රාජවන්ති මහ කැලය මැදින් ඉතිහාසයේ අඩුවක් පුරවන විහාරයක නටබුන් මතුවෙයි

  👤  4588 readers have read this article !
2018-02-18

අද ඔබට දක්වන මේ ඓතිහාසික පුදබිම තවමත් නිසි ගවේෂණයකට බඳුන් නොවූ අපේ හෙළ ඉතිහාසයේ යටගිය රහස් බොහෝමයක් තැන්පත්ව ඇති ස්ථානයකි. එය පුත්තලම දිශාවේ රාජවන්නි හත්පත්තුවේ කිරිමැටියාපත්තුවට අනුරූපව වෙලේ වැව අසල පිච්චින්දියාව විහාරය පිහිටා තිබේ. පුත්තලම _ අනුරාධපුර මාර්ගයේ 9 මයිලයෙන් ඇරැඹුණු එක් ගුරු පාරක් විය. එය තබ්බෝව වැවට ගලා යන නාන්නේරිය ඔයට ටික දුරකට සමාන්තරව ගොස් මුරුකුවටවන හරියේ දී දෙකට බෙදී එකක් මියැල්ලෑව හරහාද, අනෙක ගල්කුලම හරහාද ගොස් නාන්නේරිය දක්වා දිවෙයි. දෙමඟම වැටී ඇත්තේ ගන වනාන්තරය මැදින් වීම නිසාත් ඉතා දුෂ්කර ගමනක් වෙයි. සැතපුම් 10_15 අතර දුරක් පමණ පා ගමනින්ද යායුතු වෙයි.

පිච්චින්දියා කන්ද තැනි බිමේ සිට එකවර නැඟී සිටිනා කන්දකි. එය රෝහණයේ බුත්තල අසල පිහිටි රහතන් කන්දට සෑම අතින්ම සමාන වනසේ පිහිටා ඇත. වඩා උස් නොවූ නමුත් තැන තැන මුදුන් කුළු සහිත දිගටි කන්දක් වෙයි. ගල්කුළු බෙහෙවින් දක්නට ලැබේ. විවිධ වෘක්‍ෂලතා වැවී ඇතත් සෑම තැනම පාහේ මේ පර්වත මතුවී පෙනේ. මෙයට සම්බන්ධව ආසන්නව පිහිටි දැනට මොට්ටමලෙයි නමින් හැඳින්වෙන කඳු කොටසක්ද පැරැණි නෂ්ටාවශේෂ, ගල්ලෙන් හා සෙල්ලිපි සහිත ස්ථාන දෙකක්ද වේ.
"පිච්චින්දියාව" වැඩි දෙනකු දක්වා ඇත්තේ පිච්චන්දියාව වශයෙනි. එහෙත් එම පෙදෙසේ ව්‍යවහාරයේ පවතින්නේ "පිච්චින්දියාවෙ" වශයෙනි. ඒ අසල වැවක් ද තිබේ. එය නටබුන්ව ඇත. මී ඔයත් නාන්නේරිය ඔයත් අතර තීරයේ පිහිටි මේ පෙදෙසේ තැන තැන පැරැණි වාරි කර්මාන්තවල ශේෂයන් බෙහෙවින් දකින්නට පුළුවනි. මේ ස්ථානය ගැන කෙටි සටහනක් තබන එඩ්වඩ් මුලර් මහතා වෙන වෙනම පිහිටි පර්වත විහාර කිහිපයක් ගැනත්, වනයෙන් වැසී ගිය දාගැබක් ගැනත්, සෙල්ලිපි කිහිපයක් ගැනත් සඳහන් කර ඇත. සී.ඩබ්. නිකලස් මහතාගේ වාර්තාවකද මේ ගැන සුළු සටහනක් දැක්වෙතත් මේ වනතුරු විධිමත් පරීක්‍ෂණයක් මේ ස්ථානය ගැන සිදුකර නැත.

