්ල ජනාධිපති තනතුර දැරීමේ වාර ගණන වැඩි කරගන්නවා."
රනිල් අගමැති කළාට සතුටුද..? දුකද..?

රනිල් වික්‍රමසිංහ අගමැති කළාට සතුටු වෙනවාද දුක්වෙනවාද යන්නටද ජනපති පිළිතුරු දුන්නේය.
"රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම ගැන මගෙ හිතේ සතුටකුත් තියෙනවා, දුකකුත් තියෙනවා. සතුට, මාව ජනාධිපති කරන්න එතුමා ලොකු කැපවීමක් කළා. ඒ වෙනුවෙන් කෘතගුණ සලකන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ විදේශ වත්කම්, ආයෝජන වැඩිදියුණු කරගැනීමට එතුමාගේ කැපවීම ගැනත් සිතේ සතුටක් තියෙනවා.

මම කනගාටු වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ගෝල බාලයන් සිදුකළ වැරැදි නිසා එතුමා අද පත්වී සිටින තැන ගැනයි. එතුමා එවැනි අසීරු තැනකට පත්වීම ගැන අවංකවම මම කනගාටු වෙනවා.
බැඳුම්කරේ ගින්න ඇවිළුණු හැටි
බැඳුම්කර ප්‍රශ්නයට සිය මැදිහත් වීම ගැනද ජනපති මෙසේ කීය.
"එක්සත් ජාතීන්ගේ සමුළුව තිබුණේ 2016 සැප්තැම්බර් මාසේ. මම නිව්යෝර්ක් යනකොට මෙහෙම ලොකු වංචාවක් වෙලා කියලා ගින්න ඇවිළෙමින් තිබුණේ. මම නිව්යෝර්ක්වලට ගිය ගමන් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්ට කතා කළා. ඔහුට දැනුම් දුන්නා බැඳුම්කර වංචාව ගැන හොයන්න කමිටුවක් පත්කරන්න කියලා. මෙන්න පැය එකහමාරක් ගියේ නැහැ අගමැති රනිල් කතා කළා.

"ජනාධිපතිතුමා බැඳුම්කර වංචාවක් වුණාද කියලා හොයන්න කමිටුවක් පත්කරනවද" ඇසුවා.
"ඔව් මේක ලොකු ප්‍රශ්නයක් බලා ඉන්න බැහැනෙ. මම කමිටුවක් පත්කරනවා" කිව්වා.
"ජනාධිපතිතුමා මම කමිටුවක් දමලා මේ ගැන විමර්ශනයක් කරන්නම්" අගමැති කීවා.
"හා ඒක හොඳයි ඉක්මන් කරන්න" මා කීවා.
අගමැති කමිටුව පත්කළාට මට තේරුණා ඒ කමිටුවෙන් වැඩක් නැති බව. ප්‍රශ්නය ගිනි ඇවිළිලා තිබුණේ හැමතැනම. මහ බැංකුවත් අවුල් සහගත තත්ත්වයකට පත්වෙන්න ඉඩ තිබුණා. ඒ වෙද්දි අර්ජුන මහේන්ද්‍රන් නිවාඩු ගිහින් තිබුණෙ. මම ලංකාවට ආපු ගමන් මහ බැංකුවට ගියා. මම එන බව බැංකුවට දැනුම් දී තිබුණා. මම ගිහින් බැංකුව ඉස්සරහ කාරෙකෙන් බහිනකොට මෙන්න රට ගියා කියපු අර්ජුන මහේන්ද්‍රන් බුලත් අතකුත් අරන් ඉන්නවා. මම ඒ පැත්තට පස්ස හරවලා අනෙක් පැත්තට ගියා. පස්සෙ ඔහුව අයින් කළෙත් සෑහෙන ප්‍රශ්න මැද.

සජිත්ගෙන් ගිලානෝපස්ථාන අරමුදලක්
පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ ඔබ - මොබ යමින් සිටි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා වෙත ගම්මාන රැසකදී කෙරුණු පොදු ඉල්ලීමක් වූයේ බරපතළ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන සිය පවුල්වල සාමාජිකයන්ට කඩිනම් හා විධිමත් ප්‍රතිකාර ලබාදීම සඳහා පවතින ගැටලු පිළිබඳවය. හදවත් සැත්කම්, පිළිකා රෝග ප්‍රතිකාර, වකුගඩු බද්ධ කිරීම්, ස්නායු රෝග ප්‍රතිකාර සඳහා වත්කමක් නොමැතිකමින් දීර්ඝ කාලයක් රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවීම ගැන බොහෝ දෙනෙක් සජිත්ගේ අවධානය යොමුකර තිබිණි. "එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් කරගන්ඩ මාස 12ක් විතර බලා ඉන්ඩ ඕනෑ. එතකොට ලෙඩාට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. අනේ දුප්පත් අපිට පිහිටක් නැද්ද මහත්තයෝ..?" මවක් හඬා වැටෙද්දි සජිත් මහත් අසීරුවට පත්විය. තවත් තැනකදී ඇසුණේ ස්නායු රෝගයකට ලක්ව සිටින සිය පුතුට අවශ්‍ය එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ගැනීමට මාස ගණනාවක් බලා සිටින්නට සිදුවීම ගැනය. මාරාන්තික පිළිකා සහ වකුගඩු රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම ගැන තිබුණේද එවැනිම කතා ගණනාවකි. මීට කුමක් හෝ ඉක්මන් විසඳුමක් ලබාදීමේ ක්‍රමවේදයක් ගැන සිතූ සජිත් අවසානයේ තීරණය කළේ මෙවැනි අසරණ රෝගීන්ට වහා ප්‍රතිකාර ලබාදීමේ අරමුදලක් පිහිටුවීමටය. එයද සිය 51 වැනි උපන් දින සමාජ සත්කාර සේවාවන් අතරට එක් කරමින් "සජිත් ප්‍රේමදාස ගිලානෝපස්ථාන අරමුදල" නමින් ඒ මොහොතේදීම නම් කෙරුණි. කලින් දිනක එන්ජියෝග්‍රෑම් ප්‍රතිකාරයක් ප්‍රමාද වීම ගැන හඬාවැටුණු මව හමුවුණු සජිත් කීවේ "ඔන්න අම්මා බය වෙන්න එපා. මුදල් ගෙවලා දවසින් දෙකෙන් වැඩේ කරගන්න පුළුවන් වෙන්න මම අරමුදලක් පිහිටෙව්වා. ඒකෙන් අපි ලෙඩාගෙ ජීවිතය බේරාගමු!" කියාය.

මහනුවරදී උදයගේ
උපන් දින සාදය
පසුගිය 6දා පොදුජන පෙරමුණේ ප්‍රධාන රැලිය යෙදී තිබුණේ මහනුවරය. පාර්ලිමේන්තුවේ බැඳුම්කර විවාදය එදිනට පැවැත්වීමට කතානායක තීරණය කළේ ඉන් පසුවය. එම විවාදයේ කථිකයන් විය යුත්තේ විමල්, උදය සහ බන්දුල බවට පොහොට්ටු නායකයන් තීරණය කළ බැවින් තමන්ට මහනුවර රැස්වීමට පැමිණීමට නොහැකි බව විමල් සහ උදය මහින්දානන්දට දැන්වූහ. මේ දෙදෙනා රැස්වීමට අත්‍යවශ්‍ය බව හැමෝගෙම අදහස විය. එවිට ලොහාන් පැවැසුවේ බර පැන දැරීමට ඉදිරිපත් වන්නේ නම් තමන්ට වහාම චොපර් එකක් ලැහැස්ති කළ හැකි බවයි.

විවාදය අවසන් වූ වහාම විමල් සහ උදය, දිනේෂ් සමඟ ගුවනින් රැස්වීම් භූමියට ළඟා වූහ. ඊට ටික වේලාවකට පසු රැස්වීමට පැමිණි මහින්ද, උදය පෙන්වමින් පැවැසුවේ "සද්ද නැතුව හිටියාට අද මෙයාගේ උපන් දිනයනෙ" එයට ප්‍රතිචාර දක්වමින් උදය පැවැසුවේ "පවුලේ අය නැතුව අවුරුදු තුනක් තනිවම ඉන්නා මට මොන උපන් දිනද..?" කියාය. ඒ සමඟම වේදිකාවේ සිටි සී.බී., මහින්දානන්ද, කෙහෙලිය, ලොහාන් සහ දිලුම් විසින් උදය වැලඳ ගනිමින් උපන් දිනයට සුබ පැතූහ. උදයට කතාව පැවැත්වීමට ආරාධනා කරන අතරේ "අද එතුමාගේ උපන් දිනයයි. හැමෝම එතුමාට සුබ උපන් දිනයක් වේවා කියලා පතමු" කියා. දස දහස් ගණනින් රැස්වී සිටි ජනතාව එක්වර උපන් දිනයට සුබ පැතුවේ එකම ඝෝෂාවක් බවට පත් කරමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්