පොදුජන පෙරමුණට ලැබුණු ජනවරම හා දේශපාලනයේ හෙට දවස

  👤  4442 readers have read this article !
2018-02-13

'ඡන්දදායකයා තුවක්කුවක් වැනිය. ප්‍රයෝජනවත් බව තිබෙන්නේ පාවිච්චි කරන්නා මතය' කියා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ තියඩෝර් රූස්වෙල්ට් වරක් පැවැසීය.

මෙහි සත්‍යතාව හොඳින්ම පෙන්වන උදාහරණයක් ලෙස පෙබරවාරි 10 පැවැති පළාත් පාලන ඡන්දය පෙන්වා දිය හැකිය. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් ගම හදන්නට ඡන්දය ඉල්ලද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම ඡන්දදායකයාගෙන් ඉල්ලුවේ මේ මැතිවරණය ආණ්ඩුවට විරුද්ධව ජනමත විචාරණයක් ලෙස යොදාගන්නා ලෙසටය. මේ ඉල්ලීමට ජනතාව ප්‍රතිචාර දුන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකින් බලයේ සිටින ආණ්ඩුවක් පරාජයට පත් කරමින් පමණක් නොව වසර දෙකකටත් වඩා වයසින් අඩු 'පොහොට්ටුව' පක්ෂයට පළාත් පාලන ආයතන 340කින් 2/3කටත් වැඩි ප්‍රමාණයක බලය ලබාදෙමිනි.

පසුගිය සති කිහිපය තුළ පොහොට්ටුවේ ජයග්‍රහණයක ලකුණු රට පුරා දිස්වුවද මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් ඔවුන් ලබාගනී කියා නම් බොහෝ දෙනකු සිතන්නට නැත. විශේෂයෙන්ම අවසාන සති කිහිපයේ ජනාධිපතිවරයාගේ රැස්වීම්වල සිටි සෙනඟ රූපවාහිනි නාළිකාවල දුටු ඔහුගේ ප්‍රතිවාදීහු යම් චකිතයකට පත්ව සිටියහ. මේ රැස්වීම්වල සිටි බොහෝ දෙනකු සංවිධානාත්මකව ගෙන්වා ගත් අය බවට නැඟුණු චෝදනා තවදුරටත් ප්‍රතික්ෂේප කළ නොහැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්ධානය ලැබූ දැවැන්ත පරාජය නිසාය. සාම්ප්‍රදායික ශ්‍රී ලංකා පාක්ෂිකයන්ගෙන් බහුතරය එහි වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කොට ඇති බවට තවදුරටත් විවාදයක් අවශ්‍ය නැත. 'ඔබට කිහිප දෙනකු සැමවිටමත්, සෑම දෙනකුම කිහිප විටකත් රැවටීමට හැකි වුවද සෑම කෙනකුම සෑම කලකම රැවටිය නොහැක' යන ඒබ්‍රහම් ලින්කන්ගේ සුප්‍රකට කියමන මේ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට මතක් කර දුන් බවට සැකයක් නැත.

එක්සත් ජාතික පක්ෂය මෙවර ඡන්දයට මුහුණ දුන්නේ ඉතා අසීරු වාතාවරණයක් යටතේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අසාර්ථකත්වය සෑම සමාජ ආර්ථික දර්ශකයකින්ම පෙනී යන අතර කළමනාකරණ නොහැකියාවටත් වඩා පක්ෂයට බලපෑවේ බැඳුම්කර මගඩිය නිසා වූ අවමානයයි. බොහෝ ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යන්නටවත් මැළිවූයේ, 'ඔන්න බැඳුම්කර හොරු ඇවිල්ලා' කියා ගෙවල් ඇතුළෙන් අසෙන උසුළු විසුළු දරාගත නොහැකි වූ නිසාය. හොරු අල්ලන්නට ජන වරමක් ගෙන පැමිණි පක්ෂයක් මෙතරම් කනගාටුදායක තත්ත්වයකට ඇද දැමීමේ වගකීමෙන් ගැලවෙන්නට අගමැතිවරයාට නොහැකිය. පෞද්ගලිකව ගතහොත් මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ලද 30 වැනි පරාජයයි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්ෂ 50.1ක් (44.65%) ලබා ආයතන 240ක් ජයග්‍රහණය කර තිබිණි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ 36.2ක් (32.63%) ලබා ආයතන 42ක් ජයග්‍රහණය කර තිබිණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් තරග කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ 14.1ක් (13.3%) ලබාගෙන පළාත් පාලන ආයතන 7ක් ජයග්‍රහණය කළ හැකි විය. ජනතා විමුක්ති පෙරමුණට ලබාගත හැකිවූයේ ඡන්ද ලක්ෂ 6.9ක් (6.2%)ක් පමණි. ඔවුන්ට කිසිදු පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කළ නොහැකි විය. උතුරු නැඟෙනහිර පළාත් පාලන ආයතන බහුතරය ජයග්‍රහණය කළේ දෙමළ පක්ෂයි.