පිච්චින්දියාව කොටසේ පුරාවස්තු පිහිටියේ කඳු බෑවුමට අනුරූපවය. මෙහි ඇති ස්තූප ශේෂත්, ලෙන් කර්මාන්තයත් මෙහිලා ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය. කන්දේ එක තැනක තැනි බිමක ගඩොලු ගොඩක් දක්නට ලැබේ. ඒවා බොහෝ සෙයින් විනාශ වී ඇති නිසා ස්තූප ලෙස හඳුනාගැනීමද අපහසුය. නිධාන සොයන්නන් විසින් කැණීම නිසා මෙබඳු ස්තූප බොහෝ තැන්වල සහමුලින්ම විනාශ වී තිබේ. මෙහිද එම දෙයම සිදු වී ඇත. කන්දේ ඇවිද යා යුත්තේ ඉතා අපහසුවෙනි. පර්වත මත හා ඒවා පාමුල පැරැණි ගඩොලු ශේෂද දක්නට ලැබේ. ඇතැම්විට ස්තූප හෝ සොහොන් කොත් හෝ කිහිපයක් තිබෙන්නට ඇත. මෙහි ඇති ලෙන් කර්මාන්තය වැදගත් තැනක් ගනී. කන්දේ පේළි කිහිපයකට ලෙන් පිහිටා ඇත. ඒවා සියල්ලකම වාගේ කටාරම් කොටා ඇත. සමහර ලෙන්වල පැරණි බිත්ති තිබූ බවට සලකුණුද ලෙන් බිතේ තවරන ලද පැරණි බදාම ශේෂද දක්නට ලැබේ. මේ ලෙන්වලට යෑමට සාදා තිබුණු පැරැණි මාර්ගවල ශේෂ කන්දේ තැන තැන දක්නට ලැබේ. එහෙත් මේ කිසිදු පුරාවස්තුවක් යථා තත්ත්වයෙන් නැත. එමෙන්ම පැරැණි තපෝචනයක ලක්‍ෂණ මිස සංකීර්ණ ආරාම ලක්‍ෂණ කිසිවක් මෙහි දක්නට නොලැබේ.

පිච්චින්දියාවේ ලෙන්වල කොටා ඇති ලෙන් ලිපි කිහිපයක් දක්නට ඇත. ඉන් කිහිපයක...

මහරඣශ දෙවනපියශ ගමිණි තිශශ වෙඣ බමණ ගොබුතිය ලෙණෙ ශගශ
මහරඣශ දෙවනපියහ අචිරිය බමණ ගෙබුතිය ලෙණෙ
....ඛණක යශදෙවශ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ

නුග තෙරහි බත ශුමනහ කුමරහ
නුග තෙරහ
උපරඣ අමතිහ අය මහශෙනහ
පරුමක ශිවහ ගිරිවජෙ (සංකේතයකි)

මේ ලිපිවලින් කියැවෙන්නේ මහා සංඝයාට එම ලෙන් පූජා කරන ලද බවයි. මේවා පිදූ අය අතර "ගොබුතිය" නමින් දැක්වෙන බමුණෙක්ද වෙයි. අනෙක් දායකයන් අතර යශදෙව, නුගතෙර, ශුමන, කුමර, අයමහශෙන, පුනශු ගුත, බුදරකිත තෙර, පුශතෙර, පරුමක ශිව යන නම් ඇත්තෝ දක්නට ලැබෙති. මෙහි එකොළොස් වැනි ලෙනේ දායකයා ලෙනට තබා ඇති නම 'ගිරිවජේ' යනුවේ. එය ගිරිව්‍රජ යනුවෙන් ග්‍රන්ථවල දැක්වෙන වචනයේ ප්‍රාකෘත සිංහල රූපය වශයෙන් එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

මෙහි ආරම්භය පොදු වර්ෂ පූර්ව 3 සියවසේ එනම් මහින්දාගමනය සිදුවූ යුගයේම මේ පුදතැන ආරම්භ වී ඇති බව පෙනී යයි. 6 වැනි පේළියේ එන සටහන් ලංකා ඉතිහාසයේ වැදගත් තොරතුරු කිහිපයක් තහවුරු කර ගැනීමට සාධක සපයයි. මුල් ලිපි දෙකෙන් කර ඇති පූජාවල දායකයන් ලෙස දැක්වෙන බ්‍රාහ්මණයන් දෙදෙන "ගොබුතිය" නමින් දැක්වෙන බැව් කියැවේ. මින් එක් අයකු වෛද්‍යවරයකු (වෙඣ) වන අතර අනෙක් තැනැත්තා ගුරුවර (අචරිය) යෙකි. වෛද්‍යවරයා එම තනතුර දරා ඇත්තේ මහ රඣ දෙවනපිය ගමිණි තිශ නම් රජකු සම්බන්ධයෙනි. ගුරුවරයා මහරඣ දෙවනපිය නම් රජකුගේ ආචාර්යවරයා වේ. මේ ලිපි දෙකේ සඳහන් වන රාජනාම එකම රජකු ගැන කරන සඳහන් ලෙස සැලකිය හැකි යැයි මේධානන්ද හිමියන්ගේ අදහසයි.

