ජනතාවට අබ සරණද?

  👤  3283 readers have read this article !
2018-02-14

පුංචි ඡන්දයේ ප්‍රතිඵලය සලකා බලා මහා ඡන්දයකට යෑම සුදුසු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කර තිබිණි. එහෙත් එජාපය හා ශ්‍රී ලනිපය තුළ ආණ්ඩුව විසුරුවා හැරීමට කැමැත්තක් ඇති බව නොපෙනේ. විශේෂයෙන්, පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් සිටින එජාපය ඊට අකැමැතිය. ඔවුන් වෑයම් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වා හවුලෙන් ඉවත්වී තනිව ආණ්ඩුවක් හැදීමට බව පෙනේ.

ශ්‍රී ලනිපයේ මෛත්‍රි පාර්ශ්වය යෝජනා කර ඇත්තේ අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්වී එජාපයේ වෙනත් නායකයකු ඒ ධුරයට පත් කරගෙන "හවුල" ඉදිරියට ගෙන යෑමය. කිසිවකු යෝජනා නොකරන විකල්පයක්ද ඇත. එනම්, එජාපය ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයට ගොස් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුළුතර ආණ්ඩුවක් හදා ගැනීමට ඉඩ දීමය. පුංචි ඡන්දයේදී පොදුජන පෙරමුණ කියා සිටියේද මහින්ද අගමැති කිරීමට පොහොට්ටුවට ඡන්දය දෙන ලෙසය. එහෙත් හිටපු ජනාධිපතිවරයා කියා තිබුණේ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරුවකින් ආණ්ඩුවක් හැදීමට තමන් සූදානම් නැති බවය.

පුංචි ඡන්දයෙන් ආණ්ඩුවට අත්වූ පරාජයේ වගකීම එජාපය පිට පැටවීමට ශ්‍රී ලනිපයේ මෛත්‍රි පාර්ශ්වය කටයුතු කරද්දී එජාපයේ ඇතැමුන් කළේ එහි වරද ශ්‍රී ලනිප නායකයන්පිට පැවැරීමය. එහෙත් ඇමැති මංගල සමරවීර නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වූයේ පරාජයේ වගකීම එකිනෙකා මත නොපවරා ජනතාව ලබාදී ඇති සංඥාව කුමක්දැයි තේරුම් ගත යුතු බවය. තුන් වසරක් පුරා ජනතාවට දුන් පොරොන්දු හරිහැටි ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වීම පොහොට්ටුවේ ජයග්‍රහණයට හේතු වී ඇති බව ඇමැතිවරයා එහිදී කියා තිබිණි.

තිත්ත වුණත් ඇත්ත එයය.
පොදුජන පෙරමුණ පවා අපේක්ෂා නොකළ ජයග්‍රහණයක් ඔවුන්ට හිමි වූයේ මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ "වැරැදි" නිසාය. 1977 මහ මැතිවරණයෙන් එජාපය නොසිතූ විරූ ජයක් ලබා ගත්තේ පැවැති සමඟි පෙරමුණු ආණ්ඩුවේ "වැරැදි" හේතුවෙනි. සමඟි පෙරමුණු ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් අතර ඇතිවූ ගැටුම්වලට සමාන ගැටුමක් මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් අතරද පසුගිය කාලයේ ඇති වූ බව නොරහසකි. මෙවැනි ආණ්ඩුවලට බහුතර ජනතාව ලබාදෙන පිළිතුර වන්නේ විරුද්ධ පක්ෂයක් තෝරාගෙන ඡන්දය දී සිය විරෝධය පළකිරීමය.

පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙන් පසු රට තවත් අවුල් වී තිබේ. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙක ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටීම ඊට හේතුවයි.
මැති ඇමැතිවරුන් බලය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට යෑම නිසා රජයේ කටයුතු යම් ප්‍රමාණයකට අඩපණ වී ඇත. එහෙත් ඉදිරි සතිය වන විට සියල්ල යථා තත්ත්වයට පත්වීමට ඉඩ තිබේ. අනිවාර්යයෙන්ම මේ අවුල ලිහාගෙන ආණ්ඩුව වැඩ පටන් ගත යුත්තේ, නොඑසේ නම් ආයෝජන ඇතුළු සියලු දේ ඇනහිටීමට ඉඩ ඇති නිසාය. ධුරය, පක්ෂය ගැන නොව රට ගැන සිතා තීන්දු තීරණ ගැනීම විශේෂයෙන් ජනපති හා අගමැති දෙපළගේ වගකීම වන්නේය. ඊට සහාය දීම කෙසේ වෙතත් බාධා නොකර සිටීම පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ යුතුකමය.

මේ සියලු දේ කරන්නේ පොදු ජනතාව වෙනුවෙන් නම් බලයේ සිටින හා බලය ගැනීමට සිටින දේශපාලන නායකයන් ගත යුත්තේ ආත්මාර්ථකාමී තීරණ නොව, පරාර්ථකාමී තීරණය. නිදහස ලබා 70 වසරක් ගෙවී තිබියදීත් නායකයන් පොර කන්නේ බලයට නම් අනාගත පරපුරට අබ සරණය!

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්