මීට පෙර තිබූ සෑම පළාත් පාලන මැතිවරණයකටම වඩා ප්‍රතිශතයක් ජනතාව ඡන්දය දී තිබුණද ආසන්න වශයෙන් පසුගිය 2015 ජනාධිපතිවරණයට වඩා ලක්ෂ 20ක පමණ ඡන්ද අඩුවක් මේ මැතිවරණයේදී දක්නට ලැබිණි. එසේ ඡන්දය නොදුන් අය ඡන්දය නොදුන්නේ මන්ද, ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ඔවුන්ගේ ඡන්දය කාටද යන්න දේශපාලන පක්ෂ විසින් කල්පනාවෙන් විශ්ලේෂණය කළ යුත්තකි. මෙහිදී වඩාත් කල්පනාකාරී විය යුත්තේ ජයග්‍රාහී පොදුජන පෙරමුණයි. මන්ද පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන ලෙස ඔවුන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස පාක්ෂිකයන්ගේ දැඩි උදේ‍යා්ගයක් ඡන්දය දීමට තිබුණු නිසා ඡන්දය නොදුන් පිරිස තවමත් ඔවුන් ගැන වැඩි පැහැදීමක් නැති පාවෙන ඡන්ද වීමට හෝ එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන නමුත් එහි වත්මන් ක්‍රියාකලාපයට නිහඬ විරෝධයක් දක්වන්නන් වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසා මේ ජයග්‍රහණයෙන් ඕනෑවට වඩා අධිතක්සේරුවකට එළැඹීම පොදු පෙරමුණට අනතුරුදායක විය හැකිය. මීට පෙර අවස්ථා ගණනාවකම උත්සාහ කළාක් මෙන් යළිත් වරක් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ කැරැල්ලක ලකුණු දැනටමත් පහළ වෙමින් පවතී. මෙතරම් අසීරු තත්ත්වයක් යටතේත් එක්සත් ජාතික පක්ෂයට අවම වශයෙන් ලක්ෂ 36ක ඡන්ද පදනමක් තිබෙන බව ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලිය. ඒ අනුව නායකත්වයේ පැහැදිලි වෙනසක් කිරීම තුළින් යළිත් හිස ඔසවන්නට එක්සත් ජාතික පක්ෂයට තවමත් අවස්ථාව ඇත.

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය බහුතර ජනතාව ප්‍රතික්ෂේප කොට ඇති බව මෙම මැතිවරණයේදී පැහැදිලිවම මතුවූ කරුණකි. සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් 13.3%ක ඡන්ද ලබාගැනීමෙන් සමහර විට ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ සමහර බලවතුන් ඔහුට ලැබේ යැයි ඇස්තමේන්තු කළාට වඩා ඡන්ද ලබාගෙන තිබුණද ඉන් ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් පසුගිය මැතිවරණයේදීද වෙනසකට ඡන්දය දුන් පාවෙන ඡන්ද විය හැකිය. ඉදිරි මැතිවරණයකදීද ඔවුන්, දැනටමත් දුර්වල බව ඔප්පු වී ඇති මෛත්‍රිපාල සිරිසේන මහතාටම සහාය දක්වතැයි සිතීමට අසීරුය. ඒ අනුව තමුන්ට තනිවම දේශපාලන ගමනක් යෑම අසීරු බව ප්‍රමාද වී හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා වටහා ගත යුතුය. ඉදිරි මැතිවරණයකදී යළිත් ජනාධිපති ධුරයට තරග වැදීමට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යටි අදහසක් තිබුණේ නම් ගෞරවාන්විතව එය අතහැර දමන ලෙස දැන් ජනතාව ඔහුට රතු එළියක් පත්තු කොට ඇත. නමුත් පක්ෂ නායකයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් තරග කොට පාර්ලිමේන්තු මැතිවරණයකදී යම් බලයක් ලබා නැවත පාර්ලිමේන්තුවට ඒමේ අවස්ථාව නම් ඔහුට ඉතුරුව ඇත. නමුත් එය අනිවාර්යයෙන්ම සිදුවනු ඇත්තේ සුළු පක්ෂ නායකයකු ලෙසය. ඒ නිසා දිවි ඇති තෙක් දේශපාලනය කරනවා යැයි දැනටමත් මාධ්‍යට ප්‍රකාශ කොට ඇති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉතුරුව ඇති හොඳම විකල්පය නම් එළඹෙන ජනාධිපතිවරණයට පෙර තමන්ගේ මතයට වඩාත් කිට්ටු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවී එහි අපේක්ෂකයාට සහාය දීමය. එක්සත් ජාතික පක්ෂය නැවත වරක් ඔහුව ප්‍රයෝජනයට ගැනීමට එකඟ විය හැකි වුවද ඔහුට නිසි ගෞරවය යළි කිසි කලක එම පක්ෂයෙන් නොලැබෙනු ඇත.

බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති ජවිපෙට තවත් පරම්පරා ගණනකටවත් තනිවම බලයට ඒම සිහිනයක් බව මේ මැතිවරණ ප්‍රතිඵල නැවතත් මතක් කරදෙයි. ප්‍රධාන පක්ෂ වියවුලක සිටිනා අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණට යම් සාධනීය වෙනසක් කළ හැකිය යන මිථ්‍යාවෙන් ජනතා විමුක්ති පෙරමුණ පසුපස ගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා කලාකරුවන් පිරිස නම් කවදත් දේශපාලනයේ වැරැදි තීරණ ගන්නන් ලෙස ප්‍රසිද්ධ නිසාදෝ ඔවුන් ගැන ජනතාව කිසිදු තැකීමක් කොට නැත. ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල මෑත කාලීන ආකර්ෂණය වූ සුනිල් පෙරේරා මහතා ඇත්තෙන්ම ඡන්ද එකතු කළාද නැත්නම් තිබුණු ඡන්දත් නැති කළාද යන්න ජනතා විමුක්ති පෙරමුණම සොයා බැලිය යුතු කරුණකි. පාක්ෂිකයන්ට කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකත්වයට නම් මේ ප්‍රතිඵලය එතරම් පුදුමයට හෝ අසතුටට කරුණක් වී යැයි සිතිය නොහැකිය. මන්ද මැතිවරණ ගණනාවක් පුරා මේ අය පුරුදුව සිටින්නේ ආසන්න වශයෙන් ලක්ෂ 5ක් පමණ වන තම ඡන්ද පදනම හොඳම ලංසුවට කාට හෝ පිළිගන්වා තම කුඩා නායකත්ව කල්ලියට පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට නිසාය. ඔවුන්ගේ මේ ප්‍රතිපත්තියේ උපරිම ඵල ලැබුණේ පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය දී ඉන් පසු එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 6කට විපක්ෂයේ සංවිධායක ධුරය ලබා ගැනීමෙනි.

පසුගිය ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් ජනතාව කිසි විටෙක තේරුම් නොගත් සත්‍යය නම් තමුන් රටේ පාලන ක්‍රමයේ සාධනීය වෙනසක අවංක අපේක්ෂාවෙන් ඡන්දය භාවිත කරද්දී තමුන් විසින් බලයට ගෙන එන පිරිස ඇත්තෙන්ම බලාපොරොත්තු වන්නේ ඔවුන්ට උදවු උපකාර කළ බාහිර බලවේගවල අරමුණු ඉටුකිරීමට බවය. එය පැහැදිලිවම නව ආණ්ඩුව විසින් තමුන්ට ඡන්දය දුන් ජනතාව මුළා කිරීමක් විය. උදාහරණයක් වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ තිරය පිටුපස සිටි බලවේගය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තම සම්පූර්ණ ශ්‍රමය හා කාලය කැප කළේ ඔවුන් විසින් දෙමළ ඩයස්පෝරාවට හා බටහිර බලවේගවලට ලබාදී තිබූ පොරොන්දු ඉටුකිරීමටය. මේ අතර මූලිකත්වයක් ගත්තේ රණවිරු දඩයම, රාජපක්ෂ මර්දනය හා යෝජිත නව ව්‍යවස්ථාවයි. නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීමට තමුන්ට ජනවරමක් ඇතැයි මේ අය දිගින් දිගටම ප්‍රකාශ කළ අතර යහපාලනයට ඡන්දය දුන් ජනතාව වික්ෂිප්තව සිටියේ රාජපක්ෂ පාලනයේ වෙනස් කිරීමේදී ඡන්ද දායකයාගේ මූලික අවශ්‍යතාව වූයේ පිරිසුදු පාලනයක් විනා නව ව්‍යවස්ථාවක් නොවන බැවිනි. යහපාලනය වැඩ වරද්දා ගත්තේ මෙතැනය. පාලකයන් යන්නේ වෙන පාරක බව වටහා ගත් ජනතාව කලකිරීමට පත්වූහ. මෙය යම් තාක් දුරකට ප්‍රමාදවී හෝ වටහා ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමත් වුවද නිසි කලට නිවැරැදි කඳවුර සමඟ සිට ගැනීමට තිබූ අනගි අවස්ථාව ඔහු අදූරදර්ශීව අහිමි කර ගත්තේය. තම අනිසි රාජපක්ෂ භීතිකාව අමතක කොට සුළඟ හමන දිශාව තෝරා ගත්තා නම් ජනතාවට ප්‍රතික්ෂේප කළ නොහැකි බලවේගයක් බවට පත්වීමට පූර්ණ බලතල සහිත ජනාධිපති ලෙස ඔහුට ඕනෑ තරම් ඉඩකඩ තිබිණි.

මෙතැන් පටන් විශාලම අභියෝගය තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. ඔවුන්ගේ ඉදිරියේ අභියෝග රැසකි. පාර්ලිමේන්තුව තුළ ඔළු පෙරළියකින් බලය අල්ලනවාද නැතහොත් විපක්ෂය වශයෙන් වඩාත් ශක්තිමත් වී ඉදිරි මැතිවරණවලට සූදානම් වෙනවාද යන තීරණය නුදුරේදීම ගන්නට සිදුවනු ඇත. එසේම තවදුරටත් ඔවුන්ට විපක්ෂයේ භූමිකාවෙන් සෑහීමට පත්විය නොහැකිය. ජනතාව ඔවුන්ට පළාත් පාලන ආයතන 240ක ජයග්‍රහණය ලබාදී ඇත. අවසානයේ කොපමණ ආයතන ප්‍රමාණයක බලය පිහිටුවනවාද යන්න ඉදිරි සති කිහිපය තුළ අපට දැක ගන්නට හැකි වනු ඇත. ඉන් පසුව මේ සභාවල බලය ලබාගන්නා කණ්ඩායම් ජනතාවට සේවය කළ යුතුය. ඉතිහාසයේ වූ වැරැදි යළි සිදුවන්නට ඉඩ නොදී මේ සා විශාල පළාත් සභා සභිකයන් පිරිසක් මෙහෙය වන්නේ කෙසේද? මැතිවරණ ප්‍රකාශය අනුව ක්‍රියා කරනවා නම් ඔවුන්ට විද්වත් මණ්ඩලවල සහාය ලබාදිය යුතුය. ඒ සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණය හා කළමනාකරණ හැකියාව අලුත් පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සකස් කර ගැනීමට කොපමණ කාලයක් ගතවේද? එහි වගකීම ගන්නේ කවුද? මේවා පොදු ජන පෙරමුණට නොසලකා හැරිය නොහැකි අභියෝගයන්ය. බලය ගත් පසු උදවු කළ අය හා දුන් පොරොන්දු අමතක කර දමන සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් ජනතාව අනුමත කරන්නේ නැත.

ඉදිරි කාලයේදී ලංකාවේ දේශපාලනය ඉතා රසවත් වනු ඇත. නමුත් ජනතාව තවදුරටත් මුළා කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත. සමාජ ජාලා නිසා අද ජනතාවගේ දේශපාලන අවබෝධය හා සහභාගිත්වය වෙනදාට වඩා අතිශයින් ඉහළ ගොස් ඇත. මෙවර මැතිවරණයේදී කෝටි ගණන් වියදම් කොට කළ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට වඩා ප්‍රබල වූයේ ජනතාව මුහුණු පොත හා අනෙකුත් නූතන සන්නිවේදන ක්‍රම හරහා කළ අදහස් හුවමාරු කරගැනීම්ය. මේ තත්ත්වය ඉදිරියේදී තවත් ප්‍රබල වෙනු ඇත. ජනතාව සත්‍යයෙන් අසත්‍යය පහසුවෙන් වෙන්කර ගනු ඇත. ඒ නිසා දේශපාලනඥයන් අවංක නොවුණොත් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නියතය. මෙය නිසැකවම රටේ නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව කියාපායි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්