මුල් ලිපියෙන් දැක්වෙන පරිදි රජුගේ නම තිශ (තිස්ස) වෙයි. මේ නමින් හඳුන්වන රජවරුන් කිහිපදෙනකුම සිටි බැවින් මෙහි දැක්වෙන තිස්ස රජු කවරෙකුදැයි ස්ථිරවම කීමට වියත්හු මැළිවෙති. එහෙත් සමහරු මේ ගැන අදහස් පළ කරමින් තිස්ස රජු මුලින් මේ නමින් වංශකතාවල සඳහන් වන දේවානම්පියතිස්ස රජු විය හැකි යැයි සිතති. ගාමිණි උපාධිය සද්ධාතිස්ස රජුටද තිබූ බව සෙල්ලිපි අනුව පෙනෙයි. දේවානම්පියතිස්ස රජුගේ සොයුරු උත්තිය රජුට එය යොදා තිබෙන අයුරු මිහින්තලා බ්‍රාහ්මී ලිපියකින් පෙනෙයි. මහරජ යන්න සෙල්ලිපිවල බොහෝ රජවරුන්ට මේ යුගයේ යොදා තිබේ. වංශකතා අනුව දේවානම්පිය උපාධිය ලංකාවේ ලබා තිබූ එකම රජු මුටසිව රජුගේ දෙවැනි පුත්‍ර තිස්ස රජුය. එහෙත් සෙල්ලිපි අනුව එම උපාධිය උපතිස්ස රජු දක්වා රජුන් භාවිත කර ඇත. එම නිසා මෙහි තිශරජු හඳුනාගැනීම ගැන සමහරු සැක පහළ කරති. තිශ යන්න නොමැතිව 'මහ රඣශ දෙවැනි පියහ අචිරිය' යනුවෙන් උපාධියෙන් පමණක් රජු ගැන දක්වා තිබේ.

වංශ කතා, පාලි අට්ඨ කතා ආදියේත් සමහර ශිලා ලේඛනවලත්් පෞද්ගලික නාමය නොමැතිව හුදු දෙවනපිය (දේවානම්පිය) උපාධියෙන් පමණක් සඳහන් කර ඇත්තේ එය මුලින්ම ලැබූ තිස්ස රජ ගැනය. එම නිසා මෙහි සඳහන් වන රජු එතුමාය, යන්න සැක කිරීමට හේතුවක් නැත. ඔහුගේ සහෝදර උත්තිය මහානාග ආදී රජවරු ගාමිණි නාමය යොදා ගෙන ඇති බැවින් තිස්සද එය භාවිත කරන්නට ඇති බව විශ්වාස කළ හැකිවේ. ඒ අනුව දේවානම්පියතිස්ස රජුගේ වෛද්‍යවරයා වූ ගොබුතිය හා ආචාර්යවරයා වූ ගොබුතිය යන දෙබමුණන් විසින් පිච්චින්දියා විහාරය තිස්ස රජුගේ කාලයේ දී ආරම්භ කරන ලද බව පෙනී යයි. මේ දෙදෙනා සමහර විට එක් අයකු වීමට හෝ සහෝදරයන් වීමට හෝ ඉඩ ඇත. මේ තත්ත්වය අනුව ලංකාවේ නිශ්චිත පැරැණිම සෙල් ලිපිය මෙය වීම ඉතා වැදගත් සිද්ධියකැයි මේධානන්ද හිමියෝ තහවුරු කරති.

හයවන ලිපියේ සඳහන් වන උපරඣ හා ඔහුගේ අමාත්‍යවරයා වූ මහාසේන ගැනද මඳ විමසීමක් කිරීම වැදගත්ය. දෙවනපිය යනු තිස්ස රජුට යෙදුනා සේම උපරජ යන්නද පෞද්ගලික නාමය නොමැතිව යෙදී ඇත්තේ මහානාග යුවරජුටය. ඔහු රෝහණයට පලායෑමට පළමු දක්ඛිණ දේශයට අනුරූපව ඇති වලස්වැව කරවමින් සිටියේය. එම වැව පුත්තලම දිශාවේ තෝනිගල අසල ඇති වැව හැටියට එහි සෙල්ලිපිවලින් හඳුනාගත හැකිය. පිච්චින්දියාව ලිපියේ සඳහන් වන උපරාජ මහානාග යුවරජු හැටියට හඳුනාගත හැකි අතර මහාසේන ඇමැතියාද රාජවංශිකයකු හැටියටත් යුවරජුගේ ඇමැතියා හැටියටත් හඳුනා ගැනීමට හැකි වෙයි. මේ කාරණා අනුව පසුව දක්‍ෂිණ දේශය නමින් හැඳින්වූ අනුරාධපුරයෙන් දකුණට අයත් පෙදෙස මුල්ම යුගයේ සිට ඊළඟ රාජ්‍ය හිමි කුමාරයාගේ පාලනය යටතේ තිබූ බවත් රෝහණයට පලායෑමට ප්‍රථම මහානාග යුවරජු එහි පාලනය ගෙනගිය බවත් පෙනී යයි.

මෙබඳු වැදගත් ඓතිහාසික තොරතුරු දැක්වෙන පිච්චන්දියාව විහාරය වැඩි අවධානයකට යොමු වී නැත. මෑතදී අමුතුම ශාසන ව්‍යවහාරයකට අයත් ආරණ්‍යයක් හැටියට එහි ගල්ලෙන කිහිපයක් සකස් කර තිබේ.
මේ පිළිබඳව විද්වත් ගවේෂණයක යෙදුණු එල්ලාවල මේධානන්ද හිමියන්ගේ පර්යේෂණ වාර්තා අනාගතයටද වටනේය.

සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon