ලෝකයම පුදුමයට පත් කරමින් රුසියාවේ දරුවකු පෙර භවයකදී අඟහරු මතුපිට ජීවත් වූ අපූරු අත්දැකීම් හෙළි කරයි

  👤  6245 readers have read this article !
2018-02-18

පිටසක්වළ ජිවීන් සිටීද? නැද්ද? යන්න අතීතයේ සිට මේ දක්වා විවාදයකට භාජන වී ඇති මාතෘකාවකි. පිටසක්වළ ජීවයක් ඇති බවට තහවුරු වන සාධක වරින් වර ලෝකයා හමුවේ දිගහැරෙන්නේ මේ අතරය. නාසා ආයතනය විසින් පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයන් සොයාගනු ලැබීමත් සමඟම එම ග්‍රහලෝකවල ජීවයක් පැවැතිය බවට මත පළවී ඇත. නාසා ආයතනයේ සේවය කළ බොහෝ දෙනකු විශ්‍රාම යෑමෙන් අනතුරුව පවසා සිටින්නේ පෘථිවියෙන් එපිට ජීවයක් පැවැතිය හැකි බවයි. පිටසක්වළ ජීවයක් පැවැතිය හැකි බවට හෙළි වන ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් පසුගිය වසරවලදී කරළියට පැමිණ තිබිණි. ඉන් එක් සිද්ධියක් නම් "තරු දරුවා" යන නම් ලද රුසියාවේ උපත ලද බොරිස්කා ක්‍රිප්‍රියනොවිච් නම් දරුවා බිලිඳු වියේ පටන්ම තම පෙර භවය පවසන්නට වීමයි. ඔහු පවසන පරිදි සිය පෙර භවය ගත කොට ඇත්තේ අඟහරු ග්‍රහලොවෙහිය. ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ඔහු අඟහරු ලොව ජීවත්ව සිටි කාලයේදී අභ්‍යවකාශ යානාවල නැඟී කිහිප වරක්ම පෘථිවියට පැමිණි බවයි.

එකල පෘථිවියේ ජීවත් වූයේ ලෙමූරියන්වරුන් නම් මිනිස් කොට්ඨාසය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ඔහුට පෘථිවියේ මිතුරන් ද සිට ඇත. විවිධ පර්යේෂණ කටයුතු සඳහා ඔහු මෙලෙස පෘථිවියට පැමිණ ඇත. බොරිස්කා පවසන ලද සත්‍ය නම් ඉතා අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන් හා පෘථිවිය අතර සබඳතා තිබී ඇත. එසේම අනාධිමත් කාලයක සිට පිටසක්වල ජිවීන් පෘථිවිය වෙත පැමිණ ඇති බව මෙයින් හෙළිවේ. මේ බව සනාථ කෙරෙන සිත්ගන්නාසුලු ගවේෂණයක් මීට කලකට ඉහත දී චීන පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් ද සිදු කරනු ලැබ ඇත. මේ ගවේෂණය මඟින්ද සොයා ගෙන ඇත්තේ මීට වසර ගණනාවකට අෑත අතීතයේ සිට පෘථිවියට පිටසක්වළ ජීවීන් පැමිණ ඇති බවයි.

වර්ෂ 1938දී චීනයේ පුරාවිද්‍යා මහාචාර්ය චී ෆු තේ පුරාවිද්‍යා සිසුන් පිරිසක් සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක නිරත විය. ඔවුන්ගේ ගවේෂණ ප්‍රදේශය වූයේ හිමාලය කඳුකරයයි. හිමාලය කඳුකරයේ පිහිටා ඇති ඉපරැණි ලෙන් පිළිබඳව මෙම පර්යේෂණය සිදුවී ඇත. හිමාලය කඳුකරයේ ඇති ලෙන්වල විශේෂත්වය වනුයේ ඒවා එකිනෙක සම්බන්ධව පිහිටා තිබීමයි. හිමාල වැසියන් එම ලෙන් "බිහිසුණු උලා" නමින් හඳුන්වති. හිමාල වැසියන් පවසන්නේ එම ලෙන් ඉතා ගුප්ත ඒවා බවත් ඒවා අසලට යෑමට පවා තමන් බිය දක්වන බවත්ය. කෙසේ නමුත් මෙම ගුහා තුළට ඇතුළු වූ ගවේෂණ කණ්ඩායමේ අය එහි ඇතුළත සියුම් නිරීක්‍ෂණයන්ට ලක් කරමින් පර්යේෂණ සිදු කළහ. එහිදී ඔවුන්ට ගුහා තුළ තිබී සොහොන් වළවල් කිහිපයක් සොයා ගැනීමට හැකි විය. එම සොයා ගැනීමත් සමඟ ගවේෂණ කණ්ඩායම විසින් එම සොහොන් වළවල කැණීම් කටයුතු ආරම්භ කරන ලදී. එහිදී මිනිස් ඇටසැකිලිවලට සමාන ඇටසැකිලි කිහිපයක් සොයා ගැනිණි. නමුත් මෙම දේහයන්හි හිස්කබල අසාමාන්‍ය ලෙස විශාල වූ අතර ඊට සාපේක්‍ෂව සිරුරු ඉතා කුඩා විය. මෙම අස්ථි ඉන්පසුව විද්‍යාත්මක පර්යේෂණයන්ට භාජන කෙරිණි. එහිදී සොයා ගත්තේ සියල්ලන්ම විස්මයට පත් කළ කරුණකි. එනම් මෙම අස්ථි මිනිසුන්ට සමාන නමුත් මිනිසුන්ට අයත් ඒවා නොවන බවය.

මීට අමතරව එම සොහොන් වළවල තිබී විශාල රවුම් පාෂාණයක් සොයා ගත් අතර එම පාෂාණ තැටියේ විෂ්කම්භය අඟල් 9ක් පමණ විය. ඝනකම අඟල් 1 පමණ වූ අතර එහි මැද අඟලක් පමණ සිදුරක් ඉතා නිවැරැදිව සකසා තිබිණි. එම තැටිය මත අසාමාන්‍ය අක්‍ෂර සටහන් කර තිබූ අතර වසර 1962 දක්වාම එම අක්‍ෂරවල අරුත සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ චීන පුරාවිද්‍යාඥ ආචාර්ය සුම් උෟනූ මෙම අක්‍ෂරවලින් කියැවෙන අරුත වටහා ගැනීමට සමත් විය. එහි වූයේ වසර 1200කට පෙර අහසින් පැමිණි ජිවීන් පිරිසක් ගැනය. එම ජිවීන් පැමිණි යානය උලා ප්‍රදේශයේදී කඩා වැටී ඇති අතර යානයේ සිටි ජීවීන්ගෙන් බහුතරය හිමාලවාසීන් විසින් පහර දෙනු ලැබ මරා දමා තිබිණි. ජීවිතය බේරා ගත් ඉතිරි ජීවීන් හිමාල වාසීන්ට යටත් වී ඇති අතර ඔවුන් "හන්" නමැති ගෝත්‍රය හා එක්ව ජීවත් වූ බව මෙම පාෂාණයේ සටහන් වී තිබී ඇත. පර්යේෂකයන්ට වැඩිදුරටත් සොයා ගැනීමට හැකි වී ඇත්තේ එම දෙමුහුන් ජීවීන්ගෙන් පැවැතගෙන එන පිරිසක් අදටද හිමාලය ප්‍රදේශයේ වාසය කරන බවය. ඔවුන් බෙහෙවින් මිටි පුද්ගලයන් බවද සොයාගෙන තිබිණි. මෙම මිනිසුන් රෝපා ගේ‍රා්තිකයන් ලෙස හැඳින්වෙන අතර ඔවුන් මේ වන විට නවීන විද්‍යාවටද තහවුරු කරගත නොහැකි අබිරහස් රැසක් සඟවා ගත් ජීවීන් කොට්ඨාසයක් ලෙස සැලකේ.

එල්. ජයසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon